Thursday, 28 June 2018

මේ අපේ උදාරවු .....



විභිෂණ, කතරගම​, වරුණ​ - දෙවි තෙද ඇති
ජන ගණා රැකදෙන්න නේක පුද ඉල්ලති 
එම දෙවොල් අධිපති - බස්නායකවරු තෙදති
සහසින් බැඳි පියළි - සමඟ පුද පෙත් හරවති

දෙවිවරුත් රවටා - දේව අබරණ පවා විකුණති
කෙත්වතු උයන් වතු  - ධන නිදන් ලැබ​ තරවෙති
රන්‍ රිදී බරණින් - හොර අඹුවන්ව සරසති
යාන වාහන සහ - සත් රුවන් වැසි වස්සති

රටට ඔළුගෙඩි ඇති - එහෙත් මොළ කළඳක් නැති
සුඛ විහරණය රුති - ජන නාවරුන් බිහිවෙති
රජ සිටු මැති ඇමති - කුමර කුමරියො උහුට​ අභිමති  
දිය කෙළි උයන් කෙළි - අනඟ රඟ සැණකෙළි පවත්වති

සඟ ගණ​ මහ බලති - පඬූරු කැට වල පුරවති
ණැන පහන් සිළ නිවති - දුසිල්වත්හුම​ බණ වදාරති
බුදිති කැළි කුණු අධිපති - විඳිති පස්කම් සැපම නොනැවති
හුදී ජන කැල අමනගති ඇති -  පුදති දන් පෙත් සිව්පසය නිති

අහෝ හිස් ඔළු ඇති -  මෝඩ ගොන් රැළ මඟ හිඟා කති
උන්ගේ දරුපැටවුන්- කුස පොතු සයින් වේලෙති
කිරි කඳුළක් නොමැති මවුන් ළයමඬල හප කරවති
කිරිකළ දහසකින් - බෝසමිඳු බඳ නහවති

ගුණ ණැන දැනුම ඇති - දිසාපාමොක් විරුද​’ති
තක්සලාවේ අධිපති - ශිල්ප දක්වන්ට පසුබට​ වෙති
නෑඹුල් දෝණියන්ගේ - මස් ලේ ඉල්ලති
මව්වරු වුව හැඩති -  පිළිකෙව් නොකර වළඳති
 
 මල්ලිකා එම් බණ්ඩාර​
 09. 06. 2018

Wednesday, 27 June 2018

බන්ධනය​


ඉමක් නොපෙනෙන සසර කතරේ
කෙම් බිමය පැන් සනහනා
නිමක් නැති මේ වන්දනාවේ
සැරයටිය වෙමි දිරි දෙනා

​සොයා යන රන් දෙවොල අභියස​
වැඩ හිඳින දෙවි නන්දනා
ගිමන නිවනා තුරු වදුළ වෙමි
මද පවන් රැල් රන්දනා

වරෙක තනිවී දෙපය පැටලී
අතරමං වී ළතැවෙනා
විටක තරු එළි නිවී ගිළිහී
දෙරණ පතිතව​ මියැදෙනා
මඟක් නැති දළ වැලි තලාවේ
බිඳෙන පියමං ඇහිඳිනා
හිඳිමි තවලම කැටුව නුඹ ගැබ​ ​
තරු පෙළක් වී ​ දිළියෙනා

ඇදෙමි නොනැවත  වළාවක්සේ
නුදුරු අහසේ දිස්වෙනා
රැඳෙමි ගම් බිම් දොවා ලන්නට​
දිනක මල් වැහි වස්සනා

මල්ලිකා එම් බණ්ඩාර​ 

28. 06. 2018

Monday, 25 June 2018

ආඥාවක්!



බයිබලයටත් වඩා ශුධවූ කන්‍යාව​
කිළිකුණු දෝවා නහා
සෝදාපන්න නුඹේ ඉණකඩ​
ගලවාපන්න ඔය​ දෑස් බැඳි
දිරාගිය​ රෙදිකඩ​

මළ බැඳුන තරාදිය සමඟ මොට අසිපත
විකුණාපන්න පරණ බඩු කඩයකට​
ශුධවූ ජාතියක අඬහැරය​
නවත්වාපන්න එක ඉසිඹුවක
ගල් ලෙනෙන් පිටට විත්
දෑස් ඇර බලාපන්

එකින් එක පිටු හැලෙන 
රෝම ලංදේසි පොත ඉරාදා
දෙතිස් වධ සන්නසක ලියාගෙන​
එකිනෙකා කටුබෙරේ දමන්නට
වධකයෙක් සොයාපන් 

තුලාවේ සමබරට
පසිඳින්ට නොහැකිනම් යුක්තිය​
පුදසුනේ වසුරුලා 
ගොදුරු ගිල දමන කළු කපුටන් ගෙ
පියාපත් කඩා බිඳ දමාපන්

කන්‍යාවකැයි කියන 
වෙසඟනකවූ නුඹට
ගල් ගසන තුරු නොසිට​
අයුක්තිය අසාධාරණය දෙස​
දෙනෙත් යුග විවර කර බලාපන්

ස්වේත හංසයින් මැද
තැනින් තැන සුවඳ දෙන
ධවල සියපත් ඇතත්
රිදී හෝතෙර පිපුණ​,
මඬ ගොහොරුවේ ලගින​
බයිසන් පට්ටියේ නාම්ඹන්
පිළිමහන්නට කෙනෙක් හොයාපන්!

මල්ලිකා එම් බණ්ඩාර​

25. 06. 2018

Saturday, 23 June 2018

ඉපැනැල්ල -3


අපේ ඉස්කෝලේ ප්‍රධාන මිදුලට පඩි පෙලෙකින් බැස යායුතුවිය. පඩි පෙළ දෙපස උඩ මිදුලේ දැවැන්ත බෝගන්විලා ගස් දෙකක් තිබුණි. වාරයටත් අවාරයටත් මේ ගස් දෙකේ  මල් පිරී පවතින අතර රත් පැහැති පලසක් මෙන් සෑම උදෑසනකම  සුදු වැලි මිදුල පුරා පරමල් විසිරී පවතී. පිණිබර උදේ ඉස්කෝලෙට යනවිට සෑම දවසකම​ මම මේ දසුන දකිමි. යව්වනයේ ආහ්ලාදයත් නැවුම් බවත් සමඟ මගේ හුදකලා සිත විස්තර කළ නොහැකි මනරම් සොඳුරු අඩවියකට පිවිසෙනු මට දැනෙයි.  වැල්ලේ ඇතිරූ මල් සුළඟ සමඟ පොර බදයි. වරෙක සුළියකට හසුවන මල් පෙති එකා පසුපස හඹා යමින් වෘත්තාකාරව ගමන් කරයි. තවත් වරෙක කිසියම් රටාවකින් එහාටත් මෙහාටත් ගමන් කර එකිනෙකා මිශ්‍ර වෙයි. මේ සුන්දරත්වය දකින්නේ මා පමණක්දැයි මම නොදනිමි. මට ඒ දෙස බොහෝ වේලාවක් බලා සිටිය හැකිය. ස්වාභාව සෞන්දර්ය නිර්මිතව ඇත්තේ මිනිසුන්ව අවට ලෝකය  සමඟ සමායෝජනය වන පරිදිය​. කීයෙන් කීදෙනෙකුට නම් මේ රටාව හැඳින ගෙන ඊට අනුගත විය ගත හැකිදමොහොතක් මේ විශ්ව නිර්මාණයේ අපූර්වත්වය උකහා ගෙන එය විඳිය හැකිද​?

ප්‍රධාන මිදුල අතුගෑමට නියමිතව ඇත්තේ අපේ පන්තියේ ගෑණු ළමයින්ටය​. තවත් මොහොතකින් මේ පර මල් වල ගමන් මඟ මගේ ඉදල් පහරින් නතරවෙනු ඇත​. ඉන් පසු කුණු ගොඩක් ලෙස මැදෑලත් ඉස්කෝල වත්තත් අතර ඇති පාළු බිම් කඩෙහි කුණුගොඩට එකතුවී දිරා යනු ඇත​. බොහෝ දින වල කලින්ම ඉස්කෝලෙට එන බැවින් මම ඉදල අතට ගන්නේ පැහැර හැරිය නොහැකි රාජකාරියක් ඉටුකිරීමට මා වෙත පැවරී ඇති වගකීමක් ඉටුකරන නියාවෙනි.  මිදුල අතුගෑම සඳහා දිනට නියමිත කණ්ඩායමක් සිටින නමුදු බොහෝවිට අනික් අය එන්නේ ප්‍රමාදවය​. පංගු පේරුවකින් තොරව අතට අහුවෙන දෙයක් කිරීමට මා හුරුවී තිබුණේ නිරායාශයෙනි.
එක් උදෑසනක මේ බෝගන්විලා පලස මැදින් පහල මිදුල තෙක් ඇවිදගෙන එමින් සිටියෙමි.
 පඩිපෙළ මුදුනේ සිට තිවංක,
 " හාසිනී!" මට කතා කළේය.
මා පඩිපෙළ නඟින්නටත් පෙර තිවංක පඩිපෙළේ මඳ දුරක් පහතට බැස්සේය. ඉන්පසු මම නැවතත් මල් පියවිල්ල දක්වා පහලට බැස ගියෙමි.
"ඇයි කතා කළේ " ප්‍රශ්නාර්ථයක් සහිතව මම ඔහු දෙස බලාසිටියෙමි.
තිවංකද මල්තලාව දක්වා ඇවිදගෙන ආවේය​.
"සුබ ආරංචියක් තියෙනව කියන්ට​. කාටද උදෙන්ම ඒක කියන්නෙ කියලා හිත හිතා මං හිටියෙ".
 "මොකද්ද ඔයතරම් සුබ ආරංචිය?"මම ඇසුවෙමි.
 "අහල සතුටුවෙන කෙනෙකුට එපායැ ඒක කියන්ට".
"සතුටුදායක දෙයක් නම් අහලා මටත් සතුටු වෙන්ට පුළුවන්. ඉතින් අගේ නොකර කියන්න".
"මං විභාගෙ පාස්!
"කොච්චර වාසනාවක්ද​?
හාසිනීට සතුටුද​?"
"ඔව්! ඇත්තටම​. හරි සතුටුයි".
අනික් එක ඔයා වගෙ කෙනෙක් පාස් වෙන එක පුදුමයකුත් නෙවෙයිනෙ".
"මට විතරක් නෙවෙයි , ඔයාටත් පුළුවන්. දැන්ම ඉඳල මහන්සි වෙන්න​. විශ්ව විද්‍යාලෙට යනව කියන එක මගේ හීනයක්".
"හැම කෙනෙකුටම තමුන්ගෙම කියල හීන තියෙනව​. ඒත් හැමෝටම​ හීන හැබෑ කරගන්ට  බෑ. ඒකට වාසනාවකුත් තියෙන්ට ඕන, මම හිතන්නෙ. එහෙම නොවුණොත් ඒවා හීන විතරම තමයි.

තිවංක මුළු ඉස්කෝලෙම ජනප්‍රිය චරිතයක්වූ අතරම ඔහු ප්‍රධන ශිෂ්‍යනායකයාද විය​.  තිවංක​ වැනි ශිෂ්‍යයෙකුට විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා ඉහල සාමාර්ථයක් ලැබීම පුදුමයට කාරණයක් නොවේ. සෑම විෂයක් ගැනම ඔහුට තිබුණේ පුළුල් දැනිම සම් භාරයකි. විෂයානුබධ සහ විෂය බාහිර ක්‍රියාකාරකම් ද එකිනෙක නොගැටෙන පරිදි සමායෝජනය කරගෙන හැම දෙනාගේම හිත් දිනාගෙන කටයුතු කරන්නට ඔහුට තිබුණේ නිසඟ හැකියාවකි. ඔහු පාසල් ගමන අවසන් කරන්නේ විශ්ව විද්‍යාලයෙන් බව කලින් ලියා තැබුවා වැනිය​. එය අපේක්‍ෂිත ප්‍රතිපලයකි.එහි එතරම් විශේෂත්වයක් ඇතැයි හැඟීමක් මට නොදැනුනි.
මම තිවංකට සුබපැතුවෙමි. 
අපි දෙදෙනාම කතා කරමින් හිටිය තැනට අපේ පන්ති වල මෙන්ම උසස් පෙළ පන්තිවල සිසුන්ද පැමිණ තිවංක වට කරගෙන ඔහුගේ සාමාර්ථය ගැන සුභ​ පතන්නට පටන් ගත්ත​.
අන් අය වෙනුවෙන් හැම කාරණයකදීම උදව් කරන්නට ඉදිරිපත් වීම තිවංකගේ පුරුද්දක්ව පැවති ව මට මතක් විය.​මා උසස් පෙළ පන්තියට ආව පළෙමුවන දිනයේත්
"නංගි ඔයාට ඕන උදව්වක් දෙන්නම්. හොඳින් වැඩකරන්න" .
 ඔහු එසේ කීවා මට මතකය​​. එවැනි ප්‍රිය මනාප බවකින් කතාකිරීම එම චරිතයේම සාමාන්‍ය ලක්‍ෂණයක් විය​.
ඒ දිනවල මම, සාමාන්‍ය පෙළ විභාගය සමත්ව, උසස්පෙළ පන්තියට ඇතුළු වූවා පමණි. උසස්පෙළ විභාගය යනු මගේ ජීවිතයේ තීරණාත්මක කඩඉමක් සටහන් කරන දැවැන්ත අභියෝගය බව මම අවබෝධකරගෙන සිටියෙමි.
පසු කාලයේදී පවා සරසවියට පිවිසීමේ වරම් ලද අපේ ඉස්කෝලේ ශිෂ්‍ය නායකයා වශයෙන් තිවංක කෙරෙහි මාතුළ වූයේ ගෞරවපූර්වක​ භක්තියකි. අවුරුදු දෙකක් තුළ අනුපමේය දුෂ්කරතා මැද මවිසින් මේ ගමන යායුතුබව වැටහෙත්ම මගේ ගත සිත කිළිපොළා යයි. ඒ නිසාම තිවංක වැනි උපදෙසක් ගැනීමට සුදුසු කෙනෙකුගෙන් උදව්වක් පැතීමට නිරායාශයෙන් පෙළඹීමක් මාතුළ නොතිබුණා නොවේ.
සියළුම විෂයයන්ට අදාල පොතපත බෙහෙවින් දුර්ලභවූ බැවින්, හැකිතාක් පාසල් පුස්තකාලය පරිහරණයටත්, පන්තියේ මිතුරු මිතුරියන් ගේ උදව් ලබාගැනීමටත් මම අදිටන් කරගතිමි. අවුරුදු දෙකක දුෂ්කරක්‍රියා කාලයක් එළඹ ඇතැයිද, උනන් දුවකින් සහ කැපවීමකින් බලාපොරොත්තුවන ඉලක්කය වෙත ළඟා විය යුතුව ඇතැයි ද හැඟෙන විට සියුම් බියකින් සිත සලිතවී  යනු දැනෙයි. පොත්පත් සොයා ගැනීම මහත් අසීරු කාර්යයක් විය​​. එසේ වුවද​, ඇතිවන දුෂ්කරතා මැඩ ගෙන, එන ඕනෑම  අභියෝගයකට  මුහුණදී විභාගය සමත්වීම ඉලක්ක කරගෙන ඉදිරි අවුරුදු දෙක නිම කිරීමට ඉටාගතිමි.
පළමු සතියේදී මා උසස් පෙළ පන්තියට  පිවිසුනේ එවැනි දැඩි අපේෂාවකිනි. කුමන හේතුවක් නිසාවත් ඒ අපේක්‍ෂාවන් අතරමඟ නතර කිරීමට හෝ බාධා ඇතිකර ගැනීමට මම සූදානම් නොවීමි. පළමු සතිය ඉක්මයන විට ඉතා ඕනෑකමකින් මෙන්ම, සැලසුම් සහගතවද මගේ දින චරියාව, මිතුරු ඇසුර​, බාහිර වැඩකටයුතු සහ අම්මාට උදව් පදව් කිරීම ආදී සියල්ල එකිනෙක නොගැටෙන පරිදි  සංවිධානය කරගතයුතු බව තේරුම් ගතිමි. ඒ අනුව සෑම රාත්‍රියකම එදිනෙදා පාසලේදී කළ පාඩම් නැවත කියවා සටහන තේරුම් ගැනීමටත් මගේ කාලය වෙන්කර ගතිමි.
සැම සවසකම​ දිනට නියමිත කෙටිසටහන් පවත්වා ගැනීමට සටහනේ සාරාංශයක් සකස් කළෙමි. සියල්ල සිදුවෙමින් පැවතුනේ ක්‍රමවත්වය​. රාත්‍රි එකොලහ පමණ වන තුරු මම වැඩක් තිබුණත් නැතත් බොහෝ විට අවදිව සිටියෙමි. පුස්තකාලයෙන් ගෙනා පොතක් කියවාඑදිනෙදා පාඩම් වලට ගැලපෙන අයුරින් සටහන් කර ගතිමි.

කෙසේ හෝ සාමාන්‍ය පෙළ ශිෂ්‍යාවක් වශයෙන් මාතුළ නොතිබූ උද්‍යෝගයක්, අරමුණක්  මෙන්ම ක්‍රමවත් බවක්, මගේ ජීවිතයට එකතුව ඇතැයි මට දැනෙන්නට විය​.
ඒනිසා උසස්පෙළ සඳහා නියමිත විෂයයන් හතරටම අයත් නිබන්ඳන වලට අවශ්‍ය, බාහිර දැනුම පොත පත කියවා ලබා ගැනීමටත්, හැකි ඉක්මණින් කරුණු රැස්කර නිබන්දන ලිවීමටත් සැලසුම් කළෙමි. මගේ පළමු නිබන්දනය දේශපාලන විද්‍යා විෂයට අදාල වූවකි. උසස්පෙළ නිබන්දන සාමාන්‍ය පෙළ රචනයකට වඩා වෙනස් බවත්, අමාරු බවත් මට වැටහුණේ පළමු නිබන්දනය ලියන්නට පටන්ගත් පසුය​. ඒ සඳහා මට ලැබී තිබුණේ c+ එකකි. දෙවැන්නට c++ ය​. දේශපාලන විද්‍යා විෂය භාර ගුරුමහත්මිය ලකුණු දෙන්නට ලෝභ කෙනෙකු නොවන බව මම තේරුම් ගතිමි.
තුන්වන නිබන්දනය B එකක් ඉලක්ක කරගෙන බොහෝ අමාරුවෙන් කියවා තේරුම් ගෙන ලිවීමට පටන් ගත යුතුයැයි මම බලාපොරොත්තු වීමි. තුන්වන නිබන්දනය  සඳහා B ලබාගත් බව දුටු විට මට ඇති වූයේ අසීමිත සතුටකි. මිස් මේබල් නිබන්දනය මා අතට දෙනගමන් සිහින්වට සිනාසුනාය​. එය මට වචන දහසකින් කළ නිබන්ඳනයකට වඩා අපූර්ව මාර්ගෝපදේශනයක්වූ අතර පසුකාලීනව මගේ ප්‍රියතම විෂය දේශපාලන විද්‍යාව බවටත් පත්විණි. ප්‍රතම වතාවට ජීවිතයට ශක්තිමත් අඩිතාලමක් වැටෙමින් පවතින බව මට දැනෙන්නට විය​.
කොල්ලෑව අත'තිව රුවල් නැති ඔරු කඳේ ඔහේ එල්ලීගෙන ඉන්නවාට වඩා, පිහිනන්නට අවම උත්සාහයක්වත් ගත හැකිනම් යම ප්‍රශංසනීය උත්සාහයක් නොවන්නේද​?ඉතින් මම පීනන්නට පටන් ගතිමි. රළ පතර සමඟ පොරබදන විට උඩු අතද යටි අතද නොදැන පීනුවෙමි. පිහිනා ඇත්තේ උඩුගං බලා බව අවබෝධ වුණෙ හුඟක් කාලෙකට පස්සෙ. ඒ වුණත් මං පිහිනුම අවසන් කරලා තියෙන්නෙ ප්‍රශස්ත තොටුපොලෙන් වීම මොනතරම් ඇදැහිය නොහැකි දෙයක්ද?

මල්ලිකා එම් බණ්ඩාර​
11.12. 2015
(ඉපනැල්ල ඊළඟ කොටස බලාපොරොත්තු වන්න)​



Thursday, 21 June 2018

මතකයෙන් බිඳක් - 6 (ii)

කෛලාසේ හොල්මනක්!
(21. 06. 2018 දා ඉතුරු කොටස මෙතැන්සිට​)

 "මමත් අහලා තිබුණා. ඇත්ත නැත්ත දන්නෙ නැහැ. පර්ල්ලත් දන්නවා ඒ කතාව​. ඒ අයත් ඒ රූම් එක පැත්තට යන්නෙ නෑ. "
“මට හිතුනා පර්ල්ට පොඩි විහිළුවක් කරන්න​. ඉතින් මට හොඳ idea එකක් ආවා. එතැන තිබුණා දැවැන්ත ටකරං “rubish bin” එකක්. පර්ල්ලගේ රූම් එකේ දොර ළඟම​. ඒකෙ ලිඩ් එකත් ටකරං. හරි බරයි. මං ඒක අරන් එතැන තිබුණ ලණුවක් handle එකේ ගැටගැහුව​. ඊට පස්සෙ අර ලණුව එයාලගේ දොරේ යතුරේ ගැට ගැහුවා. ලිඩ් එකේ බරට ලණුව කඩා වැටුණා. ඒක මහ විශාල සද්දයක් . මුළු කෛලාසෙම දෙදරන තරම් ශබ්දයක්!
“මම සට! සට! ගාලා ගැහෙන්ට වුණා. දැන්නම් ඉතින් අතේම මාට්ටු. මට ගණදෙවි නුවණ පහලවුණා. ඉතින් මම වේගෙන් අඩි පහක් ලබුරූම් එක පැත්තට දීවා. ඊට පස්සෙ එතැනම නතර වෙලා, රබර් සෙරෙප්පු දෙක අතට අරන්, ඇඟිළි අගින් ආපහු ආවා පඩි පෙළ පැත්තට. ඒ කරලා, පඩිපෙළේ light එක නිවලා, සැහැල්ලු අඩි තියලා අපේ රූම් එකට දුවගෙන ආවා. එතකොටත් පර්ල් මර හඬ දීලා කෑගහනවා, එයාගෙ බැල්කැනිමේට්‍ස්ලට​. 
“විනීතා...ශ්‍රීපාලී...හොරෙක්! හොරෙක්!
 මෙන්න... හොරෙක්!.
හොරෙක්...!
“මම මගේ රූම් එකේ දොර ඇරැගෙන, හොර පූසා වගේ ඇතුළට ආවා. ඇවිත් ඉහින් කණින් ෂීට් එක වහගෙන ඇඳේ අනික් පැත්තට හැරිලා ඇස් පියාගත්තා. දෙයි හමුදුරුවනේ! හැමෝම කෛලාසෙට දුවනවා කොරිඩෝ දිගේ. රබර් සෙරෙප්පු හඬ “තප...තප” ගාලා ඇහෙනවා”.
මගේ රූමා. දඩි! බිඩි! ගාලා නැඟිටලා මට කතා කරනවා . අනුප්... අනූප්... පර්ල්ලගේ රූම් එකට හොරෙක් පැනලා ...නැඟිටින්න​. අනේ ​ නැඟිටින්න ".
“ඔයා මර නින්දේ?’ මම අනූප්ට බාධා කළා.
“ඔව්! ඉන්නකෝ කියනකං. මම මර නින්දේ හිටියා වගේ කෙඳිරිගාලා. ඇස් පොඩි කරලා එහෙම,ඉතින් නැඟිට්ටා. නැඟිටලා අපි කොරිඩෝ එකට යනකොට කෛලාසෙට කිට්ටු කරන්ට බෑ සෙනඟ​. මුළු රාමනාදන් එකම කෛලාසෙට පොදිගැහිලා.
සමහරු අපේ girlsලා හිතුවලු මමමයි ඔහොම දෙයක් කරන්ට ඇත්තෙ කියලා. ඒත් මගෙ රූම් මේට් දහ අතේ දිවුරලා කීවා;
“මේහ්! පද හදන්ට විතරක් එපා ඔයාලා. ඌ  ඒ වෙලාවේ මර නින්දේ. මමයි හරි අමාරුවෙන් ඇහැරෙව්වේ” කියලා.
“අනේ මගෙ රූමා බුදු වෙන්ට ඕනෑ" මම දැනෙන නොදැනෙන විදියට දැත් එක්කරලා. දෙවියන්ට ස්තුති කළා”.
“ගැලවුම්කාරයා වගේ වෙනදා මම හැමෝගෙම ඕනෑ එපාකම් වලට යනවනෙ. ඉතින් සමහරු මගේ නම කියලා කෑගැහුවා. උදව්වට එන්න කියලා”. ඒ වෙලාවේ මට ඕන වුණේ අනික් අයගේ ඇස් මානයෙන් ඈත් වෙලා ඉන්න​. මගෙ හිතේ තියෙන කම්පනය මූණෙන් පෙනුණොත්...!”
"ඔයා දන්නෙ නෑ, එදා තරම් මම බයවුණෙ නෑ කවදාවත්. බැරිවෙලාවත් මං අහුවුණොත්, කියලා මං මර බයේ හිටියෙ. අහුවුණානම් මාව suspend කරයි. ​ දෙයිහාමුදුරුවනේ මට ගෙදර යන්ට වෙයි. ගෙදරට මූණ දෙන්නෙ කොහොමද අර විදියේ තක්කඩි වැඩක් කරලා?”.

තාමත් අනූප් ගෙ මූණේ ඒ බය චකිතය සටහන් වෙලා වගේ, මට හිතුනා
මම හිනාව නවත්තගෙන​
 “හ්ම්... හ්ම්” කීවා.
“මං ඇත්තටම බයවුණා. මඟෙ ඇඟ ගැහෙනවා වගේ.  මට මගෙ heart beat එක ඇහෙන තරම්. මහ පුදුමාකාර කම්පනයක් ඒ වෙලාවෙ මගෙ හිතේ තිබුණෙ. ඒ විතරක් යැ ඔයා දන්නවද, මට මහ හයියෙන් අඬන්න හිතුනා”.

"අඬපු නැති එක හොඳයි! වීරයා වගේ රාමනාදන් එක හොල්ලාගෙන ඉඳලා පාපොච්චාරණය කරන්ට හියානං, "කොළ කුඩුම​" තමා. මම අනූප්ට අලගු තැබුවෙමි. 

“අපේ warden මිසිස් කුක්, sub-warden මිස් මල්ලිකා, එහෙම ඇවිත්. මාර්ෂල් ඔෆිස් එකට ටෙලිෆෝන් කරලා. ඉතින් ඔන්න මාර්ෂල් එකත් ආව කියමුකො. අර කුරුමිණි ජීප් එකෙන් hall එක වටේ යනව​. torch අරන්. එතැන එකම යුද්ධයක්! කොහොමහරි පාන්දර දෙක විතර වෙනකම්ම ඒ අය search කළා. ඒ විතරක්ද​? ඊට පස්සෙත් රෑට කීප වතාවක් hall එක වටේ  මුරසංචාරයේ (patrolයනව​”.
“බුදු අම්මෝ පර්ල් අඬනව! අඬ අඬා...පර්ල් විස්තර කරනව warden ට​. මං අහගෙන එයාගෙ විස්තරේ;
 හොරා ලබුරූම් එක දිහාට දීවා. මට ඇහුණා අඩි පහක් විතර ඒ පැත්තට දුවනවා. ලබු රූම් එක ළඟින් අඩි සද්දේ නතරවුණා. මට හොඳටම ඇහුණා යතුර කරකවනවා. දෙසැරයක්ම​. මං හිතුවා අපේ කවුරුහරි කෙනෙක් එනව ඇති කියලා. හැමදාම අපි කාමරේ යතුර දොරේමයි තියන්නෙ. නිතර කවුරුහරි එන නිසා, වරින් වර දොර අරින්ට යන්න වෙනවනෙ. ඒ නිසා යතුර දොරේමයි තියන්නෙ. මට හොඳටම ඇහුණා දුවනවා. දුවද්දී බින් එකේ හැප්පෙන්න ඇති!”.

“පර්ල්ගෙ කට උත්තරේ ආසන්න වශයෙන් 100% ක්ම හරි. මගෙ සරුවාංගෙම දඩ දඩ ගාලා ගැහෙනවා. උගුර කට වේළිලා. ඉකිගැහෙන්ට එනවා වගේ.මට හිතුණා, ඒක කළේ මං කියලා කියන්ට​. ඒත් එක්කම මගේ ඇතුලාන්තයේ ඉඳලා කවුදෝ කෑගහනව​;
 " කට වහපන්... කට වහපන්" කියලා. 
මං ඒ හඬට කන් දීලා නිශ්ශබ්ද​ වුණා. නැත්නම් මම ගස්!
“දවස් කීපයක් ගත වුණාම කලබැගෑනිය තුනීවෙලා ගියා. මම හර්ද ශාක්‍ෂියට එකඟව, 'වැරැදි කාරයා මමයි ' කියලා කීව නම් මාව​ පොලීසියේ නැත්නම් උසාවියේ! ඊට පස්සෙ මම කටේ කෙළ බිඳක් බිම එලන්ට බය වුණා. අර තරම් අලකලංචියක් වුණාට පස්සෙ. කටක් අරින්නෙ කොහොමද​? ඊළඟ අවුරුදු දෙක ගලක් ගිල්ලා වගේ තද කරගෙන හිටියා. 

"කොහොමහරි හොරෙක් අහුවුණෙ නෑ. හොරෙක් ආ බවට කිසිම සාධකයක් ඉතුරුවෙලා තිබුණෙ නෑ. මොකෝ හොරෙක් ආවයැ? ඒ නිසා වෙනත් මතයක් තහවුරු වෙන්න පටන් ගත්තා. ඒ කියන්නෙ, හොරෙක් ආවෙ නෑ... හොල්මනක් ආවා. ඇවිත් ලබුරූම් එකට රිංගා ගත්ත​. ලබුරූම් එකේ අවතාරය ඇවිදින වෙලාවක් ඒක, කියලා සමහරු ඒ වෙලාවට නිකමටවත් දොරක් අරින්නෙ නෑ. ඊට පස්සෙ රෑ දොළහට හරි  තනියම​ කෛලාසයට යන්න​ පුළුවන් වුණේ මට විතරයි”.
අනූප් ආයෙත් අර "උහ්...උහ්...උහ්" හිනාව තත්පර තිහක් විතර ඇදෙන්ට ඇරියා.

“හ්ම්! මට මතකයි ඒ කාලේ අපි ලෙක්චර්ස් යනකොට හිල්ඩා ජෝකර්ලා අහනව​," අපේ එක එක්කෙනාගෙ නම කියලා " ඒයි රාමනාදන් බඩු! උඹලා නේද​ හොරා ගෙන්නුවෙ කියලා”.
සමකාලීනයෙක් විදියට මමත් ඌණපූරණයක් එකතු කළා. 
සුළු විරාමයක් අරන් අනුප් ආයෙත් පටන් ගන්නව​.​
"ඉතින් මම හින්දා කාලයක් යනකම්ම රාමනාදන් ගර්ල්ස්ලට හිල්ඩා, J P දෙගොල්ලම මහ ජරා විදියට පෙරලුවා”.
අනූප් උරහිස් ගස්ස ගස්සා "උහ් - උහ් -උහ්" ගාලා හිනාවුණා.
“ඉතින් අවුරුදු ගණනකට පස්සෙ, ඔයා දැකපු ගමන් පර්ල් කුඩේ උස්සගෙන ආවේ එතකොට​? කොහොමද දැනගත්තෙ ඒ ඔයාම බව​?”මම අතුරු ප්‍රශ්නයක් දැම්මා.
“එතැනත් මම පොඩි ට්‍රික් එකක් කළා”.
“ඒ කියන්නෙ? ඔයා ලියුමක් යැවුවා?”
“නෑ. නෑ. ඔන්න ඉතින් අපි  “final exam” කරලා ගෙවල් වලට යන්ට ලෑස්ති වෙද්දි, පර්ල් ගෙ autograph එක මට දුන්නා. ඉතින් මම ගෙදර යන දවසේ එයාගේ ඔටෝ එකේ ලීවා.
“පර්ල්, මට සමා වෙන්න​! 
සරසවිය මතක ඇතිතාක් කල් ඔයාට මාව අමතක නොවේවි.
මීට​,
ආදරණීය​ අනුපමා 
(කෛලාසේ හොල්මන)
කියලා ".
"පර්ල් ඔටෝ එක බලලා තියෙන්නෙ ගමේ ගියාටත් පස්සෙ. එතකොට එයා දැනගන්න ඇති මම තමයි ඒක කළේ කියලා".
ඉතින් මට පර්ල් මුණ ගැහුණ අවුරුදු එකොළහකට විතර පස්සෙ. ඒ වෙන කොට  ඒ දෙන්නා marry කරලා පදිංචි වෙලා හිටියේ මුල්ගම්පල හරියේ. දවසක ම අහම්බෙන් වගේ, මුල්ගම්පලින් පර්ල් බස් එකට නඟිනව දැක්ක. එයාගෙ පුතා kingswood ගියේ. පුතාව ඉස්කෝලෙට දාලා දූව අතින් අල්ලාගෙන එයා එනව. ඉතින් මම මූණ හංග ගෙන හිටියා. දැන් අපි දෙන්නම එකම බස් එකේ. පර්ල් "convent" එක ළඟින් ​බහිනවා. මමත් එතැනින්ම බහින්න ඕන​ "ගුඩ්ස්ෂෙඩ්" එකට “short cut” එක ගන්න. ඉතින් අපි දෙන්නම ඉස්සරහ දොරෙනුයි, පස්ස දොරෙනුයි බැහැලා, මූණට මූණ ආවා. මට තේරුනා එයා මාව අඳුනගත්තා කියලා.
එතකොටම මම එයා ගෙන් ඇහුව​, "කෛලාසෙ හොල්මන" මතකද කියලා. එයා මට කුඩේ උරුක් කරලා එලෙව්වා. මමත් දිව්වා. හැරිලා බලනකොට එයා නතර වෙලා. මම හෙමින් හෙමින් කිට්ටු කරලා යාප්පුවෙන් තා කළා. පස්සේ අපි හොඳ සුහද කතාබහකට වැටූණා. එච්චරයි!

“ඔයානං මහ​ පුදුමාකාර තක්කඩියෙක්නේ”. මම කීවා.
“ඔව් අප්පා. මටම ලැජ්ජයි දැන්! මතක් වෙනකොට අපේ විකාර”. අනූප් බක බක ගාලා හිනා වුණා.
“ඒ වගේ වැඩ මෑතකදි කළේ නැද්ද​?”
“හාපෝ! දැන් මම බොහොම සංවරයි”.
“ඒවගේ දේවල් කරන්න පුළුවන් මේ ලංකාවේ එකම තැන තමයි කැම්පස් එක​. එතැන තියෙන නිදහස එළියේ නැහැ. ඇතුළේ නිදහස භුක්ති වින්ද අය එළියට ගියාම, අර එළියේ ඉන්න උන්ටත් වඩා හිට්ලර්ලා, මුසලිනීලා!"Bloody Maryලා".
"ඒකනං ඇත්ත". මම හීන් හිනාවක් මුවට නගා ගතිමි.

කෝච්චියේ වේගය අඩුවෙනකොට අනූප් කවුළුවෙන් පිටත බැලුවා. 
“දැනුනෙම නෑ කොළඹට එනකම්ම"​, කියලා එළියට එන්න හරි බරි ගැහුණා.. 
අපි කතා කරමින්ම කෝච්චියේන් බැහැලා ස්ටේෂන් එක ඉස්සරහට ආව. 
"දැන් කොහොමද ඔයා බෞද්ධාලෝක මාවතට යන්නෙ?"අනුප් ඇහුවා. 
"මාව අරන් යන්න "husband” එයි.  නැත්තං කවුරුහරි එවයි”. මම කීව​.
“එයා බෞද්ධාලෝක මාවතේ ද වැඩකරන්නෙ?”
“නෑ. කොල්ලුපිටියේ”.
 “ නතරවෙලා ඉන්නෙ ?”
 "Stanmore Cresent"මීට ඉස්සර මාත් ඇවිත් නෑ. අද තමයි නතර වෙලා ඉන්න තැනට යන්නෙ”.
“ Oh! okay! I guess! මාව අරගන්න driver ඇවිත්. හම්බවෙමු ආයේ”.
 අනූප් මගේ දෑත් දැඩිව ග්‍රහණය කර මගෙන් සමු ගත්තා. ​

එච්චරයි!

මල්ලිකා එම් බණ්ඩාර​

16. 06. 2018

මතකයෙන් බිඳක් - 6 - 1

කෛලාසේ හොල්මනක්!


1980 ගණන් වන විට අපොස උසස් පෙළ විෂය සම්බන්ධ තීන්දු තීරණ ගත්තේ විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරු විතරයි. පසු කාලයේ ඒ ඒ විෂය සම්බන්ධ පාසල් මට්ටමේදී ඇතිවන ගැටළු අවම කිරීම සඳහා ගුරුවරුන් ගේ අදහස් විෂය සංවර්ධන ක්‍රියාදාමයට  සම්බන්ධකර ගැනීමේ අවශ්‍යතාව පෙනීගොස් තිබුණා. ඒ අනුව​ දේශපාලන විද්‍යා විෂය​ සඳහා මුලින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් Prof.ජයසිංහ,​ Prof. විශ්වා වර්ණපාල, Prof. රංජිත් අමරසිංහ සහ Prof. අමරසිරි ද සොයිසාකොළඹ  විශ්ව විද්‍යාලයෙන් Prof. ජයදේව​ උයන්ගොඩ යන විශ්ව විද්‍යාල ආචාර්යවරු පමණක් සහභාගිවුණත්, පසු කාලයේ එම කටයුතු මහරගම ජාතික අධ්‍යාපන ආයතනයට අනුබද්ධිත විධිමත් කමිටුවක් විධියට ස්ථාපිත​කරනු ලැබුවා. එම කමිටුවට​ දිවයිනේ පළාත් තුනකින් ගුරු භවතුන් තුන් දෙනෙක් නියෝජිතයින් වශයෙන් තෝරා ගනු ලැබුවා. ඒ අතර​ පිරිමි ගුරුවරු දෙදෙනෙක් සහ​ මමත් ඇතුළත්ව හිටියා.

බෞද්ධාලෝක මාවතේ පිහිටා තිබු “Curriculum Centre”එකේ රාජකාරියකට මම​ සම්බන්ධ වුණේ එහෙමයි1988 - 89 කාලෙදිත් එක​ ද​වසක වැනි රාජකාරියකට මා යායුතුව තිබුණා. මේ කතාව මම ඇහුවෙ එහෙම යන අතර වාරෙදි.

ඒ කාලෙ කෝච්චියේ යන ගුරුවරුන්ට​ පාස් එකක් නිකුත් කළා අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන්. ඉතින් මම මහනුවර හෝ පේරාදෙණිය​ රේල්වේ ස්ටේෂන් එකෙන් මහනුවර-කොළඹ “intercity train” එක​ ගත්තා. ඉතින් ඔය කියන දවසෙත් එක ආසනයක මම තනිවම වාඩි වෙලා ටික දුරක් මඟ විසිතුරු බල බලා ගියා. එහෙම යද්දි මට මතක්වුණා දිනට නියමිත වැඩ සටහනට අදාල කරුණු වගයක් කියවා ගත්තනං හොඳයි කියලා​. 

ඉතින් මම සටහන කියවන්ට පටන් ගත්ත. තත්පර තිහක් ගියෙ නෑ. මගේ උරහිසට අත තියලා "ඒයි! මම අඳුනන්න පුළුවන්ද" කියලා කාන්තාවක් මගෙන් ඇහුවා. සාමාන්‍යයෙන් මෑත කාලේ කවුරුවත් එහෙම කතා කරලා නෑ මගේ මතකේ හැටියට​. ඒ කාලේ මට සමීපව ආශ්‍රය කරන "යාළුවෝ" කියලා ජාතියක් හිටියෙ නෑ. සාමාන්‍යයෙන් එහෙම අහන්නෙ, අපිත් එක්ක පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු කෙනෙක් විතරමයි කියලා මට හිතුන​. සුළු මොහොතකින් මට ඇයව ඇඳිනගන්න පුළුවන් වුණා.

"මේ අනුප්නෙ"! මමත් පස්වණක් ප්‍රීතියෙන්, ඒත් ටිකක් සන්සුන් ස්වරයෙන් කීවා.
අනූප් මාව seat එකේ ටිකක් එහාට තල්ලු කරලා එයත් එතැනම වාඩිවුණා. එයාගෙ නම අනුපමා. කැම්පස් එකේදි, අපි ඒක ටිකක් “කුල්ට්” විදියට "අනූප්" කියලා භාවිතා කළා. එතකොට හින්දි ගතියකුත් එනවනෙ.
ඉතින් අනූප් "අපේ කෙනෙක්"! කැම්පස් ව්‍යවහාරය අනුව​ නම්, ඒ කාලේ තෙලට​, බාල්දියට "ගුස්පියට​", ඕනම දේකට එකට හිටපු, බජාර් එකේ "හොඳ කකුලක්"!

මං හිතුවා දැන් ඉතින් කි. මී. 115 ක් යන එක​ කජ්ජක් නෙවෙයි කියලා. ඉතින් අපි දෙන්නම අවුරුදු දොළහක දහතුනක විතර ආගිය තොරතුරු කතා කරමින් කාලෙකට පස්සෙ සරසවි වටපිටාව​ දෙවනත් කළා. සාමාන්‍යයෙන් ඔය කාලෙ වෙනකොට මම​ ඇන්ඳේ, පැළැන්ඳේ, කතා බහ කළේ වුණත් සැලකිල්ලෙන් තමයි. එහෙම වෙන්න හේතු කීපයක් බලපාන්න ඇති. විශේෂයෙන් වෘත්තියෙන් ගුරුවරියක වීම, අනික් අතින් මැදිවීයට සමීප​යි...බිරිඳක්, තිදරු මවක් නිසා වෙන්න ඇති. ඒකට මගෙ බැචා, අනුපමා හරියට​, 'wind' කරපු කතාපෙට්ටිය වගේ. සරසවියේ ආගිය කතා කියන අතරෙම​ මට හරි අපූරු කතාවක් කීවා. මෙතැන් සිට මගේ කෙටි මැදිහත් වීම් ඇතුළත්ව​ ඇයගේම වචනයෙන් එක අකුරක් අඩු නැතුව කතාන්තරයේ, නිධාන කථාව: පටන් ගත්තේ මෙන්න​ මෙහෙමයි. 
"මේ, ඔයාට මතකද, අර කෛලාසෙ හොල්මන​? අර අපේ දෙවෙනි අවුරුද්ද අග හරියේ, මහ රෑ පර්ල්ලගෙ රූම් එකට ඇතුළ් වෙන්ට හදපු හොල්මන​?”
අනුප් මගෙන් ඇහුව​. මට පටස් ගාලා මතක් වුණා! දසකයකට වැඩි වුණත් මට සරසවියේ ගතකළ කාලය පොතක ලිව්වා වගේ මතක් කර ගත හැකියි.
“ඔව්! ඔව්! මට මොකද අමතක​”.
කියන ගමන් මමත් හොඳට හරි බරි ගැහිලා  උපාසකම්මලා බණ අහන්ට ලක ලෑස්ති වෙනව වගේ සූදානම් වුණා සවන් දෙන්නඅනික් අතට​, අනූප්ගෙ කතා අහලා හොඳ පුරුද්දකුත් මට තිබුණා. තුන්තිස් පැයේ බණකට, පිරිතකට ලෑස්ති වෙනව වගේ අපි ඒකාලෙත් අනුප්ගෙ කතා අහන්න එකතු වුණා කෛලාසෙට​. 

“එතකොට ඔයාට මතකද, මුළු හෝල් එකේම girls ලා බයවෙලා මරහඬ දුන්න හැටි?”
“ඔව්! කෛලාසෙ අය​ කෑගහපු කෑගැහිල්ලට​, අපිත් දිව්වනෙ කෛලාසෙට​.
 “මතකද, අපේ සබ්වෝඩ්න් මිස් මල්ලිකා, වෝඩ්න් මිසිස් කුක් එහෙම ඇවිත්, කිචන් එකේ වැඩකරපු සුළු සේවකයෝ හිට ඇවිත්, හැමතැනම search කරපු හැටි!
“අය්...යෝ. අපි බය වුණ තරමක්!”
“ඊළඟට මාර්ෂල් එකට ටෙලිෆොන් කරලා “security search එකකුත් දැම්මනෙ”. අනූප් සවිස්තරාත්මකව කතාවේ පසුබිම සකස් කරනව.
“ගඟ පැත්තෙත් එක්ක චෙක් කළා මට මතකයි එදා රෑ”. මමත් සම්මාදන් වෙනව​. හරියට උපාසකම්මලා මල් වට්ටියට අතගහනව වගේ.
“ඔයා දන්නවද​, එදායින් පස්සෙ කෛලාසෙ, සෙට් එකේ කවුරුවත් තනියම බාත්‍ රූම් එකකටවත් ගියෙනෑ හවසට.​ කාමරවල දොරවල් දවල් කාලෙත් ලොක් කළා”.
"ඔව්!ඔව්! මටනං පර්ල් නිතර මුණ ගැහෙනව​. එයා “convent” එකේ වැඩ කරන්නෙ". මම අනුචිත මැදිහත් වීමක් කළාද මන්දා...
“ඔව්! මටත් මුණගැහුණා අවුරුද්දකට විතර ඉස්සර”. අනූප්  හයියෙන් හිනා වෙවී කීවා
“ඉතින්?”මට ඉවසිල්ලක් නෑ.
 “ඉතින් මං ඇහුව අර රාමනාදන් හොල්මන මතකද කියලා”. අනූප් වීරයා වගේ කියවනව .
“අපෝ ඔයා මගෙ ලේ හින්ඳෙව්වනෙ එදා” කියලා පර්ල් අතේ තිබුණ කුඩේ උස්සලා මට ගහන්න එලෙව්වා. අර “convent” එක ඉස්සරහ​ බස් හෝල්ට් එකේදි. අයියෝ...ඉතින් මම​ දිව්වා!”අනූප් එහෙම කීව​. 
මටත් හිනා ගියා. අපි දෙන්නම එක්ක එකතු වෙලා මහ හයියෙන් හිනාවුණා.
අනුප්ට තිබුණ අමුතු හිනාවක්. නිකං "උහ් - උහ්- උහ් " ගාලා ප්‍රමාණයටත් වඩා හිනාවෙන බව පෙන්නන්ට හදන හිනාවක් ඒක​. මම හොරෙන් වගේ වටපිට බැලුවා. මිනිස්සුත් අපි දිහා බලනව.​ අනික් මිනිස්සුන්ට ඇහෙයි, පෙනෙයි කියලා එයාට වගේ වගක්වත් නෑ. 
“අහුවෙන්න එපා! කොයිවෙලාවක හරි දෙනව හොඳ පාරක් මං බය කළාට " කියලා පර්ල් නතර වුණා. ඒ වුණාට මට දුක හිතුණා පර්ල් ගැන”​ 
ඉතිං... ඉතිං... මං ඇහුව.​
“ අනේ පර්ල් මට සමාවෙන්න! ටික දුරක් දුවලා ආපහු ඇවිත් මං කීවා” අනූප් දුකෙන් වගේ කීවා.
"ඉතින් ඔයා කොහොමද ඒ හොල්මන් කතාවට සම්බන්ධ වෙන්නෙ?" 
මම අනුප් ගේ කතාවේ ගලා බැස්මට බධා කරමින් ප්‍රශ්නයක් දැම්මා.

 “මෙහෙමනෙ, ඒ අපේ දෙවන අවුරුද්දේ අවසාන වාරයනෙ. හැමෝම විභාග වලට ලෑස්ති වෙනව​. මාත් මගේ රූමත් මාරුවෙන් මාරුවට ක්‍රෑම. එක් කෙනෙක් නිදා ගන්නතුරු අනික් එක්කෙනා පාඩම් කරනව​. එයාට නිදිමත දැනෙන කොට, නිදාන ඉන්න එක්කෙනාව ඇහැරවනව​. ඉතින් එදා මගෙ රූම්මේට් තිලකා හොඳටම නිදි. මටත් කම්මැලියි වගෙ පාඩම් කරන්න”​.  
“ඔයාට මතකනෙ, අපේ රූම්ස් තිබුණෙ 2nd floor එකේ, කොමන් රූම් එක පැත්තට මූණ දාලා. ඉතින් මට හිතුනා පොඩි පහේ තෙලක් බෙදලා එන්න කයිලාසෙ ඇත්තොත් එක්ක​. හෙමින් දොර ලොක් කරලා කොරිඩෝව දිගේ එනකොට මං දැක්ක කයිලාස වාසියෙක්! ඒ කියන්නෙ පර්ල්​, පඩි පෙළ දිගේ උඩට යනව​. එයා බෝයිෆ්‍රෙන්ඩ් එක්ක ලයිබ්‍රරි එකේ ක්‍රෑම් කරලා එන ගමන්, තල් වැට පැත්තේ එළිමහනේ තව ටික වෙලාවක් ඉඳලා, රෑ දහයට විතර තමයි සාමාන්‍යයෙන් එන්නෙ.
“දහයෙන් පස්සෙ එළියෙ ඉන්න බෑනෙ. Late pass අත්සන් කරලා එන්න ඕන අපි වුණත්”මම පණ්ඩිත වාක්‍යයක් දැම්මා.
“ඔව්! හරි ඉතින්! ඔය හුඟක් කපල්ස්, ඇවිත් සමහර වෙලාවට “main entrance” එක ළඟ දැවැටි දැවටී ඉන්නව​. දහයෙන් පස්සෙ “girls” හොස්ටල් වල boys ලාට ගැවසෙන්ට බෑනෙ. ඒ දෙන්න ගැරැඬියෝ වගේ හැම වෙලාවෙම අත් පටලවා ගෙනමනෙ ඉන්නෙ. ඉතින් වොචර් කාරයා සුසිල්ට කියනවලු; 
"සර් දැන් හරි වෙලාව. සර් දැන් යන්න " කියලා.

මම ආයෙත් සැරයක් ඇස් කරකවලා හීන්වට වටපිට බැලුවා. කාටවත් ඇහුණාවද්ද කියලා. “අනූප් ගෙ volum එක අඩු කරනවානං” කියලා මට හිතුණා.
“සමහර බෝයිස්ලා ගාණකටවත් ගන්නෙ නැතිලු. අර මනුස්සය ඉස්සරහම කිස් කරනවලු ටිකක් අසාමාන්‍ය විදියට”.
මම හිනාව තද කරගෙන සාවධානව අහගෙන හිටියා.

“මමත් පර්ල්ට නොදැනෙන්ට එයා පස්සෙන්ම පඩි පෙළ නැගගෙන කෛලාසෙ කොරිඩෝඑකට ගියා, කොහොම හරි, පර්ල් කාමරයට ගිහින් දොර වැහුවේ යතුර, යතුරු කවුළුවේම තියලා. මම දොර ඇරියෙ නෑ, වෙනදා වගේ. සාමාන්‍යයෙන් ඒ දොර හැම වෙලාවෙම ඇරලා තියෙන්නෙ. ඒක නිකම් කඩුගන්නාවේ අම්බලම වගේ, ඕන කෙනෙකුට ගිමන් හරින්ට පුළුවන් තැනක්. ඇවිත් සතුටු සාමීචියේ යෙදිල, කවුරු හරි ඔය යන එන මඟියෙක් ගෙනාව​ අග්ගලා මුලක් තිබුණොත් ඒකත් ලිහාගෙන කාලා, සාමදානෙන් එකට හිඳ සාමදානෙන්ම විසිර යන්ට සුදුසු "ලිච්ඡ​වී"පරිසරයක් තිබුණා එතැන​”.

අනුප් ගෙ කතා විලාශයට මට හිනා යනව​. එයා හරිම සැහැල්ලුවෙන් හැසිරෙන්නෙ. ඉතින් මගෙ හිතට​ ආපු සිතුවිල්ල ප්‍රශ්නෙකට හැරෙව්වා.

“මෙහ්! දැන් ඔයා වැඩකරන තැනවත් සංවරෙන් ඉන්නවද”​? මම ඇහුව​
"හහ්! Office එකේ මම නියම විධායකයා”. අනූප් ඇස් කරකවලා ගාම්භීර පෙණුමක් ආරෝපණය කරගෙන කියනව​. 
ඒක හොඳයි! ඉතින් කියන්නකො හොල්මන ගැන​".
“පැය දෙකක් තියෙනව කොටුවට යනකං. ඒක මම කියන්නං හෙමින් සැරේ”. අනූප් කීව​.
මම නිශ්සබ්ද වුණා. සාවධානව අහගෙන ඉන්න බව ඇඟෙව්වා.
“ඔයා දන්නවනෙ, ඔයාට මතක ඇති​, ඒ කාලේ කතාවක් තිබුණනෙ, රාමනාදන් එකේ කෛලාසේ කාමරයක හොල්මන් තියෙනව කියලා”.
" හ්ම්! හ්ම්! ඔව් මං අහලා තිබුණා".
"ඉතින් ඔය room එකට කීවෙ "ලබු රූම්" කියලා. ඒක වහලා තිබුණේ. පර්ල්ලගේ රූම් එක තිබුණෙ ඒ ළඟ​. එතැන එක පෙළට තිබුණ රූම් හතරක හිටියෙ අපේ බැච් එකේ අට දෙනෙක්. අට දෙනා වැඩිහරියක් හිටියේ බැල්කනි එකේ. වැස්ස නැත්නම් රෑටත් බැල්කනියේ ඉඳගෙන පාඩම් කරනව​. නැත්නම් ළිඳළඟ සංගමේ. ඔතෙන්ට  අපේ “batch” එකේ අය​ හුඟ දෙනෙක් සෙට් වෙනව​. මමත් නිතර යනව”​. අනූප් කෛලාස වාසීන් ගේ ගුණත් වැණුවා. 

මමත් නිතර යනව. ඒ සෙට් එකම​ හරි හොඳයි”. මමත් ටිකක් වෙන්ට එකතු කළා.
“මතකනෙ විනීතා, පර්ල්ගෙ රූමා? විනීතට සාරි ගොඩක් තිබුණා. හැමෝම එයාගෙ සාරී ගජේ ගහනව සෝෂල් වලට එහෙම”​. 
අනුප් මගේ මතකයත් ඇහැරවාගෙන ඒ කාලයට ඇදගෙන ගියා. 
“මමත් එයාගෙ සාරි ගජේ ගහලා තියෙනවා. ඉල්ලපු ඕන කෙනෙකුට දෙනවා. ඉතින් අපිමයි සාරිය තෝරාගන්නෙ කබඩ් එක ඇරලා. හරියට shopping ගියා වගේ”. මම කියනව​.

එහෙම කියන ගමන් මට විනීතා, පාලී, චින්තා, කුමාරී, සුබද්‍රා, සාමා ගේ මුහුණු එදා දැකපු විදියටම මතකයට නැඟුණා.
“විනීතා මාතරනෙ. එයා ආයේ මුණගැහුණෙම නෑ.” අනුප් එහෙම කීවා.
“ඒ කාලෙනෙ,  mini-skirt එකට අමතරව “accordion  skirts” ආවෙ. ඉතින් අපි කට්ටියම නුවර ගිහින් එක්කෙනෙකුට දෙක ගානෙ වෙනස් පාට වලින් “accordion skirts” ගෙනාවා. ඉතින් අපි හැමෝම ගජේ...” .

අපේ කාලෙ අඩු ආදායම් ලාභී පවුල් වල ශිෂ්‍යයින්ට බැංකු ණයක් දුන්න බව මගේ මතකයට ආව​. ශිෂ්‍ය ණය පදනම යටතේ, දුන්න බැංකු ණය වලින්  ඉතිරිවෙන මුදලක් ඇත්නම්, ලංකා බැංකු ශාඛාවෙන්  අපිට වාරවසානයේ බෙදලා දෙනවා. ඒ කාලෙ ඒක හරියට අපිට පඩි දවස වගේ. අපි එදාට ශිෂ්‍ය අත්පොතත් අරන් ගිහින්, සෙනෙට් එක ළඟ පෝලිමේ ඉඳලා ඒ මුදල ලබාගන්න ගිය හැටි මගේ මතකට ආව​. එහෙම පෝලිමේ ඉන්න එකත් මොනතරම් නම්  "fun"එකක් වුණාද​?  
මම "track"එක පැනලා වගේ අනුප්ට දැනෙන්න ඇති!
අනූප් මගෙ ඇලපතට වැලමිටෙන් ඇනලා, මගේ අවධානය එයාගේ කතාට යොමුකර ගන්න​ උනන්දු වුණා

ඉතින් එයා වටපිට බලලා තරමක් මං දිහාට නැඹුරු වෙලා කීව,​
“මං අහල තියෙනව ඒ රූම් එක සම්බන්ධ සිද්දියක්. මුලින්ම රාමනාදන් “Boys’ Hall එකක්ලුනෙ. “එක Boy කෙනෙක් “hanged himself..., committed suicide”. ඔයාට මතකද අර​ හෙන්රි ජයසේනගේ, “අපට පුතේ මඟක් නැතේstage drama එකේ තේමාව.  ඒක...   කතාවලු…"

අනුප් ඒ කොටස කීවේ හරිම හෙමින්. මගෙ කණට කරලා රහසක් කියනවා වගේ. ඒ compartment එකේ හිටිය අනික් අයට නෑහෙන විදියට.

Enough for today!

මල්ලිකා එම් බණ්ඩාර​

16. 06. 2018