Friday, 27 April 2018

සරසවි සක්මන​


යොවුන් මල් වසන්තයෙ රුවන් දොරගුළු හැරිය
කඳු වළලු සිප ගලයි සොඳුරු මහවැලි නදිය​
ළපළු නා පත් සලා නඟන මුදු සිලි සිලිය​
හන්තාන අඩවියේ සුළඟ  වුව සුවබරය​ ​ 

නුරාබර තුණුසිරිය වසා මීදුම් සළුව​
ගිරි කුළක රැඳී ගෙන සිනාසෙයි සඳ පළුව​
කියඹු වැල් දඟ කරන නළල් තල සිපගන්න
මඳ පවන රොද බඳී මා ගතේ දැවටෙන්න​  

අතින් අතගෙන හෙමින් ඇවිද ගිය ​මඟ දෙපස​
ලිය මඬුළු තුරුවදුළු සිනාවෙන් පිරි සවස​ ​  
නැවුම් පෙම්වතුන් සේ ගිමන් හල පෙර දවස​
කලාගාරය පසෙක​​ බලන් අර පුන් කළස!​

ගෙනා ජීවන සුවඳ සිනාබර මුව​  නිබඳ​ ​
නිරාමිස සුව දෙවයි දැහැන් ගත කර​ මහද​​
රළ පතරටත් වඩා ගැඹුරු  දියඹය නිසල​
මා රැජිනකැයි හඟිමි ​ හිඳින සඳ​ ඔබ අසළ​

ළතණ බුමුතුරුණ මත​ විසුළ මල් පෙති අතර​
මතක පෙම් පුරාවත​ දසක හතරක් පැතිර
සැඳෑ තුරු සෙවන යට මෙනෙහි කර ජීවිතේ
​මඳක් පියමං කරමු  රැඳී පටු මාවතේ

මල්ලිකා එම් බණ්ඩාර​

12. 05. 2015




No comments:

Post a Comment