Wednesday, 11 April 2018

ධවල පිරුවටය​

මේ  ලෝකයේ  මෙතෙක් බිහිවූ හැම ආගමක්ම කතා කරන්නේ මානව​ විමුක්තිය ගැනය​. ඒත් ආගමික විශ්වාසයකට බැඳි සිටින මිනිසුන් බොහෝවිටඒ විමුක්ති මාර්ගයේ සවිඥානිකව​ ගමන් කරන්නෝ නොවෙති. අධ්‍යාත්මික විමුක්තිය සොයා යන ගමනේදී මිනිසුන්ඒ ඒ ආගමික ශාස්තෘන්ගේ මුලික ඉගැන්වීම් වලින් ප්‍රායෝගිකව දුරස්ථව තිබීම​ සැම ආගමික හෝ භක්ති මාර්ගයකම පොදු ලක්‍ෂණයවී ඇත​. ආගමික ශාස්තෘන් විසින් ප්‍රකාශ කිරීමට අදහස් කළ,  මානව ශිෂ්ඨාචාරයේ ප්‍රගමනයට අදාල කරගත හැකි පණිවුඩය අපි හෑම විටම වරදවා තේරුම් ගෙන ඇති සෙයකි.  නැතිනම් භෞතික සහ අධ්‍යාත්මික රෝග වලට නිශ්චිතව ප්‍රතිකාර දී ඇතත් අපි අරන් තිබෙන්නේම වැරැදි මාත්‍රාවය​. 

කාලාන්තරයක් තිස්සේ මානව හැසිරීම් සහ ක්‍රියාකාරකම් විකාශනය වීමේදී විවිධ හේතූන් ගේ බල පෑම් නිසා අපේ හිත් දූෂ්‍යවීවණවී ඔද්දල්වී ඇත.​ සවිඥානිකව හෝ අවිඥානිකව​ අප හැම දෙනාමඅඩු වැඩි වශයෙන් කිසියම්වූ රෝගයකින් අසාධ්‍යවී සිටී. මානව ඉතිහාසය පුරාම සනිටුහන්වී ඇත්තේ එවන් රෝගී සමාජයක සිදුවන දෛනික ක්‍රියාකාරකම්වල අනිටු ප්‍රතිවිපාකයන් ය. ඒ අනුව​ ලෝකය ගොඩ නැඟීමට මෙන්ම ගොඩ නැඟූ ලෝකය බිඳ දැමීමටද සෘජු හෝ වක්‍රාකාර ​දායකත්වයක් ප්‍රධාන පෙළේ ආගමික මතිමතාන්තර විසින් ලබා දී ඇති බව​ පිළිගත යුතුව ඇත​. 

කාලීන අවශ්‍යතා අනුව​ පසු කාලීනව​ සෑම ආගමක්ම ​ආයතනගතව ඇති අතර ඒ ඒ ආයතනයේ පැවත්ම උදෙසා ආගමික මූලධර්ම​ ප්‍රතිනිර්මාණය කරගනු ලැබිණි. මේ ප්‍රතිනිර්මිත මූලධර්ම අර්ථ දැක්වීමටත් විග්‍රහ කිරීමත් රඟකාරී මුහුණුවරක් ගනු ලැබිම, ආගමික සහජීවනය බිඳ වැටීම කෙරෙහි බලපාන තීරණාත්මක සාධකයක් වූ බව දෘශ්‍යමානවේ. ආගමික මතවාදයන් පදනම් කරගෙන එකිනෙකා අභිබවා නැඟී සිටීමේ නිරන්තර උත්සාහය සීමා මායිම් ඉක්මවා ගොස් සමස්ත සමාජයේම සංහිඳියාව පුපුරවා හැරීමේ ශක්ති ප්‍රභවය සැඟවී තිබෙන්නේ  ආගමික ග්‍රන්ථයන්‍ තුළ​ය​.

ඉශ්‍රායෙල් සහ පලස්තීන ජන්මාන්තර වෛරය වපුලේ ඔවුන් ගේම ශුද්ධ ලියවිල්ලේ ඇති මනුෂ්‍යත්වයට පටහැණි වැකි පේලි අතරිනි. අපේ ජාතික ඉතිහාසය යයි කියන පක්‍ෂග්‍රාහී ලියවිල්ල වාර්ගික​ආගමික බලකඳවුරු වලට බෙදී මමායනයෙන් මත්ව තමන් ගේ වට්ටෝරුවම අමෘතය ලෙස වළඳන්නට සලසා තිබේ. ඉතිහාස පොතේ ඇති වැකි පේළිඅපේ පෙළපොත් වලද ඉතා මිහිරි වදනින් සරසා තිබිණි. මේ වැකි පේළිමනිදහස්ව උපන් මිනිසුන්ට නිදහසේ ජීවත් වීමේ මානව හිමිකම පැහැර ගන්නා ලදි. 

 අපේ ලියවිල්ලද​ ජාතිවාදයේ, ආගම්වාදයේ බිජුවට වපුරා වැඩෙන්නට අවශ්‍ය පස සකස් කර පොහොර යොදා භූමිය සූදානම් කළේය​. වැපිරූ කෙතට​ ඇවැසි දිය පොහොර ඇද, වන සතුන් ගෙන් වගාව ආරක්‍ෂා කර ගන්නට, වල් වැද පැල් රැක දුක් ගත්තේ අට පහ නොදත් හුදී ජනයාය​. කෙත්වතු පලදරා අස්වනු නෙළන්නට පෙරාතුව ජාතිවාදයේ ගිනිසිළුව දල්වනු ලැබිණි. ගින්න දැල් වෙන විට එය නිවී යානොදී රැක ගැනීමට දේශපාලන ගිනි පිඹින්නන් අතට කණහුල දෙන ලදී.  

එකම ජන කොට්ඨාශය බද්ධ වෛරයෙන් එකිනෙකා තළා පෙළා හෙළාදැක ගනිද්දී 
දේශයේ, වර්ගයේ ආරක්‍ෂකයින් යයි කියා ගන්නා උන් බල උන්මාදයෙන් මත්ව පෙරමුණු සාදා ගනු ලැබිණි. අද අපි  සතුරන්ව ඇතත්, අපේ ආරක්‍ෂකයෝ ඕනෑම විටක උනුන් සිපවැළඳ ගෙන රසබොජුන් වළඳා උත්සව ශ්‍රීයෙන් වැජඹෙන්නට නොපැකිලෙති. නිදහස්ව සිතන්නට පුරුදුවූ මිනිස් සිතට ඇණ ගසලාය​. නිදහසේ ජීවත් වෙන්නට මිතුරු පයුරු පාසානම් බැඳ ගන්නට තිබූ ඉඩකඩ අහුරලාය​. අපි හැම වෛවාරන්න පාටවලින් කොටු කරලාය​. 

දෙශපාලන පක්‍ෂ යයි කියාගන්නා කඩමල්ලෙන් මහජනයාගේ දෑස් බැඳලාය​. කඩමල්ලේ පාට නිසා අප අන්ධයින් ලෙස හැසිරෙන්නට පුරුදු වී තිබේ. එම වැස්ම ඉරා දමන්නට අප අපෝසත් ය​. මන්ද එය අපේ හම ඉරා දමනවාටත් වඩා වේදනාකරය​. දේශපාලකයින් විසින් අපව ගාල් කරන ලද කොටුවේ අප දිවිහිමියෙන් ගාල්වී සිටිය යුතුය​. අපේ කුටුම්බයන් රැගැනීමට නම් අපිම විලංගු දාගත යුතුව ඇත​. අපිම කටකලියා දමා ගත යුතුව ඇත​. අපිම දඬුකඳේ දපාගත යුතුව​ ඇත​. 

නිදහසේ උපන් අප සිතින් මෙන්ම ගතින් ද වහලුන් ය​. උපන් අයුරින් අපට නිදහසේ මියැදෙන්නට පුළුවන් කමක් නැත​. අපි ඇතුළතින් ද පිටතින් ද බැඳී ඇත​. ඇවැසි නම් වහල් ආත්මයෙන් වුතවීමේ මඟ ඇත්තේ අප තුළමය​.

මේ අත්‍යන්ත විශ්වයේ දූවිලි අණුවක් වන, අපි පමණක්ම​ සමස්ත විශ්වයමයයි අදහන්නට අන්අයට බල කරනු ලැබිණ​. එක හා සමාන කිසිදු දූවිලි පුංජයක් නොපවතින ලෝකය තුළ, පවතින වෙනස පිළිගන්නට අපි මැළි වෙමු. එක ජන වර්ගයක්එක ආගමික මතවාදයක්එක ජන රැසක් සමූහගතවීමේදී දේශපාලන මතවාදය එල්බ ගැනීමට ලැදි කමක් අප තුළ පැලපදියම්ව ඇත.​

අනික් අතටඅන් සියළු ජන කොටස්සියළු ඇදහිලි ක්රම සහ ජන සමුහගතවීමේ නිර්නායකයන්ටවඩා එක් වර්ගයක ශ්රෙෂ්ඨත්වය උහා දැක්වීමටප්රකාශ කරන්නටබලෙන්ම පිළිගන්වන්නට 
අධිමානයක් අප තුළ මුල් බැසගෙන තිබේඋත්තරීතර මිනිස් සංහතිය වනසා යටත් කොට අනභිභවනීය වන්නටපිඹුරුපත් සකසනු පිණිස නිරන්තර සටනක අපි යෙදී සිටිමු .

භෞතික බලය සහ ශක්තිය උරගා බලන්නට මිස, අප තුළ සිටින පිවිතුරු අහිංසක සත්වයාට ඇහුම්කන් දෙන්නටඋහු සනසන්නට දුක සැප විමසන්නට මොහොතකට ඉසිඹුවක් ලැබුවාද අප​? අපේ හද පත්ළෙහි සැඟවී ඇති උත්තරීතර මානව දයාවේ උල්පතින්, දිය දෝතක් ගෙන අපේ  දැවෙන මිරිකෙන​හඬා වැළපෙන ජීවය සනසන්නට  මොහොතක් නැවතුනාද ​ අපදිය ඌල මත හිඳ, නිරුදක කතරටම නුවන් යොමා දුර පෙනෙන මුත් ළං නොවන මිරිඟුවට ලොබ බඳිමු  අපි. ​පිපාසෙන් වෙලෙවිව වැටෙන තෙක් දිවගොස් හූල්ලා අවසනඅසංතෘප්තවු ජීවය හිස් අවකාශයේ හිදැස පුරවන්නට මුදාහරින්නෙමු අපි.

මනුෂ්‍යවර්ගයා කිසියම් නිශ්චිතවූ සන් ධිස්ථානයකට මේ මොහොතේ පැමිණ ඇතැයි හැඟේ. අප මනුෂ්‍යයන් විය යුතුද නැද්ද යන තීරණය ගැනීමට මේ සුදුසුම හෝරාවයයි මට දැනේ.
ඉතින්වත් ලද​ උතුරු මනුසත් බවෙහි අරුත එයදැයි අසන්නට සිතන්නට කාලය ඇවිත් දැයි විමසිලිමත් වෙමුද?

අති ධවල පිරුවටයක් සේ පිවිතුරු ප්‍රාණය පමණක් සමඟ​ හිස් අතින් මෙලොවට පැමිණි අප ඒ අතිධවල පිරුවටය වැරැහැලි වන්නට ඉඩ නොදී සුදුසු කල ​ආපසු ගෙනයන්නට සමත් නම් අප කොතරම් ශ්‍රේෂ්ඨදැයි මේ විශ්ව ධාතුව උදම් අනනු ඇත​. ඒ ධවල පිරුවටයේ අපේ කිළිකුණු වල දුර්ගන්ධය නොව, නිකැළැල් සුගන්ධයම රඳා පවතින්නට හැකිතාක්  අපේ ප්‍රාණයට දයාබර වෙමු. කාරුණික වෙමු. පරිත්‍යාගශීලී වෙමු. මානුෂීය වෙමු.


මල්ලිකා එම් බණ්ඩාර​
 -21.02. 2018 –

No comments:

Post a Comment