Monday, 18 June 2018

ඉපැනැල්ල - 2


(ඉතිරි කොටස)

රතු මල් පිපුණ දැවැන්ත බෝගන්විලා ගහ යට පඩිපෙළ මත වාඩිවී අපි දෙදෙනා සෑම දිනකම බොහෝදේ කතා කරමින් සිටියෙමු. ඇතැම් අවස්ථාවලදී අපි දෙදෙනාම කුඹුරු යාය දෙස ඔහේ බලා සිටියෙමු. කතාවකින් තොරව උනුනුන් දෙස බලා සිනාසුනෙමු. අප දෙදෙනාම නිමග්නවී සිටියේ එකම  සිතුවිලි දැහැනක යයි සිතෙන තරමට අපේ සිතුවිලි සහෘදවිය. එකිනෙකා කෙරෙහි උපන් දයාබර බවින් යුතු විය. එකිනෙකා ගොඩනඟන්නට තරම් සවිඥානික විය.​
මොහොතක් මගේ දෑස් තුළට කිඳා බැසගත් වනම සිටි ශාන්තී ඈත වෙල් යාය කෙලවරට දෑස් යොමාගත්තාය.
“සෙන්ට්‍රල් එකේ අරලිය ගස් දෙකක් තිබුණා. මේ වගේ පඩි පෙළක් දෙපැත්තෙ. ඒ ගහේ හැමදාම මල් පිපිලා. උදේට මල් හැලිලා සුදු පාට පාවාඩයක් වගෙ හරියට​. මුළු සෙන්ට්‍රල් එකම අරලිය සුවඳයි".
"මං ආසයි අරලිය වල සුවඳට​" මම කියමි.
ශාන්තී උනන්දුවෙන් මදෙස බලා මගේ වම් අතැඟිලි අගින් අල්ලාගෙන
"ඔයා දන්නවද"​? ඇසුවාය​
සාගල​ ගැන වියයුතුයැයි මම අනුමාන කළෙමි.
"දවසක් සාගල​ අරලිය මලක් අරන් ඇවිත් කාටවත් නොපෙනෙන්ට ඒක මට දුන්න"​.
මා සිතූ අයුරින්ම ඇය තාමත් ජීවත් වන්නේ සාගල පිළිබඳ මතක සමගය​.
"අහෝ බොළඳ දැරියකගේ ප්‍රතම ප්‍රේමය​! ශාන්තී මෙන්ම සාගල​ ගැනද​ මා සිත තුළ ඇත්තේ අනුකම්පාවකි. 

ශාන්ති ඔයා මට මේ අරලිය මල වගේ. මේ මලේ සුවඳ වගේ ඔයා මගේ ජීවන සුවඳ​. ඒක මගෙ පරනොවන පැතුම”​. කියල එයා කීව.

හිතා මතා නොවුණත් මම සිහින්ව​ සිනාසුනෙමි. 

"ආඃ!ඔයා මට හිනාවෙනවා". මං හරි බොළඳයි කියලා නේද හිනා වෙන්නෙ?

හරි වැඩේ! මම හිනා වෙන කාරණා කියන්ටම ඕනදමගෙ හිත සැහැල්ලුයි. ඒ නිසා මට හිනා වෙන්න පුළුවන් ඕනම වෙලාවක”. ​


 " ආදරය බොළඳ නැත්නම් ඒකෙ ඔය කියන තරම් සුන්දරත්ත්වයකුත් නැති වෙයි. අනික් අතට ආදරය කියන්නෙ, කෙනෙකුට බලාපොරොත්තු කඩවීමක්. තව කෙනෙකුට මහ විකාරයක්. නැත්නම් හීනයක්. හැමදාම හීනෙක රැඳිලා ඉන්න බැහැනෙ. අපි සැබෑ ලෝකෙ පයගහලා  ජීවත් වෙන්ට එපායැ. ඒ කියන්නෙ සැබෑතත්වයට මූණ දෙන්න පුළුවන් වුණොත් විතරයි ජීවිතය පවතින්නෙ".
"ඒකනෙ මං කියන්නෙ, ඔයා මහ පණ් ඩිතයෙක් කියලා. ඉතින් මං හිත හදා ගන්න තීරණය කරලා තියෙන්නෙ". 
ශාන්තී සිහින් සුසුමක් පිට කරන ගමන් කීව​.
“ඒක හොඳයි! ඒකත් මට සතුටු වෙන්ට කාරණාවක්".


අපි දෙදෙනාම සිනාමුසුව පන්තිය කරා පිය නැඟුවෙමු.
"මං ඊයේ ගොඩක් රෑ වෙනකම්ම පාඩම් කළා. විභාගෙ හරියට කරගත්තොත් මං ජොබ් එකක් හොයාගන්නව​. එතකොට හුඟක් ප්‍රශ්න විසඳෙයි".

ශාන්තී තරමක් බැරෑරුම් හඬින් කීවාය​.
කාලය සමඟ අප ජීවිතයට මුහුණ දීමටත් පවතින පරිසරයට අනුකූලවීමටත් උගනිමු. ශාන්ති තුළ ක්‍රමයෙන් සිදුවූ වෙනස කුමක් අරබයාදැයි මම හරියටම නොදනිමි. එහෙත් ශාන්ති වෙනස්ව සිටියාය​. සාමාන්‍ය පෙළ විභාගය ආසන්න වෙත්ම ඇය පොත පත කෙරෙහි  උනන්දුවක් දක්වනු පෙනිනි. ගමේ වැදගත් යයි සම්මත පවුලකට ඇති සමීප ඥාති සම්බන්ඳය නිසා මිස, එළිපිට යමක් කීමට එඩිතර නොවුණත්, ශාන්ති පිළිබඳ අපේ ඉස්කෝලේ ළමුන් අතර ඇඳී තිබුණේ එතරම් ළගන්නා චිත්‍රයක් නොවේ.

ශාන්තිත් මාත් අතර පැවති සමීප බව නොඉවසූ දැරියන්ට නොයෙකුත් ඕපාදූප සොයා ගෙනවිත් මගේ කන් පුරවන්නට ඕනෑ වූ බව මට ඒත්තු ගොස් තිබිණ​. ඉස්කෝලේ, අපේ පන්ති වල සිටි අයට ශාන්තිට වඩා මා වැදගත් වීමට කිසිම හේතුවක් නොමැති බව මම අනුමාන කරමි.  ශාන්තී කෙරෙහි මා බිඳවන්නට මාන බැලූවේ හුදු ඊර්ෂ්‍යාපරවස හැඟීමෙන් මිස මට ඇති විශේෂ ලැදි කමකට නොවන බව මම දනිමි. එමෙන්ම මගේ පවුලේ වැඩිහිටි ඥාතීන් ද මට අවවාද කර තිබිණි. ඒත් අපේ අම්මා නම් කීවේ "කෙකෙකුට තව කෙනෙක් නරක් කරන්ට බෑ"කියලා.
සැබවින්ම තවත් කෙනෙකු නිසා මා නරක් වුණායයි හෝ අමාරුවේ වැටුණායයි කීමට තරම් මම බොළඳ දැරියක නොවෙමි. ජීවිතේ සියළු දුක්ඛ දෝමනස්සයන් උරුමකොට උපන් මට, මඩ ගොහොරුවෙන් නැගී සිටින්නට තිබූ අත්‍යන්ත උවමනාව හැරුණු විට​​, දුක ගැන ඉගෙන ගන්නට මගේ ජීවිත පොත මිස වෙනත් පුස්තකාලයක් අවශ්‍ය වූයේ නැත​. පොත කියවිය යුතුය​. නැතිනම් ඉගෙන ගන්නේ කොහොමද​? එය නීරස අන්තර්ගතයක් මෙන්ම මිහිරි අන්තර්ගතයකින් ද යුක්ත නම් අපි ඒ දෙකටම හුරුවනු මිස පොතේ පිටු කඩා දැමිය හැකිද​?පොතට මම බෙහෙවින් ඇළුම් කළෙමි. එනිසා ජීවිතය දෙස සමබරව බලන්නට මා ලද පාඩම් බෙහෙවින් අදාල විය​.
ඉස්කෝලේ ඉහල පන්ති වල සිසුන් මා කෙරෙහි දැක්වූ ආකල්පයට වඩා වෙනස් ආකාරයේ ආකල්ප සහ ඇවතුම් පැවතුම් ශාන්තී කෙරෙහි පවත්නා බව මට රහසක් නොවුණි.
"උපුල්ගේ ඇස්දෙක හරි අමුතුයි හාසිනී".
දිනක් ශාන්තී කීවාය​. ශාන්තිගේ වෙනස මා දුටු ආකාරයයි.  ශාන්තී ගැන උපුල් විශේෂත්වයක් දක්වන බව නොයෙක් විට මා දැක ඇත. 
"ශාන්තිට කොල්ලෙක් ඉන්නවද හාසිනි?” උපුල් එක දවසක මගෙන් ඇහුව​.
“අයියෝ! කවුද ඒ වගේ දේවල් අහන්ට යන්නෙ? ඇරත් මට මොකෝ හිටියත්..."
මං උපුල්ට උත්තර දුන්නෙ එයා අධෛර්‍යමත් වෙන විදියට​. 
"මොකවත් නිසා නෙවෙයි. ඔය කියන කතාවල හැටියට එහෙම නැත්නම් තමයි ප්‍රශ්නෙ".
"ඔයාට දැනගන්න ඕනදේ ඔයාම ගිහින් අහගන්න ශාන්තිගෙන්".
උපුල් මගෙන් සහයෝගයක් නැති බව දැනගන්නට ඇත​. ඉන්පසු ඔහු ශාන්තී ගැන මගෙන් ඇසුවේම නැත​. එවැනි අවස්ථා පෙළ ගැසී මගේ සිතට ගොඩ වැදෙන්නට විය.

සමහරවිට ඔයාට, හැමෝම  කියන්න​ ඇති මාව ආශ්‍රය කරන්න එපා කියල​. මං ආශ්‍රය කළොත් ඔයාත් නරක්වේවි කියලා කියන්න ඇති... මං දන්නව ඔයා හරි අහිංසකයි. තැළිල පොඩිවෙලා නෑ. ..ඒත් මේ ටික කාලෙට​ පන්තියේ අනික් හැමෝටම වඩා මගෙ හිතට ළං වුණේ ඔයා. මගෙ හිතට හරි සමීප බව දැනුනෙ ඔයා...
මං කියන හැම දේම ඔයා අහගෙන හිටියා. අන්තිමට ඔයා මගෙ හිත හැදෙන යමක් කීව. කිසිම දෙයක් හාර හාරා ඇහුවෙ නෑ. පුංචි ළමයෙක් කියන කෙලවරක් නැති කතාවක් අහනව වගේ ඉවසාගෙන ඉඳලා, මගෙ කඩා වැටුන හිත සනසන විදියට ඔයා කතා කරනව​. ඒක මට දැනුනෙ හරියට  වැඩිහිටියෙක් මට ආදරෙන් අවවාද කරනව වගෙ. එහෙමත් නැත්තං මගෙ වැරැද්ද පැහැදිළි කරලා දෙනව වගේ. එතන තිබුණෙ සමාව​. අනුකම්පාව​. දයාව​".

කඳුළක තෙතමනයක් ශාන්තිගේ දෑස අග දිළිසෙන බව පෙනෙන්නට තිබිණි. මොහොතක් කතාව නතර කළ ශාන්තී,
" අම්මගෙන්ද ඔය තැන්පත්කම ඔයාට ආවෙ?",
කියල ළයාන්විතව හිනාවක් නගා ගත්තා. මම කිසිත් නොකියාම මෘදු හිනාවක් මුවගට නගා ගතිමි.
ඔයාට මම කියන දේකින් හිතට සහනයක් දැනෙනවනම් ඒක මට සතුටක්. මම කීවෙමි.

මගේ ළමාවිය පිය සෙනෙහස අහිමි සොඳුරු ටිකිරි විය මා අතරමං කොට තිබිණි. මගේ සහොදර සහෝදැරියන් සී සී කඩව විසිරී ගිහින් හරියට​ කුණාටුවකින් පසු  නුහුරු නුපුරුදු පරිසරයක තනිවූ බට්ටි කිරිල්ලියක මෙන් මා ජීවිතයේ තනිවීමි. මට දැනුනේ මා පියාපත් බිඳී ගිය කිරිල්ලක් වගේය​. පියාපත් තිබුණද,  පියාඹන්නට තරම් මට අවකාශයක් නොවුණි. ජීවිතය ජීවත් කිරීම සඳහා මා දුක ඉවසිය යුතුවිය​. අපැහැදිළිවුවද හෙටක් පිළිබඳ බලාපොරොත්තුවක එල්ලී සිටීමට තරම් නිර්ලජ්ජිත ආත්මශක්තියක් හා ආත්මදමනයක් මා සතු විය​.  

නිද්‍රාගත ගිනිකන්දක් මෙන් වේදනාව මිරිකා නොහැර සිත තුළ සඟවා ගැනීමට මම උත්සාහ කළෙමි​. ඒ සඳහා යොවුන් ප්‍රේමය ඉල්ලා ඉකිබිඳින සිත බලහත්කාරයෙන්ම අස්වැසිය යුතු විය.​ පියාපත් ඉල්ලා කෑමොර දෙන හැඟිම්, දැනීම් නිහඬ කළයුතුවිය. ප්‍රේමණීය සිතිවිලි අංකුර සන්දියේදීම කරටියෙන් කඩා මල් පල දරන්නට පෙරදීම මරා දමන්නට සිදුවිය​. කොටින්ම මගේ හිතේ එක්තරා සංවේදී අඩවියක් වසා තබන්නට මට සිදුවිය. බලහත්කාරයෙන් හෝ කිසිවෙකු එම අඩවියට ගොඩ වැදෙතැයි සැබැවින්ම මම බියවීමි. එනිසා යොවුන්-ප්‍රේමය  යන සංකල්පයට මමද, මට යොවුන්-ප්‍රේමයද ආගන්තුක විය​.

කොටින්ම 'පවුල' සම්බන්ධ වගකීම මට මගේ ජීවිතය තරම්ම, සමහර විට ඊටත් වඩා වැදගත්ව උත්තරීතරව, දැනුන නිසා පවුලේ හෙට සඳහා දෙපයින් නැඟී, උරෙන් උරදී අම්මා සමඟ සිටියයුතු විය. එය මගේ යුතුකමද වගකීමද විය​. අහස කඩාවැටුණත් දෙස් නොතබන, පොළොව ගිළීගියත් මහමෙර සේ නොසැලෙන, අම්මාගේ අකලට කේඩෑරිවී ගිය සිරුර තුළ සැඟව පවතින, අසීමිත චිත්ත ධෛර්‍ය්‍ය මා තුළද, මුහුකුරා වැඩී ජීවිතයට මුහුණදීමේ පන්නරය ලබන්නට​ ඇත. මගේ හිත ඈත අනන්තයට පියඹා යමින් තිබිණි. ශාන්තීද ගැඹුරු මුහුකට එබී බලාගෙන සිටින ඉරියව්වෙන් ඈත වෙල්යා දෙස  හිස් බැල්මෙන් බලා සිටියාය​. 
මොකද දෙන්න තනිපංගලමේ, පැනලා යන්ට කතා කර ගන්නවද​?”
 අප දෙදෙනාට පිටුපසින් පඩිපෙළ මුදුනේ සිටගෙන සිටින උපුල් අපේ අවධානය බිඳ දැමුවේය​.
ඔව් ඇයි? ඔයත් එන්න අපිත් එක්ක යන්ට​. එච්චරයි තව අපිට අඩු..."
මම උපුල්ට කඩා පැන්නෙමි.
මෙයාටනෙ හරි අමාරු, "කියමින්ම උපුල් අප කෙරෙන් මෑත්වූ අතර අප දෙදෙන හඬ නඟා සිනාසුනෙමු.
උපුල් අපදෙස බලා රවමින් ඔවුන්ගේ පන්ති කාමරය දෙසට ගියේය​.
 "මේ හාසිනී, මං ඔයාට  කියන්ටමයි හිටියේ. උපුල්... උපුල් මං ලයිබ්‍රරියේ ඉන්න වෙලාවෙ හොර ගල් අහුල අහුලා හිටියා පොත් රාක්කෙ ළඟ​. මමත් නිකං දැක්කෙ නෑ වගේ පොතක් හොයන විදියට පාඩුවේ හිටිය​. ඊට පස්සෙ මෙන්න බොලේ මං හිටිය තැනට  ආපි."
"ඉතින්! බැලුවම දෙන්නම හොර ගල් අහුල අහුලානෙ ඉඳල තියෙන්නෙ".
"අයියෝ ... හාසිනී... ඉන්නකො මම වෙච්චදේ කියනකං. ඉතින් උපුල් කියනව
" අද ශාන්තී හරිම ලස්සනයි කියල​".
"එතකොට ඔයා මොකද කීවෙ? කැපිච්ච පණුව වගේ ඇඹැරි ඇඹරි තොඳොල් වුණා...?
“නෑ අයියො. ඉතින් මං ඒපාර ඇහුව​මොකද මේ හෝඩියේ පන්තියේ ඉගෙන ගත්ත කතන්දර මතක් වුණාද කියල...
"ඇයි එච්චර කතාව දිග් ගස්සන්ට ගියෙ? ඒකනං ඉතාමත් දුර්වල උත්තරයක්. කොල්ලෙක් අධෛර්‍යකරන්න ඒවගේ උත්තර වලින් අමාරුයි".
"පන්ඩිතයා. අහගෙන ඉඳින්." ශාන්තී මට තර්ජනය කරමින් කීව​.
"මට පෙනුණදේ මං කීවෙ" කියලා උපුල් ලැජ්ජාවෙන් කීව​.
"මට දැන් ඔය නරියා සහ කේජු කතා අහලම එපාවෙලා තියෙන්නෙ කියල මං කීව​.
 "ඒක හොඳයි".
"එයා මොකාටද එන්නෙ කියලා මං දන්නව​. ගිනි පෙනෙල්ලෙන් බැට කාපු මිනිහා කලාමැදිරියාටත් බයයි කියනව වගේ, ඇත්තටම මට දැන් හරි බයයි හාසිනී. මට සාගල මතක් වෙන කොට දුකයි. ඒ මදිවට උපුල්ලා ඇවිත් විකාර කතා කරනව​".
"ඔය වගෙ වෙලාවට මමනං එක උත්තරයයි දෙන්නෙ ආයෙ නොඑන්ට​".
මම මෝඩයි. අනුකම්පා කරනවා. කෙනෙකුගෙ හිත් රිදවන්ට ලෝබයි".
මම  ටික වෙලාවක් නිශ්ශබ්දව​ සිට අවධාරණය කළා,
"මේ, අනුන් නිසා අපේ හිත් රිදවා ගන්නේ මොන රුදාවටද​? මං ළඟ ඔය අනුකම්පා වානා. ඔයා දැන් පාඩමක් ඉගෙන ගත්තනෙ. අච්චර හොඳ ඉස්කෝලයක් දාලා ඔයාට මේ වගේ ගමේ ඉස්කෝලෙකට එන්ට වුණේ ඔය ලව් පලහිලව් හින්දනෙ. දැන්වත් ඉතින් හිත එකලස් කරගෙන විභාගෙට ලෑස්ති වෙමු. හරියටම මාස තුනයි තව අපට තියෙන්නෙ".
"ඔව් මම මහන්සි වෙනව​. මට උදව් කරන්න හාසිනී"
ශාන්තීගේ කට හඬ ශෝකාකූලය​. එහෙත් තීරණාත්මකයයි  මට සිතුණි.
"තවටික දවසක් යනකොට හරියාවි. අපි දෙන්නම එකතු වෙලා පාඩම් කරමු". මම කීවෙමි.
ශාන්තී මගේ දෑතේ ඇඟිලි දැඩිව මිරිකමින් සිනාසුනාය​. අනතුරුව, දෑස් හීන් කර මොහොතක් මගේ දෑස් දෙස සෘජුව බලා හිඳ ​"ආච්චි අම්මා" මගේ කණට කර කීවාය​.

අපි එකවර හුන් තැනින් නැඟි සිටියෙමු. විවේක කාලය අවසන් වෙන්නට ඇත්තේ තව සුළු මොහොතක් විය හැකිය​. අපි දෙදෙනාම ඉක්මන් කර පන්ති කාමරය තෙක් ගමන් කළෙමු.

මල්ලිකා එම් බණ්ඩාර​

11.12. 2015

(ඉතුරු කොටස ලබන සතියේ)


No comments:

Post a Comment