Monday, 31 July 2017

​​අසංතෘප්ත ගඟක්


සුවහසක් නෙක දනා නිවසන 
දනව් ඔස්සේ හුදකලාවී
මිඳී ආ මුත් ගිරි දුදුළු
වන හෙල් මැදින් තැනිතලා පසුකර​
ගඟක් වී මහ සයුර සනහන
නමුදු මේ මිහිතලය සරහා
අස්වසන්නට නොහැකිතරමට
ඉතිරිවී සිත් පතුළ කොනහන
නොසන්සිඳෙනා මනදොළක් ඇත.

"සුවහසක් අබිමන් දිනූ මුත්- 
දිනක මා මේ ලොවට බිහිකළ
පුංචි උල්පත සොයායන්නට
මගේ හද ඉකිබිඳීන නිරතුරු"  

ගසක් නම් එහි මුලක් වියයුතු
ගඟක් නම් උල්පතක් වියයුතු
උල්පතක් පමණක්ම විණිනම්
ගොහොරු මඩ වගුරක් හැදෙනු ඇත​​.
යළිත් ඇස නොගැසෙනා උල්පත
කෙලෙස කවදා සොයා යන්න​ද?

ගඟක් සේ මා ගලාහැලුණේ
සත් වළල්ලක් දිය දරන්නයි
සප්ත සාගර ඉම දකින්නයි.
උපත කොතනද, 
කුමන මිහිමඬලකද,
කඳු සිරසකද නොදනිමි.
එහෙත් දෝවා ගම් නියම්ගම්
පසු කළෙමි නෙක​ දනව් පීරා
බෙදා දියවර සතපවන්නට
පිපාසිත​ සත් සියොත් මනු කැළ​.

අදත් උල්පත සොයා ආපසු
යන්ට ඇත්නම් කියා හිතුනත්
කොහේ කවදා නමුත් හමුවෙද
ඇගේ උල්පත සොයා
ආපහු ඇදෙන ගංගාවක්?


මල්ලිකා එම්. බණ්ඩාර​

19. 07. 2017

No comments:

Post a Comment