අපේ ඉස්කෝලේ ප්‍රධාන මිදුලට පඩි පෙලෙකින්
බැස යායුතුවිය. පඩි පෙළ දෙපස උඩ මිදුලේ දැවැන්ත බෝගන්විලා ගස් දෙකක් තිබුණි.
වාරයටත් අවාරයටත් මේ ගස් දෙකේ මල් පිරී පවතින
අතර රත් පැහැති පලසක් මෙන් සෑම උදෑසනකම
සුදු වැලි මිදුල පුරා පරමල් විසිරී පවතී. පිණිබර උදේ ඉස්කෝලෙට යනවිට සෑම දවසකම මම මේ
දසුන දකිමි. යව්වනයේ ආහ්ලාදයත් නැවුම් බවත් සමඟ මගේ හුදකලා සිත විස්තර කළ නොහැකි
මනරම් සොඳුරු අඩවියකට පිවිසෙනු මට දැනෙයි.
වැල්ලේ ඇතිරූ මල් සුළඟ සමඟ පොර බදයි. වරෙක සුළියකට හසුවන මල් පෙති එකා
පසුපස හඹා යමින් වෘත්තාකාරව ගමන් කරයි. තවත් වරෙක කිසියම් රටාවකින් එහාටත් මෙහාටත්
ගමන් කර එකිනෙකා මිශ්‍ර වෙයි. මේ සුන්දරත්වය දකින්නේ මා පමණක්දැයි මම නොදනිමි. මට
ඒ දෙස බොහෝ වේලාවක් බලා සිටිය හැකිය. ස්වාභාව සෞන්දර්ය නිර්මිතව ඇත්තේ මිනිසුන්ව
අවට ලෝකය සමඟ සමායෝජනය වන පරිදිය. කීයෙන්
කීදෙනෙකුට නම් මේ රටාව හැඳින ගෙන ඊට අනුගත විය ගත හැකිද?
මොහොතක් මේ විශ්ව නිර්මාණයේ අපූර්වත්වය උකහා
ගෙන එය විඳිය හැකිද?
ප්‍රධාන මිදුල අතුගෑමට
නියමිතව ඇත්තේ අපේ පන්තියේ ගෑණු ළමයින්ටය. තවත් මොහොතකින් මේ පර මල් වල ගමන් මඟ
මගේ ඉදල් පහරින් නතරවෙනු ඇත. ඉන් පසු කුණු ගොඩක් ලෙස මැදෑලත් ඉස්කෝල වත්තත් අතර
ඇති පාළු බිම් කඩෙහි කුණුගොඩට එකතුවී දිරා යනු ඇත. බොහෝ දින වල කලින්ම ඉස්කෝලෙට
එන බැවින් මම ඉදල අතට ගන්නේ පැහැර හැරිය නොහැකි රාජකාරියක් ඉටුකිරීමට මා වෙත පැවරී
ඇති වගකීමක් ඉටුකරන නියාවෙනි. මිදුල
අතුගෑම සඳහා දිනට නියමිත කණ්ඩායමක් සිටින නමුදු බොහෝවිට අනික් අය එන්නේ ප්‍රමාදවය.
පංගු පේරුවකින් තොරව අතට අහුවෙන දෙයක් කිරීමට මා හුරුවී තිබුණේ නිරායාශයෙනි.
එක් උදෑසනක මේ බෝගන්විලා පලස මැදින් පහල
මිදුල තෙක් ඇවිදගෙන එමින් සිටියෙමි.
පඩිපෙළ මුදුනේ සිට තිවංක,
" හාසිනී!"
මට කතා කළේය.
මා පඩිපෙළ නඟින්නටත් පෙර තිවංක පඩිපෙළේ මඳ
දුරක් පහතට බැස්සේය. ඉන්පසු මම නැවතත් මල් පියවිල්ල දක්වා පහලට බැස ගියෙමි.
"ඇයි කතා කළේ " ප්‍රශ්නාර්ථයක්
සහිතව මම ඔහු දෙස බලාසිටියෙමි.
තිවංකද මල්තලාව දක්වා ඇවිදගෙන ආවේය.
"සුබ ආරංචියක් තියෙනව
කියන්ට. කාටද උදෙන්ම ඒක කියන්නෙ කියලා හිත හිතා මං හිටියෙ".
"මොකද්ද ඔයතරම්
සුබ ආරංචිය?"මම ඇසුවෙමි.
"අහල සතුටුවෙන
කෙනෙකුට එපායැ ඒක කියන්ට".
"සතුටුදායක දෙයක් නම්
අහලා මටත් සතුටු වෙන්ට පුළුවන්. ඉතින් අගේ නොකර කියන්න".
"මං විභාගෙ පාස්!
"කොච්චර වාසනාවක්ද?
“හාසිනීට
සතුටුද?"
"ඔව්! ඇත්තටම. හරි
සතුටුයි".
“අනික් එක ඔයා
වගෙ කෙනෙක් පාස් වෙන එක පුදුමයකුත් නෙවෙයිනෙ".
"මට විතරක් නෙවෙයි ,
ඔයාටත් පුළුවන්. දැන්ම ඉඳල මහන්සි වෙන්න. විශ්ව විද්‍යාලෙට
යනව කියන එක මගේ හීනයක්".
"හැම කෙනෙකුටම තමුන්ගෙම
කියල හීන තියෙනව. ඒත් හැමෝටම හීන හැබෑ කරගන්ට
බෑ. ඒකට වාසනාවකුත් තියෙන්ට ඕන, මම හිතන්නෙ. එහෙම නොවුණොත්
ඒවා හීන විතරම තමයි”.
තිවංක මුළු ඉස්කෝලෙම ජනප්‍රිය චරිතයක්වූ
අතරම ඔහු ප්‍රධන ශිෂ්‍යනායකයාද විය. තිවංක වැනි ශිෂ්‍යයෙකුට විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා ඉහල සාමාර්ථයක්
ලැබීම පුදුමයට කාරණයක් නොවේ. සෑම විෂයක් ගැනම ඔහුට තිබුණේ පුළුල් දැනිම සම් භාරයකි. විෂයානුබධ සහ විෂය බාහිර ක්‍රියාකාරකම් ද එකිනෙක නොගැටෙන පරිදි සමායෝජනය කරගෙන හැම දෙනාගේම හිත් දිනාගෙන කටයුතු කරන්නට ඔහුට තිබුණේ නිසඟ හැකියාවකි. ඔහු
පාසල් ගමන අවසන් කරන්නේ විශ්ව විද්‍යාලයෙන් බව කලින් ලියා තැබුවා වැනිය. එය අපේක්‍ෂිත
ප්‍රතිපලයකි.එහි එතරම් විශේෂත්වයක් ඇතැයි හැඟීමක් මට නොදැනුනි.
මම තිවංකට සුබපැතුවෙමි.
අපි දෙදෙනාම කතා කරමින් හිටිය තැනට අපේ පන්ති වල මෙන්ම උසස් පෙළ පන්තිවල සිසුන්ද පැමිණ තිවංක වට කරගෙන ඔහුගේ සාමාර්ථය ගැන සුභ පතන්නට පටන් ගත්ත.
අන් අය වෙනුවෙන් හැම කාරණයකදීම උදව් කරන්නට ඉදිරිපත් වීම තිවංකගේ පුරුද්දක්ව පැවති බව මට මතක් විය.මා උසස් පෙළ පන්තියට ආව පළෙමුවන දිනයේත්
මම තිවංකට සුබපැතුවෙමි.
අපි දෙදෙනාම කතා කරමින් හිටිය තැනට අපේ පන්ති වල මෙන්ම උසස් පෙළ පන්තිවල සිසුන්ද පැමිණ තිවංක වට කරගෙන ඔහුගේ සාමාර්ථය ගැන සුභ පතන්නට පටන් ගත්ත.
අන් අය වෙනුවෙන් හැම කාරණයකදීම උදව් කරන්නට ඉදිරිපත් වීම තිවංකගේ පුරුද්දක්ව පැවති බව මට මතක් විය.මා උසස් පෙළ පන්තියට ආව පළෙමුවන දිනයේත්
"නංගි ඔයාට ඕන උදව්වක්
දෙන්නම්. හොඳින් වැඩකරන්න" .
ඔහු එසේ කීවා මට මතකය. එවැනි ප්‍රිය
මනාප බවකින් කතාකිරීම එම චරිතයේම සාමාන්‍ය ලක්‍ෂණයක් විය.
ඒ දිනවල මම, සාමාන්‍ය පෙළ විභාගය සමත්ව, උසස්පෙළ පන්තියට
ඇතුළු වූවා පමණි. උසස්පෙළ විභාගය යනු මගේ ජීවිතයේ තීරණාත්මක කඩඉමක් සටහන් කරන
දැවැන්ත අභියෝගය බව මම අවබෝධකරගෙන සිටියෙමි.
පසු කාලයේදී පවා සරසවියට පිවිසීමේ වරම් ලද
අපේ ඉස්කෝලේ ශිෂ්‍ය නායකයා වශයෙන් තිවංක කෙරෙහි මාතුළ වූයේ ගෞරවපූර්වක
භක්තියකි. අවුරුදු දෙකක් තුළ අනුපමේය දුෂ්කරතා මැද
මවිසින් මේ ගමන යායුතුබව වැටහෙත්ම මගේ ගත සිත කිළිපොළා යයි. ඒ නිසාම තිවංක වැනි
උපදෙසක් ගැනීමට සුදුසු කෙනෙකුගෙන් උදව්වක් පැතීමට නිරායාශයෙන් පෙළඹීමක් මාතුළ
නොතිබුණා නොවේ.
සියළුම විෂයයන්ට අදාල පොතපත බෙහෙවින්
දුර්ලභවූ බැවින්, හැකිතාක්
පාසල් පුස්තකාලය පරිහරණයටත්, පන්තියේ
මිතුරු මිතුරියන් ගේ උදව් ලබාගැනීමටත් මම අදිටන් කරගතිමි. අවුරුදු දෙකක දුෂ්කරක්‍රියා
කාලයක් එළඹ ඇතැයිද, උනන් දුවකින් සහ කැපවීමකින් බලාපොරොත්තුවන ඉලක්කය වෙත ළඟා විය
යුතුව ඇතැයි ද හැඟෙන විට සියුම් බියකින් සිත සලිතවී යනු දැනෙයි. පොත්පත් සොයා
ගැනීම මහත් අසීරු
කාර්යයක් විය. එසේ වුවද, ඇතිවන දුෂ්කරතා මැඩ ගෙන, එන ඕනෑම
අභියෝගයකට මුහුණදී විභාගය සමත්වීම
ඉලක්ක කරගෙන ඉදිරි අවුරුදු දෙක නිම කිරීමට ඉටාගතිමි.
පළමු සතියේදී මා උසස් පෙළ පන්තියට පිවිසුනේ එවැනි දැඩි අපේෂාවකිනි. කුමන හේතුවක්
නිසාවත් ඒ අපේක්‍ෂාවන් අතරමඟ නතර කිරීමට හෝ
බාධා ඇතිකර ගැනීමට මම
සූදානම් නොවීමි. පළමු සතිය ඉක්මයන විට ඉතා ඕනෑකමකින් මෙන්ම, සැලසුම් සහගතවද මගේ
දින චරියාව, මිතුරු ඇසුර, බාහිර
වැඩකටයුතු සහ අම්මාට උදව් පදව් කිරීම ආදී සියල්ල එකිනෙක නොගැටෙන පරිදි සංවිධානය කරගතයුතු බව තේරුම් ගතිමි. ඒ අනුව සෑම
රාත්‍රියකම එදිනෙදා පාසලේදී කළ පාඩම් නැවත කියවා සටහන තේරුම් ගැනීමටත් මගේ කාලය
වෙන්කර ගතිමි.
සැම සවසකම දිනට නියමිත කෙටිසටහන් පවත්වා
ගැනීමට සටහනේ සාරාංශයක් සකස් කළෙමි. සියල්ල සිදුවෙමින්
පැවතුනේ ක්‍රමවත්වය. රාත්‍රි එකොලහ පමණ වන තුරු මම වැඩක් තිබුණත් නැතත් බොහෝ විට
අවදිව සිටියෙමි. පුස්තකාලයෙන්
ගෙනා පොතක් කියවාඑදිනෙදා පාඩම් වලට ගැලපෙන අයුරින් සටහන් කර ගතිමි.
කෙසේ හෝ සාමාන්‍ය පෙළ ශිෂ්‍යාවක් වශයෙන්
මාතුළ නොතිබූ උද්‍යෝගයක්, අරමුණක් මෙන්ම ක්‍රමවත්
බවක්, මගේ ජීවිතයට එකතුව ඇතැයි මට දැනෙන්නට විය.
ඒනිසා උසස්පෙළ සඳහා නියමිත විෂයයන් හතරටම අයත් නිබන්ඳන
වලට අවශ්‍ය, බාහිර දැනුම පොත පත කියවා ලබා ගැනීමටත්, හැකි ඉක්මණින් කරුණු රැස්කර නිබන්දන
ලිවීමටත් සැලසුම් කළෙමි. මගේ පළමු නිබන්දනය දේශපාලන විද්‍යා විෂයට අදාල වූවකි.
උසස්පෙළ නිබන්දන සාමාන්‍ය පෙළ රචනයකට වඩා වෙනස් බවත්, අමාරු බවත් මට වැටහුණේ පළමු නිබන්දනය ලියන්නට
පටන්ගත් පසුය. ඒ සඳහා මට ලැබී තිබුණේ c+
එකකි. දෙවැන්නට c++ ය. දේශපාලන
විද්‍යා විෂය භාර ගුරුමහත්මිය ලකුණු දෙන්නට ලෝභ කෙනෙකු නොවන බව මම තේරුම් ගතිමි.
තුන්වන නිබන්දනය B එකක් ඉලක්ක කරගෙන
බොහෝ අමාරුවෙන් කියවා තේරුම් ගෙන ලිවීමට පටන් ගත යුතුයැයි මම බලාපොරොත්තු වීමි.
තුන්වන නිබන්දනය සඳහා B ලබාගත් බව දුටු විට
මට ඇති වූයේ අසීමිත සතුටකි. මිස් මේබල් නිබන්දනය මා අතට දෙනගමන් සිහින්වට
සිනාසුනාය. එය මට වචන දහසකින් කළ නිබන්ඳනයකට වඩා අපූර්ව මාර්ගෝපදේශනයක්වූ අතර
පසුකාලීනව මගේ ප්‍රියතම විෂය දේශපාලන විද්‍යාව බවටත් පත්විණි. ප්‍රතම වතාවට ජීවිතයට
ශක්තිමත් අඩිතාලමක් වැටෙමින් පවතින බව මට දැනෙන්නට විය.
කොල්ලෑව අත'තිව රුවල්
නැති ඔරු කඳේ ඔහේ එල්ලීගෙන ඉන්නවාට වඩා, පිහිනන්නට අවම උත්සාහයක්වත් ගත හැකිනම් එයම ප්‍රශංසනීය උත්සාහයක් නොවන්නේද?ඉතින් මම පීනන්නට පටන් ගතිමි. රළ පතර සමඟ පොරබදන
විට උඩු අතද යටි අතද නොදැන පීනුවෙමි. පිහිනා ඇත්තේ උඩුගං බලා බව
අවබෝධ වුණෙ හුඟක් කාලෙකට පස්සෙ. ඒ වුණත් මං පිහිනුම අවසන් කරලා තියෙන්නෙ ප්‍රශස්ත
තොටුපොලෙන් වීම මොනතරම් ඇදැහිය නොහැකි දෙයක්ද?
මල්ලිකා එම් බණ්ඩාර
11.12.
2015
(ඉපනැල්ල ඊළඟ කොටස බලාපොරොත්තු වන්න)
No comments:
Post a Comment