Sunday, 29 April 2018

උපහාර​


දහස් ගණන් දියණියන්ට අකුරුත් ජීවිතයත් කියා දුන්නාට, Facebook පිටුවකින් මා ලද උපහාරය, ඒ දියණියට උපහාර පිණිස බ්ලොග්ගත කරමි. 

එවන් නුඹගෙන් දිවිය එකළු වු ළමාවිය
මොන තරම් සොදුරුදැයි සිතන්නෙමි දිවාරැය
එදා නුඹ කියා දුන්නේ අකුරු විතරමද
අනේ නැහැ උගත්තෙමි මම නුඹෙන් ජිවිතය......... 
ගෝර වග වළස් කැළ මැදදිද
 පා තබා රළු දුර්ග මාවතේ යන විටද
මා මෙදා සිනාසි සිනාසි
හිත දිරිය ගෙන වඩා පෙරට
මිස පසුපසට නොම තබමි මගෙ දෙපා
මුහුණුපොත නුඹ මතක යලි අළුත් කරන සද
මා වැනිම සිය දහස් සිසුවියන් මතක මැද
අකම්පිත තරු රැසක හිමිකාර සදවතිය
මහ රැජින නුඹ නොවෙද
සොදුරු දිවි අඩවියක....




Friday, 27 April 2018

ලේණිය​කගේ ගීතය ​

මඳ පවන විඳ මියුරු සරතැස නිවාලා
බිඳ සිහිණි මල් පියළි අතුරා වියාලා
වන පෙතක තුරු හිස​ කැදැල්ලක් තනාලා
රැකවරණ හැදුවේ ඇකයේ හොවාලා

සිඳු කුස වැටී බිළිඳු මුදනා නියාවෙන්
පෙඳපතින් දිය ඉහින​ ලේණියක සේ වැළප​ ​ ​
කඳුළු විල ගලයි ගං හෝ වලට හැරවිලා
දරු දුකයි තෙරපුනේ ළය මඬල දෙදරිලා

ගිම්හානයේ දැවෙන සරතැස නිවාලා
ඇති දැඩි කළා මුවග  අම බිඳු තියාලා
වස්සානයේ සිහින සුළඟේ රැඳීලා
විසිරී ගියේ කෙලෙස සිඳු මැද වැටීලා

සන්තාපයේ කළුවළා ඇත​ නැඟීලා
සුවහස් නැවුම් සිහින දියවී බිඳීලා
සන්තානයේ පතුළ බොරවී මිදීලා
තොටමුණ හිඳී හුදකලාවේ කිඳීලා


මල්ලිකා එම් බණ්ඩාර​ 

24. 09 2016


සරසවි සක්මන​


යොවුන් මල් වසන්තයෙ රුවන් දොරගුළු හැරිය
කඳු වළලු සිප ගලයි සොඳුරු මහවැලි නදිය​
ළපළු නා පත් සලා නඟන මුදු සිලි සිලිය​
හන්තාන අඩවියේ සුළඟ  වුව සුවබරය​ ​ 

නුරාබර තුණුසිරිය වසා මීදුම් සළුව​
ගිරි කුළක රැඳී ගෙන සිනාසෙයි සඳ පළුව​
කියඹු වැල් දඟ කරන නළල් තල සිපගන්න
මඳ පවන රොද බඳී මා ගතේ දැවටෙන්න​  

අතින් අතගෙන හෙමින් ඇවිද ගිය ​මඟ දෙපස​
ලිය මඬුළු තුරුවදුළු සිනාවෙන් පිරි සවස​ ​  
නැවුම් පෙම්වතුන් සේ ගිමන් හල පෙර දවස​
කලාගාරය පසෙක​​ බලන් අර පුන් කළස!​

ගෙනා ජීවන සුවඳ සිනාබර මුව​  නිබඳ​ ​
නිරාමිස සුව දෙවයි දැහැන් ගත කර​ මහද​​
රළ පතරටත් වඩා ගැඹුරු  දියඹය නිසල​
මා රැජිනකැයි හඟිමි ​ හිඳින සඳ​ ඔබ අසළ​

ළතණ බුමුතුරුණ මත​ විසුළ මල් පෙති අතර​
මතක පෙම් පුරාවත​ දසක හතරක් පැතිර
සැඳෑ තුරු සෙවන යට මෙනෙහි කර ජීවිතේ
​මඳක් පියමං කරමු  රැඳී පටු මාවතේ

මල්ලිකා එම් බණ්ඩාර​

12. 05. 2015




Wednesday, 18 April 2018

යාතිකාව​



පුදා සෙනෙහස​ සිත්තරෙකු හට නොදුරු පිදුරංගල ගමේ
කෙකිණියක සේ බලා හිඳ​ දිය මංකඩේ දෙණිපෙත ඉමේ
සොඳුරු පැල්පත තනාගෙන​ රන් රස  විලස​ හිඳිනා සමේ
මහද පිපිමල​ පැහැර ගත් බව හැඟුණි ඉර බට කණිසමේ

උනා පිළිකඩ වැවේ දිය කෙළිනා
හිනා බිඟු දැල් තමර පෙති සිඹිනා
කිඳුරු යුවළක සදිසි රූසිරිනා
ලොබ බඳින්න'ති අප දුටුව​ සැණිනා
ඉනාවක්වී දිනා ගන්නට​ තුනු රුවක අරුණා
අමාවකදා කැඳෙව්වේ ගිරි කුළට අප දෙදෙනා

ගිරි බඳේ සිතුව​ම් කරන්නට​
වාසලෙන් ආ නියෝගෙන්
ගියා කස්සප කුමරු හමුවට
වලප්නා සිත් වියෝගෙන්
එදා සිට අද වනතුරාවට​ 
 ​වෙළී දැවෙනා ළසෝ ගිනි මැද​ ​
ලෙනක සිරගතවී හිඳින මුත්
ඔහුගෙ රුව නෑ ඇස ගැසෙන්නට​

කිරුළ අබියස දණ නමන්න'ති
ප්‍රේමයේ අබිමන් බිඳෙන්න'ති
දුබල මුව දොරගුළු වැටෙන්න'ති
අපේ සිහිනය බොඳව යන්න​'ති  

සිඳී යාදිය නොහී ප්‍රේමය 
කාලයේ වැලි තලාවෙන් 
මගේ රුව ගිරි බිත අඳින්න'ති 
ඔහු නෙතට හුරු නියාවෙන්
බිඳී ගිය හද පිරිමදින්න​'ති
සැලෙන​ අත රැඳි තෙළි තුඩින්...

ගෙවී ගිය සිය වසක් පාසා
නැවත ඒදැයි මඟ​ බලා හිඳ​  
අගතියට පත් පාර්ශවයෙන්
කෙරෙන ආයාචනය අසනුව;​
තුලාවක් අත, වැසූ යුගනෙත  
නිමල කත අසිපත දරන්නී,
අතුරුදන්වූ මගේ හිමි සඳ​
සොයා ගන්නට පිහිට වුවමැන​

මල්ලිකා එම් බණ්ඩාර


Monday, 16 April 2018

කැඩපත



කැඩපත මගේ වුණත් නුඹේ මුහුණ බලාපන්න​
පිළිබිඹුවකට හැකිය නුඹේ විදිය​   කියා දෙන්න​
මල් පෙති මෙළෙක​ රැඳුන කෙම්බිම අරක් ගන්න
​විසකුරු වන සතුන්ව එන මං  පිටුදකින්න  

කටමැත දොඩන උන්ට නොගොහින් ආවඩන්න​
දුක සැප ජය පැරැදුම දෙක එකසේ දකින්න​
දැක මගෙ පමා දෝස හරි නෑ තළුමරන්න​
නුඹෙ මිරිවැඩි සඟලේ එපා අනික් අය දමන්න​

ගත්තොත් ගලක් අතට ගහපන් ඉලක්කෙටම​
පළවෙනි ගල ගහන්න පව් නැති කෙනෙක් වෙන්න​
කුණු ටික හිස තියාන "ඉස් ඉස්" කියන්නෙපා
තමන් ගෙ කුණු පෙනේවි වක්කඩ අරින්නෙපා

මල්ලිකා එම් බණ්ඩාර​
12. 12. 2017

ලණු ඇඳ


වැඩිදා පළමු පෙම්පත දෝතට මාගේ
නුඹ ඉඟි කරපු හැටි මතකයි ​අද වාගේ
පෙම් කව අතර මඟ නිමවී හඬන සඳ​
නුඹ මහ මෙරක් සේ හිටියා පසෙක හිඳ​

දබරින් ගිය වෙලේ ඔහු තනිකර ​ මාව
නුඹ මා සැනසුවා මුමුණා කවි ගීත​
පෙන්වාදුන් වෙනස උණුහුම සහ සීත
නුඹ හැර නොවුණි ඉටු දෙවියෙකු ළඟපාත​​

පන්නම් පැදුරු මහ රෑ මැද වියාගෙන​
දුරබැහැරක ගිහින් බර හිස තියාගෙන​
රෑබෝ වෙලා එන පණමක් හොයාගෙන​
මා නිදි කෙරෙව්වා තුරුලේ හොවාගෙන​ ​

විල්ලුද බුමුතුරුණු නැති පා සිපගන්න​
කස්තුරි කොකුමඟර නැති ගත සනහන්න​
ලියකම් කළ සයන නැති මුත් සැතපෙන්න
නුඹ විය කළණ මිතුරා මගෙ දුක දන්න​ ​

බාලේ ඉඳන් නුඹෙ උණුහුම ලැබුණාට​
උකුලේ හොවා මගෙ දුක සැප දැරුවාට
වියපත්වෙලා  මා  නුඹ හැර යන දාට
ලණු ඇඳ ​නාඬන්න ​තනිකම දැනුනාට​


මල්ලිකා එම් බණ්ඩාර​


14. 01. 2018

නව සඳ​


පිනි කඳුළු වැල් ගලා හැලෙනා වළා සළුව පිට

දුරුතු සඳ එබී බලනා අහස් නිල්ල යට

උඳුපියළි නිල්ල අත වනනා සඳ සාවියකට

වලිකුකුළු රෑන් පොරකනවා පාර කියන්නට

 

තරු කැකුළු නෙළා අමුණාගෙන ගෙලේ බඳින්නට

රතැඹුලක් විලක බලා හිඳී අතපැන් වැඩුමට

රළ පතර හරි සැරයි සිඳු මැද පුංචි කොදෙව්වට

ඇවිදින්න එපා සෙවැනැළි ලුහුබඳින වෙලාවට

 

සඳ පතක් වගේ මෝදු වෙලා මහද දනව්වට

මඟ බලා හිඳිමි නුඹ එනතුරු අඳුර බිඳින්නට

කිරි කවඩි ඉහුණ වැලිතල මත පය ඉක්මක් කොට

මගෙ කුමාරියේ හිනා දොලක් වෙලා වඩින් හෙට




මල්ලිකා එම් බණ්ඩාර

02 . 01. 2018

Wednesday, 11 April 2018

ධවල පිරුවටය​

මේ  ලෝකයේ  මෙතෙක් බිහිවූ හැම ආගමක්ම කතා කරන්නේ මානව​ විමුක්තිය ගැනය​. ඒත් ආගමික විශ්වාසයකට බැඳි සිටින මිනිසුන් බොහෝවිටඒ විමුක්ති මාර්ගයේ සවිඥානිකව​ ගමන් කරන්නෝ නොවෙති. අධ්‍යාත්මික විමුක්තිය සොයා යන ගමනේදී මිනිසුන්ඒ ඒ ආගමික ශාස්තෘන්ගේ මුලික ඉගැන්වීම් වලින් ප්‍රායෝගිකව දුරස්ථව තිබීම​ සැම ආගමික හෝ භක්ති මාර්ගයකම පොදු ලක්‍ෂණයවී ඇත​. ආගමික ශාස්තෘන් විසින් ප්‍රකාශ කිරීමට අදහස් කළ,  මානව ශිෂ්ඨාචාරයේ ප්‍රගමනයට අදාල කරගත හැකි පණිවුඩය අපි හෑම විටම වරදවා තේරුම් ගෙන ඇති සෙයකි.  නැතිනම් භෞතික සහ අධ්‍යාත්මික රෝග වලට නිශ්චිතව ප්‍රතිකාර දී ඇතත් අපි අරන් තිබෙන්නේම වැරැදි මාත්‍රාවය​. 

කාලාන්තරයක් තිස්සේ මානව හැසිරීම් සහ ක්‍රියාකාරකම් විකාශනය වීමේදී විවිධ හේතූන් ගේ බල පෑම් නිසා අපේ හිත් දූෂ්‍යවීවණවී ඔද්දල්වී ඇත.​ සවිඥානිකව හෝ අවිඥානිකව​ අප හැම දෙනාමඅඩු වැඩි වශයෙන් කිසියම්වූ රෝගයකින් අසාධ්‍යවී සිටී. මානව ඉතිහාසය පුරාම සනිටුහන්වී ඇත්තේ එවන් රෝගී සමාජයක සිදුවන දෛනික ක්‍රියාකාරකම්වල අනිටු ප්‍රතිවිපාකයන් ය. ඒ අනුව​ ලෝකය ගොඩ නැඟීමට මෙන්ම ගොඩ නැඟූ ලෝකය බිඳ දැමීමටද සෘජු හෝ වක්‍රාකාර ​දායකත්වයක් ප්‍රධාන පෙළේ ආගමික මතිමතාන්තර විසින් ලබා දී ඇති බව​ පිළිගත යුතුව ඇත​. 

කාලීන අවශ්‍යතා අනුව​ පසු කාලීනව​ සෑම ආගමක්ම ​ආයතනගතව ඇති අතර ඒ ඒ ආයතනයේ පැවත්ම උදෙසා ආගමික මූලධර්ම​ ප්‍රතිනිර්මාණය කරගනු ලැබිණි. මේ ප්‍රතිනිර්මිත මූලධර්ම අර්ථ දැක්වීමටත් විග්‍රහ කිරීමත් රඟකාරී මුහුණුවරක් ගනු ලැබිම, ආගමික සහජීවනය බිඳ වැටීම කෙරෙහි බලපාන තීරණාත්මක සාධකයක් වූ බව දෘශ්‍යමානවේ. ආගමික මතවාදයන් පදනම් කරගෙන එකිනෙකා අභිබවා නැඟී සිටීමේ නිරන්තර උත්සාහය සීමා මායිම් ඉක්මවා ගොස් සමස්ත සමාජයේම සංහිඳියාව පුපුරවා හැරීමේ ශක්ති ප්‍රභවය සැඟවී තිබෙන්නේ  ආගමික ග්‍රන්ථයන්‍ තුළ​ය​.

ඉශ්‍රායෙල් සහ පලස්තීන ජන්මාන්තර වෛරය වපුලේ ඔවුන් ගේම ශුද්ධ ලියවිල්ලේ ඇති මනුෂ්‍යත්වයට පටහැණි වැකි පේලි අතරිනි. අපේ ජාතික ඉතිහාසය යයි කියන පක්‍ෂග්‍රාහී ලියවිල්ල වාර්ගික​ආගමික බලකඳවුරු වලට බෙදී මමායනයෙන් මත්ව තමන් ගේ වට්ටෝරුවම අමෘතය ලෙස වළඳන්නට සලසා තිබේ. ඉතිහාස පොතේ ඇති වැකි පේළිඅපේ පෙළපොත් වලද ඉතා මිහිරි වදනින් සරසා තිබිණි. මේ වැකි පේළිමනිදහස්ව උපන් මිනිසුන්ට නිදහසේ ජීවත් වීමේ මානව හිමිකම පැහැර ගන්නා ලදි. 

 අපේ ලියවිල්ලද​ ජාතිවාදයේ, ආගම්වාදයේ බිජුවට වපුරා වැඩෙන්නට අවශ්‍ය පස සකස් කර පොහොර යොදා භූමිය සූදානම් කළේය​. වැපිරූ කෙතට​ ඇවැසි දිය පොහොර ඇද, වන සතුන් ගෙන් වගාව ආරක්‍ෂා කර ගන්නට, වල් වැද පැල් රැක දුක් ගත්තේ අට පහ නොදත් හුදී ජනයාය​. කෙත්වතු පලදරා අස්වනු නෙළන්නට පෙරාතුව ජාතිවාදයේ ගිනිසිළුව දල්වනු ලැබිණි. ගින්න දැල් වෙන විට එය නිවී යානොදී රැක ගැනීමට දේශපාලන ගිනි පිඹින්නන් අතට කණහුල දෙන ලදී.  

එකම ජන කොට්ඨාශය බද්ධ වෛරයෙන් එකිනෙකා තළා පෙළා හෙළාදැක ගනිද්දී 
දේශයේ, වර්ගයේ ආරක්‍ෂකයින් යයි කියා ගන්නා උන් බල උන්මාදයෙන් මත්ව පෙරමුණු සාදා ගනු ලැබිණි. අද අපි  සතුරන්ව ඇතත්, අපේ ආරක්‍ෂකයෝ ඕනෑම විටක උනුන් සිපවැළඳ ගෙන රසබොජුන් වළඳා උත්සව ශ්‍රීයෙන් වැජඹෙන්නට නොපැකිලෙති. නිදහස්ව සිතන්නට පුරුදුවූ මිනිස් සිතට ඇණ ගසලාය​. නිදහසේ ජීවත් වෙන්නට මිතුරු පයුරු පාසානම් බැඳ ගන්නට තිබූ ඉඩකඩ අහුරලාය​. අපි හැම වෛවාරන්න පාටවලින් කොටු කරලාය​. 

දෙශපාලන පක්‍ෂ යයි කියාගන්නා කඩමල්ලෙන් මහජනයාගේ දෑස් බැඳලාය​. කඩමල්ලේ පාට නිසා අප අන්ධයින් ලෙස හැසිරෙන්නට පුරුදු වී තිබේ. එම වැස්ම ඉරා දමන්නට අප අපෝසත් ය​. මන්ද එය අපේ හම ඉරා දමනවාටත් වඩා වේදනාකරය​. දේශපාලකයින් විසින් අපව ගාල් කරන ලද කොටුවේ අප දිවිහිමියෙන් ගාල්වී සිටිය යුතුය​. අපේ කුටුම්බයන් රැගැනීමට නම් අපිම විලංගු දාගත යුතුව ඇත​. අපිම කටකලියා දමා ගත යුතුව ඇත​. අපිම දඬුකඳේ දපාගත යුතුව​ ඇත​. 

නිදහසේ උපන් අප සිතින් මෙන්ම ගතින් ද වහලුන් ය​. උපන් අයුරින් අපට නිදහසේ මියැදෙන්නට පුළුවන් කමක් නැත​. අපි ඇතුළතින් ද පිටතින් ද බැඳී ඇත​. ඇවැසි නම් වහල් ආත්මයෙන් වුතවීමේ මඟ ඇත්තේ අප තුළමය​.

මේ අත්‍යන්ත විශ්වයේ දූවිලි අණුවක් වන, අපි පමණක්ම​ සමස්ත විශ්වයමයයි අදහන්නට අන්අයට බල කරනු ලැබිණ​. එක හා සමාන කිසිදු දූවිලි පුංජයක් නොපවතින ලෝකය තුළ, පවතින වෙනස පිළිගන්නට අපි මැළි වෙමු. එක ජන වර්ගයක්එක ආගමික මතවාදයක්එක ජන රැසක් සමූහගතවීමේදී දේශපාලන මතවාදය එල්බ ගැනීමට ලැදි කමක් අප තුළ පැලපදියම්ව ඇත.​

අනික් අතටඅන් සියළු ජන කොටස්සියළු ඇදහිලි ක්රම සහ ජන සමුහගතවීමේ නිර්නායකයන්ටවඩා එක් වර්ගයක ශ්රෙෂ්ඨත්වය උහා දැක්වීමටප්රකාශ කරන්නටබලෙන්ම පිළිගන්වන්නට 
අධිමානයක් අප තුළ මුල් බැසගෙන තිබේඋත්තරීතර මිනිස් සංහතිය වනසා යටත් කොට අනභිභවනීය වන්නටපිඹුරුපත් සකසනු පිණිස නිරන්තර සටනක අපි යෙදී සිටිමු .

භෞතික බලය සහ ශක්තිය උරගා බලන්නට මිස, අප තුළ සිටින පිවිතුරු අහිංසක සත්වයාට ඇහුම්කන් දෙන්නටඋහු සනසන්නට දුක සැප විමසන්නට මොහොතකට ඉසිඹුවක් ලැබුවාද අප​? අපේ හද පත්ළෙහි සැඟවී ඇති උත්තරීතර මානව දයාවේ උල්පතින්, දිය දෝතක් ගෙන අපේ  දැවෙන මිරිකෙන​හඬා වැළපෙන ජීවය සනසන්නට  මොහොතක් නැවතුනාද ​ අපදිය ඌල මත හිඳ, නිරුදක කතරටම නුවන් යොමා දුර පෙනෙන මුත් ළං නොවන මිරිඟුවට ලොබ බඳිමු  අපි. ​පිපාසෙන් වෙලෙවිව වැටෙන තෙක් දිවගොස් හූල්ලා අවසනඅසංතෘප්තවු ජීවය හිස් අවකාශයේ හිදැස පුරවන්නට මුදාහරින්නෙමු අපි.

මනුෂ්‍යවර්ගයා කිසියම් නිශ්චිතවූ සන් ධිස්ථානයකට මේ මොහොතේ පැමිණ ඇතැයි හැඟේ. අප මනුෂ්‍යයන් විය යුතුද නැද්ද යන තීරණය ගැනීමට මේ සුදුසුම හෝරාවයයි මට දැනේ.
ඉතින්වත් ලද​ උතුරු මනුසත් බවෙහි අරුත එයදැයි අසන්නට සිතන්නට කාලය ඇවිත් දැයි විමසිලිමත් වෙමුද?

අති ධවල පිරුවටයක් සේ පිවිතුරු ප්‍රාණය පමණක් සමඟ​ හිස් අතින් මෙලොවට පැමිණි අප ඒ අතිධවල පිරුවටය වැරැහැලි වන්නට ඉඩ නොදී සුදුසු කල ​ආපසු ගෙනයන්නට සමත් නම් අප කොතරම් ශ්‍රේෂ්ඨදැයි මේ විශ්ව ධාතුව උදම් අනනු ඇත​. ඒ ධවල පිරුවටයේ අපේ කිළිකුණු වල දුර්ගන්ධය නොව, නිකැළැල් සුගන්ධයම රඳා පවතින්නට හැකිතාක්  අපේ ප්‍රාණයට දයාබර වෙමු. කාරුණික වෙමු. පරිත්‍යාගශීලී වෙමු. මානුෂීය වෙමු.


මල්ලිකා එම් බණ්ඩාර​
 -21.02. 2018 –

Tuesday, 10 April 2018

මතකයෙන් බිඳක් 5 - කවියක අරුමය

කවියක අරුමය​

අපේ ගමේ මුල්ම විශ්ව විද්‍යාල උපාධිධරයාද,  පශ්චාත් උපාධිධරයාද වූඅපේ ඉස්කෝලේ විදුහල්පතිවරයා ගණිත විෂයෙහි අසාමාන්‍ය ගණයේ ප්‍රවීණයෙක්. පසු කාලයේ විශිෂ්ඨ ගණයේ අධ්‍යාපන අධ්‍යක්‍ෂක වරයෙක්. ඔහු කවියෙකි. දහනව වන වියේදී "අනුලා"නමින් කවිපොතක් මුද්‍රණය කර ප්‍රසිද්ධ​ කළේය​. ඔහු නාට්‍ය රචකයෙකි. ඔහු ගේ නාට්‍ය පිටපත් පාසල් වේදිකාවේ රඟ දැක්විණි. පාසලේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ ඔහු විදුහල්පති ධුරය දැරෑ හත් අවුරුදු කාල පරිච්ඡේදයයි.

නවවන, දහය සහ එකොළහ ශ්‍රේණි වලදී මගේ ගණිත ගුරුවරයාද ඔහු විය. ඒ වගේම ගණිතයට දුර්වල සිසුන්ට දඬූවම් කීරීමේද රුසියෙකි. ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය සඳහා අධ්‍යාපන මනෝවිද්‍යාව හදාරන්නට ඇතිමුත්ගැහැණු පිරිමි භේදයකින් තොරව, ගණන් වැරැද්දූ විට ​වැරැදුන ගණනට එක් වේවැල් පාර බැගින් සිසුන් ගේ අත්ලට වේවැලෙන් පහර දීම ඔහුගේ ක්‍රමවේදය විය​.

නවවන වසරේ පළමුවන වාරයේදී ගණිත විෂය කාලච්ඡේදයේදී විදුහල්පතිවරයා අපේ පන්තිකාමරයට ආවේය​. ඔහු පන්තියට ඇතුළුවන විට අනෙක් විෂය භාර ගුරුවරයෙකුට වඩා උනන්දුවෙන් සහ​ ගෞරව සම්ප්‍රයුක්තව,​ අපි ඉද්ද ගැසුවාක් මෙන් නැඟිට ආයුබෝවන්!” කියා ආචාර කළෙමු. ඒ එකම හඬිනි.  හැම කෙනෙක්ම ශබ්ද නොනැඟෙන පරිදි  නැවත පුටුවේ වාඩිවුණේ සීරුවෙනි.

ගණිත ගුරුවරයා  වේවැල මේසය මත තබා, මේ මගේ ගණිත උපදේශකවරයා"යි කියා මුළු පන්තිය පුරාම බැල්මක් හෙලුවේය​. පන්තියේ සිටි හතළිහක් තරම්වූ අපි හැමදෙනාගේම හිත් කිලිපොලා සලිතවී හිරිවැටෙන්නට ඇත​.

ඉන්පසු ඔහු විශාල කළු ලෑල්ලේ ලොකු අකුරින් කවියක් ලීවේය​.

පළමුව වරහනය දෙවනුව හල්නයනු
බෙදුමයි වැඩිකිරීමයි තෙවනුව කරනු
එකතුව අඩුකෙරුම අන්තිමටම කරනු
මේවයි සුළු කිරීමෙදි දතයුතු කරුනු

ඒ ගණිත සූත්‍රයක් කවියෙන් තහවුරු කිරීමෙකි. මුළු පන්තියම ලවා එක්ව ​කවිය තුන් වරක් කියවනු ලැබිණි.ඉන් පසුව එකිනෙකා ලවා කවිය එක්වරක් කියවන ලදී. එක්වරක් කියවූ පමණින් ඒ කවිය කටපාඩම් විය​.
නවවන පන්තියට නියමිත ගණිත විෂය ඉගෙන ගැනීමේ මූලික පියවර තැබුවේ එලෙසිනි. එකල​ නවය​, දහය සහ එකොළහ පන්ති වලට නියමිතව තිබු අත්පොත් මාලාවේ එක් පොතක් වූයේ ජේ ඊ ජයසූරිය ශූරීන් (Prof. J E Jayasuriya) ගේ ගණිත නවෝදයයි. ගුරුවරයා අනුගමනය කළ සාධනීය ප්‍රවේශය​, අපේ ගණිත විෂයෙහි පරිණත භාවය​ මහඟු පිටුවහලක් විය​. ​අ පො ස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත විෂය සඳහා විශිෂ්ඨ සාමාර්ථයක් මට ලැබිණි.

මේ ගණිත විශේෂඥයා වැඩිමනත් ණිත සූත්‍ර වලට භාවිතා කළේ ගමේ එදිනෙදා පරිසරය සහ ගැමි ජීවිතයේ දෛනික ජීවන ක්‍ර​මය හා සම්බන්ධ ක්‍රියාකරකම්‍ ය​. ගමේ වෙල් යාය​පොල් කැඩීම, පුවක් ගහට නැඟ බැසීම,​ වේගය මැනීම​අනුපාත ආදී මෙකී නොකී ගණිත සූත්‍ර​ යොදා ගැටළු විසඳුවේ ගමේ එදිනෙදා ජන ජීවිතය අනුසාරයෙනි. 

සැන්ඩෝ මාමා ගේ ගොන්කරත්තයේ  සහ  තැපල් පියන් ගේ බයිසිකලයේ වේගය පදනම් කර ගෙන වේගය මණින ක්‍රම අවට පරිසරයෙන් ආදේශ කර ගණිත ගැටළු නිර්මාණය කළේය​.

ගමේ ලියද්දක ගැමි ගැහැණුන් ගොයම් නෙළන වේගය, දින හෝ පැය ගණන් වලින් සෙවීම, ඔවුන්ට වැටුප් ගෙවීම අනුපාතිකව ගණනය කිරීමට එදිනෙදා සිදුවීම් වලට සම්බන්ධ කොට ඔහු අපේ ගණිත ගැටළු විසඳීමේ හැකියාව වර්ධනය ​කළ අතරම ඊට හාස්‍ය වැනි භාවප්‍රකාශන හැකියාව එකතු කළේය​.

එකල ගමේ පොල්වතුවල "පොල් මුරේ" කඩන ප්‍රසිද්ධ මිනිසුන් දෙදෙනෙක් හිටියා. ඉන් එක් අයෙක් පොල් කැඩුවේ දිග උණ ගස් දෙකක් එක්කොට බැඳ ගත් පොල්කෙක්කකිනි. අනික් මිනිසා  දෙපයට දමාගත් වළල්ලක ආධාරයෙන් ගස් බඩගෑමෙනි.  පළමු මිනිසා දිනකට පොල් අක්කර කීපයක පොල් කැඩූ අතර දෙවැන්නා  ගෙවතු වල පොල් කඩන ලදී.  මේ රැකියා ඇසුරෙන්​ගසට නැඟීමේ වේගය​කැඩූ පොල් ගෙඩි ගණන​ඔහුට ලැබුණ කුලිය, ආදායම වියදම​ ආදී දේ ගණිත ගැටළු ස්වරූපයෙන් අප ලවා විසඳවන ලදී.පොතේ ඇති ගැටලු වලට වඩා හොඳින් පරිසරය ආශ්‍රයෙන් විසඳිය යුතු ගැටලු තේරුම් ගැනීමට සිසුන්ට පහසු විය​.

 වරක් අපට විසඳීමට දුන් ගැටලුව මෙවැන්නකි.
අක්කරයක 1/2 ගොයම් පැල සිටුවීමට​ ගැහැණුන් හතර දෙනෙකුට පැය අටක් ගතවේ. අක්කරයක විශාලත්වයෙන් යුතු මහ ලියද්දේ ගොයම් සිටුවීමට ගැහැණුන් අටදෙනෙකු උදේ හතට වැඩ​ පටන් ගෙන සවස තුනට අවසන් කරන ලදී. මහ නියර ළඟ​ සයිමන් මාමාට අයත් අක්කරයක වපසරිය ඇති ලියැදි දෙකේ, රොසලිනා නැන්දා  ඇතුළු ගැහැණුන් අට දෙනෙකු  ඉහත වේලාවටම වැඩ පටන් ගත හොත් ලියැදි දෙකේ වැඩ නිමකරන්නට ඔවුන්ට​ කොපමණ කාලයක් ගත වේද​?

ගණනට කාලය නියම විය.  අප​ විනාඩි පහකින් ගණන හදා පොත වසා තැබිය යුතුවිය​. අපි බොහෝ දෙනෙක් ඉක්මණින් ගැටළුව විසඳා ඩෙස්ක් එක මත ​පොත් මුණින් අතට හරවා තැබුවෙමු.
විදුහල්පතිතුමා අපේ ගණන් පොත් පරීක්‍ෂා කරබලා, “ඔක්කොම වැරැදියි ජයන්ත විතරයි හරි කීවේය​.  

අපි සියළු දෙනා විමතියෙන් බලා සිටියෙමු.  
ජයන්ත නිවැරැදි පිළිතුර ලියා ඊට ඉදිරියෙන් "අවිනිශ්චිතයි" යනුවෙන් ලියා තිබිණි.

ඇයි ජයන්ත " අවිනිශ්චිතයි කියල ලිව්වෙවිදුහල්පතිතුමා ඊට හේතුව විමසුවේය​.
"සර් රොසලිනා නැන්දා වැඩකට ගියොත් ඕපාදූප කතා කරනව මිස වැඩ කරනවා අඩුයිනෙ නිසා පැයෙන් කරන්ට පුළුවන්දේට පැය දෙකක් ගත වෙන්ටත් පුළුවන්නෙ කීවේය​.

ගමේ හැමෝම රොසලිනා නැන්දා යයි ඇමතූ ගැහැණිය කට-කමසෙය්‍යාවක් නැතුව නන් දොඩවන​ ඕපාදූප මල්ලක් බව​ දන්නා ළමුන් සියලුදෙනාම මහ හඬින් සිනාවු මුත් සාමාන්‍යයෙන් ළමුන් සමඟ සිනා නොවෙන විදුහල්පතිතුමා තදින් මුව වසාගෙන​, පොතත් අරන් වේගයෙන් ගුරු විවේකාගාරයට ගියේය​. ඔහු ගුරුවරුන් අතරට ගොස් පොත පෙන්වා ශිෂ්‍යයාගේ ප්‍රායෝගික ආදේශනය පිළිබඳව හිනාවූ බව පසුව දැනගන්නට ලැබිණි.

එම අවුරුද්දේම​, අපේ ඉස්කෝලෙට දේශපාලන පළිගැනීමක් ලෙස මාරු වීමක් ලැබූ  ගුරුවරයෙක් පැමිණියේය.​ ආදි රෝයල්  ශිෂ්‍යයෙක්වූ ඔහු අපේ පන්තිභාර ගුරුවරයා බවට පත්වූ අතර​ මුළු කාලච්ඡේදයම ගතකළේ හිටපු අගමැතිනි සිරිමා බණ් ඩාරනායක විවේචනය කිරීමටයි. 

ඉංග්‍රීසි ගුරුවරයා විසින් "O my darling...Clementine" ප්‍රසාංගිකව ගායනා කළේය​. අපිත් ඔහු අනුකරණය කළෙමු. බොහෝවිට වචනාර්ථය ප්‍රකාශ වන අයුරින් අපි එකිනෙකා දෙස බලාගෙන ගැයුවෙමු. පන්තිය සිනා සාගරයක් විය​. යාබද පන්ති වල ළමුන් ගේ අවධානය රඳවා තබා ගැනීමට ඒ පන්තිවල වැඩ කළ ගුරුවරුන්ට බොහෝ අපහසු විය​. ගුරුවරු විදුහල්පතිතුමාට පැමිණිලි කරන්නට ඇත​. නමුත් විදුහල්පතිතුමා ඉංග්‍රීසි ගුරුවරයාගෙන් කරුණු විමසුවේ නැත​.

ඒ දිනවල ඉස්කෝලේ යාම තරම් ප්‍රියජනක දෙයක් අපට නොතිබිණි. යොවුන් වියේ දොරකඩ අභියසට අවතීර්ණ වෙමින් සිටි අප ජීවිතය දෙස බැලුවේ අනන්තවූ චමත්කාරයකිනි. ඉතා සුළු දේ පවා අසීමිතව වින්දනය කළෙමු. ඒ නිසා දිනපතා උදෑසනින් ඉස්කෝලේ යාම පුරුද්දක් විය.  අව්ව වැස්ස නොතකා ඇති පදම් සෙල්ලම් කරන්නට ලැබීම​ මහත් ආශ්වාදයක් විය​. කොටින්ම​ඉස්කෝලේ යාම විනෝදයක් විය​.  හවසට මීහරක් මෙන් මඬ නාගෙන ගෙදර ඇවිත් බැණුම් ඇසුවෙමු. ඒත් අත්‍යන්ත සතුටකිනි. 

එක් උදෑසනක සුපුරුදු පරිදි අපේ නඩය ඉස්කෝලෙට ඇතුළු වන විටත් වෙනදා මෙන්ම​ ඉහල පන්ති වල ශිෂ්‍යයින් පන්ති වලට පැමිණ සිටියේ නැත​.  නෑදෑ පවුල් හතරක අයත් දැරියන් වූ, සම වයස් කාණ්ඩ වල අක්කලා හතර දෙනෙක් සහ නංගිලා හතර දෙනෙක් මේ නඩයට අයත් විය.​සාමාන්‍යයෙන් කලින්ම එන්නේ අපේ කණ්ඩායමයි.  ප්‍රධාන ශාලාවේ විශාල කළුලෑල්ලෙහි කවියක් ලියා තිබෙණු අපි දැක්කෙමු. කවිය දුටු සැනින් ඉංග්‍රීසි ගුරුවරයාගේ නම සඳහන්වී තිබෙනු දැක​ සිහින් තිගැස්මක් ද සමඟ කවිය අපේ මතකයේ රැඳිනි. එහෙත් බැරිවෙලාවත් අමතක වුණොත්! මම එය​ අභ්‍යාස පොතක කෙලවරේ ලියා ගතිමි.

සේරම් පඬි සඳා
පන්තියට විත් සැමදා
ඉංග්‍රිසි පසෙක දා
දෙසයි දෙස්පාලනය නොමදා” 

කළුලෑල්ලෙහි වූ කවිය මකන්නට කිසිවෙකු ඉදිරිපත්වූයේ නැත​. උදෙන්ම ඉස්කෝලෙට පැමිණි ළමුන්ට කවිය කටපාඩම්විය​​. ඇතැම් ගුරුවරුද කවිය කියවා නිහඬ වූහ​. පැය භාගයක් ඇතුළත ශිෂ්‍යනායකයෙකු ලවා කව මකා දමනු ලැබිණ. ​කිසියම් ශිෂ්‍යයෙකු විසින් කවිය ලියන්නට ඇතයි අනුමාන සහ කටකතා පැතිරුණත් ඒතරම් ව්‍යක්ත සහ නිදහස් ලෙස අදහස් ප්‍රකාශ කරන්නට​සිසුවෙකු එඩිතර වේදැයි කාටත් සැක පහලවිණි. සැබවින්ම එවැන්නෙකු සොයාගන්නට ලැබුණේම නැත​. මේ නිර්නාමික කවිය පහලවීමෙන් පසු ඉංග්‍රීසි ගුරුවරයාගේ දේශපාලන විවේචන වල සැර බාල වෙන්නට වූ අතර පසු කාලයේදී ඔහු මාරුවීමක් හදාගෙන නැවත කොළඹ ගියේය​.

මල්ලිකා එම් බණ්ඩාර​

10. 04. 2018