Monday, 27 July 2020

මං සන්ධියේ සිට​…

​
තුන්තිස් පැයේ නිදි මල් පරවෙන තුරුම
විය බැඳි මීදෙනක​ සේ  සෙක්කුව අදින  
නිදහස් බිමක දිනු දියණියකට පරම  ​    
උරුමය වහල් මෙහෙයද අත්වෙන​ නරුම​ ?


කඹුරන්නට ගිහින් දුරුරට සහරාවේ
කහවනු පොදි අරන් යළි ගම රට ආවේ
සැමියා අන්සතුය, දරුවෝ  නොනගතය​ ​
අපෙ දහඩිය බිංදු මුන්ලට ගජ මුතුය​

මුඩියක් ඇරිය පමණින් දෙව්ලොව මැව්ව​
අඩියක පදම ඉහලින් සීගිරි පව්ව​  
ඉදිකළ​ සුරාහල් මඟ ගව්වෙන් ගව්ව
වඩියක් හදන උන් රජ ගෙදරට යැව්ව​

ටකරං මැදුර වට​ ඉටිරෙදි  සැරැසිලිය​
පන්කොළ​ පැදුර ගෙයි මැද්දේ වැරැහැලිය​
සොච්චම් දෙයක් ගෙන, තරකර දෙන​ මඩිය
අපෙ උන්ගේ සිරස යටිකුරු කළගෙඩිය​

පීදෙන කැකුළු මල්වැනි දූවරු පුත්තු
බේබදු සළෙලු දන මඟ රැක බිලි ගත්තු
මුනිවත රකිති කස අතැතිව බලවත්‍තු
කතිරෙට සුදුස්සෝ හොයපන් බවලත්තු!

දෙස රැස ​ උලාකා හපකර කළ හරිය
ඇහුණත් රෑ දවල් පෙනුණත් නැත විරිය​ 
ඉහ මොළ ඇති උගත් කැළටත් ඇති දිරිය​
ආපහු හැරෙන්නට දැන් කාලය හරිය​!

මතු පරපුරට ආඩම්බර විය යුතුව
සහජීවනය ජාතික සමඟිය පැතුව​​ 
නිවහල් ​දේශයක අභිමානය​ ඇතුව
අත්වැල් බැඳ ගනිමු අපි හැම​ එකමුතුව

මල්ලිකා එම් බණ්ඩාර​

27. 07. 2020

No comments:

Post a Comment