මඳ පවන විඳ මියුරු
සරතැස නිවාලා
බිඳ සිහිණි මල්
පියළි අතුරා වියාලා
වන පෙතක තුරු හිස
කැදැල්ලක් තනාලා
රැකවරණ හැදුවේ ඇකයේ හොවාලා
සිඳු කුස වැටී බිළිඳු මුදනා නියාවෙන්
පෙඳපතින් දිය ඉහින
ලේණියක සේ වැළප
කඳුළු විල ගලයි ගං
හෝ වලට හැරවිලා
දරු දුකයි තෙරපුනේ
ළය මඬල දෙදරිලා
ගිම්හානයේ දැවෙන
සරතැස නිවාලා
ඇති දැඩි කළා මුව’ග අම බිඳු තියාලා
වස්සානයේ සිහින
සුළඟේ රැඳීලා
විසිරී ගියේ කෙලෙස
සිඳු මැද වැටීලා
සන්තාපයේ කළුවළා ඇත නැඟීලා
සුවහස් නැවුම් සිහින
දියවී බිඳීලා
සන්තානයේ පතුළ බොරවී මිදීලා
තොටමුණ හිඳී හුදකලාවේ කිඳීලා
තොටමුණ හිඳී හුදකලාවේ කිඳීලා
මල්ලිකා එම් බණ්ඩාර
24. 09 2016
No comments:
Post a Comment