Tuesday, 3 April 2018

සමු නොදුන් මිතුරා


කියාගන්නට දහක් දේ ඇතත්
එකතු වෙන්නට මඟක් අපට නැති
එකතුවූ කෙනෙහි වුව
හිතේ හැටියට යමක් කියන්නට
ඉසිඹුවක් නොතිබුණෙන්

කාලයේ ඇවෑමෙන්,
අසා ගතයුතු දේම මඟෑරුන බව දැනී
යම් දිනක හිතට දුක දැනෙනු ඇති
ගිළිහුණේ කුමක්දැයි නොදනිතත්
එය මහඟු දෙයක් බව සිතෙනු ඇති

පහන් වැට පාමුළේ සෙමෙන් පිය නඟන විට​
අඳුර යනු කුමක්දැයි නොවැටහෙන්නටත් ඇති
පහන් සිළ දැවී ගොස් අඳුර මැද තනි වෙද්දි
සමු නොදුන් මිතුරාව හිතට ගොඩ වෙන්න ඇති

දැහැන් ගත කරන සිත අවදි වුණ මතකයක​
සිහින් සුවඳක් වගේ තනි වෙච්ච වෙලාවක​
බිඳුන වර පට මිසක​ බැඳුන ඉණිමං නොමැති
මියැදි ඊයේ මෙන්ම අදක් මිස හෙටක් නැති
ජීවිතය යනු කිමැයි හැඟෙන  විට​
සමුනොදුන් මිතුරා 
අපකෙරෙන් දුරස්වී හිඳිනු ඇති

මල්ලිකා එම් බණ්ඩාර


03. 03. 2018



No comments:

Post a Comment