Monday, 31 July 2017

පහන නිවිලා


ළා හිරු කිරණ වැද මුදු මඳ සිනාවෙන​
කිරි කෙකිණිය වගේ එන​ මඟ බලාගෙන
මුතු පිණි දුහුල නිල් තණ මත එලාගෙන​
මිහිලිය හිඳී නුඹ එනතුරු උදෑසන

කළලේ පිපී ඉන් නික්මෙන​ නියාවෙන
කළලේ පහස බිඳකුදු නොතවරාගෙන​
ගී පද ගොතන බිඟුදැල් පිරිවරාගෙන​
පියුමක් වෙලා පිපුණා හැම උදේකම​

තුරුපත් අතර හිඳ බිඳලන නිසොල්මන​
කන්කළු මියැසි ගී පද වැල් ඉහිල්ලෙන​
පෙංකෙළිනා කුරුළු කූජන සැහැල්ලෙන​
නුඹ සෙල් රුවක්විණි කිසිදා නොසෙල්ලෙන ​

ලන්දේ පිපෙන වනමල් පෙති නෙලාගෙන
ඇන්දේ නුඹෙ රුවයි ඉඳුසැව් විලාසෙන​ 
සැන්දෑවතේ බැඳි දැහැනින් මුදාගෙන​                  
කැන්දන් ගියෙ කවුද නුඹෙ සිත හොරාගෙන​
තුන්පත් රටා ලා පන්නම් කළ හීනේ
පන්කොළ පැදුර​ හොරු අරගෙන මගෙ හේනේ
තිරකඩ නිවෙන්නට ඇති දැල්වුණ පානේ
​සන්තෝසෙන් හිඳින් නුඹ​ නවදැළි හේනේ

මල්ලිකා එම්. බණ්ඩාර

30. 07. 2017

No comments:

Post a Comment