සුවහසක් නෙක දනා නිවසන
දනව් ඔස්සේ හුදකලාවී
මිඳී ආ මුත් ගිරි දුදුළු
වන හෙල් මැදින් තැනිතලා පසුකර
ගඟක් වී මහ සයුර සනහන
නමුදු මේ මිහිතලය සරහා
අස්වසන්නට නොහැකිතරමට
ඉතිරිවී සිත් පතුළ කොනහන
නොසන්සිඳෙනා මනදොළක් ඇත.
"සුවහසක් අබිමන් දිනූ මුත්-
දිනක මා මේ ලොවට බිහිකළ
පුංචි උල්පත සොයායන්නට
මගේ හද ඉකිබිඳීන නිරතුරු"
ගසක් නම් එහි මුලක් වියයුතු
ගඟක් නම් උල්පතක් වියයුතු
උල්පතක් පමණක්ම විණිනම්
ගොහොරු මඩ වගුරක් හැදෙනු ඇත.
යළිත් ඇස නොගැසෙනා උල්පත
කෙලෙස කවදා සොයා යන්නද?
ගඟක් සේ මා ගලාහැලුණේ
සත් වළල්ලක් දිය දරන්නයි
සප්ත සාගර ඉම දකින්නයි.
උපත කොතනද,
කුමන මිහිමඬලකද,
කුමන මිහිමඬලකද,
කඳු සිරසකද නොදනිමි.
එහෙත් දෝවා ගම් නියම්ගම්
පසු කළෙමි නෙක දනව් පීරා
බෙදා දියවර සතපවන්නට
පිපාසිත සත් සියොත් මනු කැළ.
අදත් උල්පත සොයා ආපසු
යන්ට ඇත්නම් කියා හිතුනත්
කොහේ කවදා නමුත් හමුවෙද
ඇගේ උල්පත සොයා
ආපහු ඇදෙන ගංගාවක්?
මල්ලිකා එම්. බණ්ඩාර
19. 07. 2017
No comments:
Post a Comment