කෙටි කතාවක්
ශාන්තී මට දැන ඇඳින ගන්නට ලැබුණේ මා නවවන
වසරේ ඉගෙන ගනිද්දීය. එයා අපේ ඉස්කෝලෙට
ආවේ ප්‍රසිද්ධ මධ්‍ය මහා විද්‍යාලයක ඉගෙන ගනිමින් සිටි අවධියේය. පන්තිය පුරා දෑස්
යවා අවසානයේ එයා ඇවිත් වාඩිවුණේ මට යාබද ඩෙස් එකේය. පන්තියේ ළමයි ඒ කියන්නෙ මගේ කල්‍යාණ මිතුරියන් කීවේ, " එයා හරි
බඩ්ඩක්. එහෙ කොල්ලෙක් ඒක්ක "නටලා" ඉස්කෝලෙට අහුවෙලා ඉස්කෝලෙන් අස් කරලා. වෙන යන්ට
තැනක් නැතිකමට මෙහෙ ඇවිත් තියෙන්නෙ. ටිකක් පරිස්සමෙන් හිටපන්" කියලයි.
නියපිටින් පහරක් නොවැදෙන සේ ඒ කියන්නෙ කුමන ආකාරයක හෝ "physical contact" නැතුව අවුරුදු ගණන් පෙම්පත් හුවමාරුවෙන් පමණක් පෙම්කරන තරුණ පරපුරක් ඒ කාලෙ හිටියෙ. ප්‍රේමය, නැත්නම් girl කෙනෙකුයි boy කෙනෙකුයි අතරේ ඇති
වෙන සමීප ඇසුර ප්‍රේමයමදැයි මටනම් නිශ්චිතවම කිව නොහැකිය. කොහොමවුණත් මම මගේ අපාය
සහාය මිතුරියන්ට පිළිතුරු දෙන්නට උනන්දු නොවුණෙමි. ටික දවසකින්
අපි අතරේ සමීප ඇසුරක් ගොඩනැඟුනා මිසක් මට නම් එයා ගැන අප්‍රසාදයක්
ඇතිවෙන අන්දමේ කිසිම දෙයක් සිදුවුණේ නැහැ.
"යමු වතුර
ටිකක් බොන්ට" කීවොත් මම එයත් එක්ක ඉස්කෝලේ ළිඳ ළඟට ගියා.
"යමු ටක්
එකට" කීවොත්. ඒත් එයා එක්ක
ගියා. දාසියක් වාගෙ නෙවෙයි,
අළුතින් ඉස්කෝලෙට ආව ගැහැණු ළමයෙකුට කරන උදව්වක්
විදියට.
අනික් අතට එයාගෙ ප්‍රසන්න හැසිරීම්, කාරුණික බව,
සමහර මං කැමති නිදහස් අදහස් මං ප්‍රියකළා
කීවොත් හුඟක් දුරට හරි. හුඟක් වෙලාවට
මං එයා කියන දේ සාවධානව අහගෙන හිටියා මිස, කුතුහලයක් ඇතිවුණත් කිසිම දෙයක් හාර හාරා
නං අහුවෙ නෑ. මට තේරුන විදියට එයාට ඕනවෙලා තිබුණෙ එයාගේ හිතේ තිබුණ බරක් නිදහස් කර
ගන්ට. සමහර විට එකිනෙකට සම්බන්ධයක් නැති විස්තර කියනකොට මට හිතුනෙ, එයාගෙ
හිතේ තෙරපෙන හැඟීම් වල ධාරිතාව එයාටම දරාගන්ට බැරිකම නිසා, කිසියම් අසංවිධිත ආකාරයෙන් එහෙන් මෙහෙන් එළියට
පනිනවා කියලා. ඉතින් මං බොහොම ඉවසිල්ලෙන් ඒ හැම දෙයක්ම අහගෙන හිටියා. ඒ නිසාමදෝ ඈ තුළ මා
කෙරෙහි විශ්වාසයක් ගොඩ නැඟෙමින් පැවැතුන බව
මට දැනුනා.
එක දවසක අපි දෙන්නා ඉස්කෝලෙ ළිඳට යන පඩිපෙළ
මුදුනෙ ඉඳගෙන ඈතට දිවෙන ගමේ වෙල් යාය දිහා ඔහේ බලාගෙන හිටියා. මගේ මතකේ හැටියට ඒ, අවුරුද්දේ මුල් මාස
වල දවසක්. කුඹුරුවල අස්වනු ඉවර වෙලා අව් කාස්ටකේට ඉපැනැල්ල වේලිලා, ගස් වල කොළ හැලෙන
කාලෙ. වෙල් ඉස්මත්තට ඉහලින් පිටකන්ද රබර් වත්තේ කොළ හැළුන රබර් ගස් වල ඉපල් බේරිලා.
මුළු පළාතටම අමුතුම පාළුවක් එකතු වෙලා. අපි දෙන්නා වෙල් ඉස්මත්තෙනුත් එහා, පාළු රබර් වත්තෙනුත් එහා, හිස් අහස දිහා බලා
ගෙන හිටියා. මගේ හිතේනම් නිශ්චිත කිසිම අරමුණක්
තිබුණාද මන්දා. නමුත් ශාන්තී ගේ නම්, ඇස් වල
තෙරපෙන කියා ගන්න බැරි වේදනාවක් බොඳවෙලා තිබුණා. ඇගේ අසරණ පෙනුම මා තුළ ඈ කෙරෙහි මහත් අනුකම්පාවක් ජනනය කළා. ඒ
වුණත් ඒ සිතිවිලි දැහැන බිඳ දමන්නට මං අකැමැති වුණා.
හදිසියේ යමක් මතක්වූ කලක මෙන් ඈ මා දිහා
හැරී බැලුවා. මළවුන් අතර තනිවූවෙකුට
අහම්බෙන් ඇස ගැටුන එකම සචේතනික ජීවියා දැකීමෙන් උපන් විශ්මිත බවට ආසන්න හැඟීමකට
සංකලනයවූ හිනාවක් ඇගේ දෑස් තුළ සනිටුහන් වෙලා වගේ. ඒ වලාවේ මට හිතුනා.
මොහොතක් මගේ දෑස් දෙස බලා සිටි ශාන්තී මගේ දකුණත සෙමෙන් ගෙන මගේ ඇඟිලිකරු අතරෙහි ඇඟිලිකරු
රඳවා සෙමෙන් පිරිදිමින් කට හඬ අවදි කළා.
“මගෙ බෝයි ෆ්‍රෙන්ඩ් සාගල එක්ක මම යාලුවුණේ මීට අවුරුද්දකට විතර
ඉස්සර. එයා මට දුන්න ලියුමකට මම උත්තරයක්
ලීවා. ඒ ලියුම මගෙ පොතක් ඇතුළේ තිබිලා කොතනක හරි වැටිලා. ඒක අපේ ටීචර් කෙනෙකු ඇහිඳ
ගෙන. ඊට පස්සෙ, ප්‍රින්සිපල්
අපේ තාත්තව ගෙන්නලා මගෙ අස්වීම දුන්නා. ඒ නිසයි මම මේ ඉස්කෝලෙට ආවෙ”.
මම හූමිටි තැළුවේ නෑ. ඒ වගේම විශේෂ උනන්දුවක් පෙන්නුවෙත්
නෑ.
මං ඇහුම්කන් දීගෙන ඉන්න බව තේරුම් ගත්ත ශාන්තී
ආයෙත් හඬ අවදි කළා.
“මෙච්චර
කාලයක් මම කියපු දෙයක් අහගෙන හිටියා ඇර ඔයා කවදාවත් මගෙන් මොනවත් මා
ගැන අහලා නැහැ. ඒක මගෙ හිතට හරි වදයක්. මට ඔයාට ඇත්ත කියන්ට ඕන. ඔයා කවදාවත් මම
කියන දෙයක් වෙනත් අයට කියන්නෙ නැති බව මං දන්නවා. ඒ නිසයි මං ඔයාට මගෙ
හිතේ තියෙන හැම දේම කියන්ට තිතුවෙ”.
ඇය කියාගෙන ගියා.
මං කවදාවත් ඇහුවෙනෑ, " ඇයි ඔයා මහෙ ආවෙ කියල". එහෙම අහන්න මට තියෙන අයිතිය මොකක්ද? මං හිතුව.
මං කවදාවත් ඇහුවෙනෑ, " ඇයි ඔයා මහෙ ආවෙ කියල". එහෙම අහන්න මට තියෙන අයිතිය මොකක්ද? මං හිතුව.
ඔය දවසින් පස්සෙ හැම දවසකම ශාන්තී මගෙ
අතින් අල්ලා ගෙන ඉස්කෝල වත්තේ කෙලවරකට ගිහින් ඈත පාලු අහස දිහා බලාගෙන එයාගෙ ජීවිතේ මං
ඉදිරියේ දිගාරිනව. මම හරියට හිස් කළයක් පිහිල්ලක් යට උඩුකුරුව තිබ්බා වගේ ඒ ඔක්කොම වැක්කෙරෙන්ට ඇරලා ඔහේ අහගෙන හිටියා. මගේ
සාවධාන සවන් දීම ඇගේ සිත තුළ පැවති ශෝකාකූලබව මඟ හැර ගැනීමට රුකුලක් බව මට තේරුම්
ගියා.
ඒ නිසා මම ශාන්තී ගෙ ආකූලවූ ප්‍රේමය,
බිඳීගිය සොඳුරු සිහින ලෝකය, මැදිහත් සිතින් අහගෙන හිටියා.
බිඳවැටුන ප්‍රේම වෘතාන්තයකට සවන් දීමෙන් මා තුළ විශේෂිත සතුටක් හෝ
ශෝකයක් දැනුනේවත් තෘප්තියක් ලැබුණේවත් නැත. එහෙත් ඇගේ හැඬුම් බර හඬට සමපාතව වරින්
වර සුළඟට මුදාහරින සුසුමක් සමඟ මට ද ඉබේටම සුසුමක් හෙලුනා මතකය. පසු කාලයේ කණට
ඇහෙන දේ නිරුත්සාහයෙන් මා සිතට කාවැදී, මා තුළ ශාන්තී කෙරෙහි සියුම් අනුකම්පාවක්,
දුකක් වැනි හැඟිමක් ගොඩනැගෙනු මට දැනුනා.
ප්‍රේමය යනු, මගේ අවබෝධය අනුව නම් අත්‍යන්තයෙන්
වේදනාකාරීවූත් අසහනකාරීවූත් ප්‍රපංචයක් බව, මා තුළ පැලපදියම් වීමට හේතු පාදක වූයේ, මගේ යෙහෙළියන්ගේ
අත්දැකීම් ඇසුරෙන් මා ලද
අවබෝධය මෙන්ම, මා කියවූ පොත්පත්වලින්,
නවකතා, කෙටිකතා වල
චරිත වගේම, පාසල් අත්පොත් වල තිබූ පුරාවෘත්ත, පුවත්පත් සඟරා
ආදියේ චරිත නිරූපන
අනුසාරයෙන් යයි මම හඟිමි. ඒ හැරුනු විට “ප්‍රේමය” යන්න ආගන්තුක සංකල්පයක්
ලෙස මවිසින් සලකන්නට යෙදුනා යැයි සිතමි.
මනඃකල්පිත කවි සංකල්පනා වලින් පෝෂණයවූත්,
භාෂා ව්‍යවහාරයේ මනා කුසලතාවනුත් නිසා “ප්‍රේමය” සොඳුරු කල්පිතයක් ලෙස
සැලකීම, ප්‍රායෝගීක
ප්‍රේමයකට වඩා අගයක් ඇතැයි දැහුවෙමි. නවවන වසරේ ඉගෙනුම ලබන කාලයේ පවා උන්මාදණීය ප්‍රේමය ගැන මා කවිකතා ලියන්නටත්, මගේ යෙහෙළියන්
සඳහා ඔවුන් ගේ පෙම්වතුන්ට කවියෙන් පෙම්පත් ලියන්නටත්, මනා පරිචයක් ලබා තිබුණි. ප්‍රේමයේ අග්‍රඵලය
ලෙස කප්පරක් වේදනා විඳින්නට සිදුවන බව මා ඇසූ දුටු ඇසුරු
කළ අයගෙ අත්දැකීම් වලින් ලද
පාඩම් නිසාදෝ, මේ කටුක බෙහෙත
වැළඳීමට මම බෙහෙවින් බියපත් වීමි.
ආදරය, ප්‍රේමය වැනි
සුන්දරවූත් ආහ්ලාද ජනකවූත් භාවමය සිතිවිලි වලට මාව ග්‍රහණය කර ගැනීමට ඉඩ
නොතබන්නට මම බෙහෙවින් පරිස්සම් වීමි. අනික් අතට
අනාගතයක් පිළිබඳ නිශ්චිතවූත් විසිතුරුවූත් බලාපොරොත්තුවක් මා තුළ නොපැවතිණි.
නටඹුන් නගරයක ඇද වැටුණ පවුරු පදනම් මත, ඉබේ පැළවුණ ඊතණ පඳුරක් මෙන්, කටුකවූත් අප්‍රසන්නවූත්
අත්දැකීම් වලින් ගහන පරිසරයක පයගසා
නැඟී සිටින්නට දරන අත්‍යන්ත ජීවන අරගලය හමුවේ, ජීවිතය හෝ අනාගතය දෙස සුබවාදීව
සිතන්නට බෙහෙවින් අසීරුවිය. මා ඇසුරු කළ
බොහෝ අය සිතන්නට ඇත්තේ මා නිකම්ම නිකං නරුම ජීවියෙකු ලෙසයැයි මම සිතමි.
සමහරුන් සිතුවේ විසිතුරු දේ ගැන සිතන්නටත්, මියුරු අනාගත
සිහින දකින්නටත් සාධාරණ අයිතිය ඇත්තේ ඔවුන්ට මිස මට නොවන බවය.
භෞතික පෙනුම අතින්ද ආකර්ශනීය පෙනුමක් මා
කෙරෙහි විනැයි නොසිතමි. කෙසේ හෝ මට අවශ්‍ය මූලික උවමනාව වූයේ මා වැටී ඇති වලෙන්
ගොඩ ඒමේ ඒකායන අපේක්‍ෂාව පමණක්ම විය. ඒ නිසා සුදුසුයැයි හැඟෙන අයුරින් විවිධ ආදේශන වලට
නැඹුරුව, අඳුර තුළින්
කලාමැදිරි එළියක් මතුවනතුරු, ආදරය හා ප්‍රේමය
වැනි භාවමය අන්ත කෙරෙහි නැඹුරු නොවෙන්නට මගෙ හිතට දිවුරුම්දී ශපත කරගතිමි.
ගැහැණු හෝ පිරිමි වේවා මා මිනිසුන් දෙස
බැලුවේ අවිශ්වාසයෙනි. සැකයෙනි. ඕනැම කෙනෙකු ගේ ඇස් දෙස සෘජුවම
බලා කතා කිරීමට මට හැකිවිය. ගැහැණු හෝ පිරිමි වේවා ඇස්වල සනිටුහන් වෙන යටිසිත
කියවීමට මම සමත් වීමි. යව්වනියක ලෙස වුවද ඕනෑම පිරිමි කෙනෙකුගේ දෑස් හමුවේ සෘජුව බලා කතා කරන්නට කෝලබවක් ඇති
නොවුණි. සමහරු මගේ ඇස් දෙස කෙලින් බැලීමට
බියපත්වන බවත්, සමහරු ලැජ්ජාවට පත්වන බවත්, ඇස් මඟහරින
බවත් මම දැන සිටියෙමි. මගේ වයසේ
පිරිමි ළමුන් නම් මා දෙස බැලුවේම නැත. බැරිවීමකින් හෝ බැලුනොත් ඔවුහු ඉවත බලන්නට
උත්සාහ කළහ.
ඇතම් විට " මොකද බලන්නෙ ?
මගෙ මූණ පෙරහැර යනවාදයි" මම ඇසුවෙමි. එවැනි මදි
පුංචිකමක් සිදුවෙතැයි මා හා සමවස් වල සිටි පන්තියේ පිරිමි ළමුන් පරිස්සම් වූ බව දනිමි. ඇතම් වැඩිහිටි
මිනිසුන් ගේ ව්‍යාජබව
අවබෝධ කර ගැනීමටත්, ක්‍රෑර ගති කියවීමටත් සමත් මනා කුශලතාවයක් මට ලැබුණේ කොහෙන්
දැයි මම නොදනිමි. ඒත් එවැනි හැකියාවක් ඇති
බව මට ප්‍රත්‍යක්‍ෂවී තිබුණි. ඒ නිසා රහස් පරීක්‍ෂකවරයෙකු වැනි අයෙකුට ප්‍රේම කළ නොහැකියයි මම
දැඩිව විශ්වාස කළෙමි.
මා රැවටීමට හෝ නොමඟ යැවීමට කෙනෙකු
උත්සාහ කළ බව දැනුන සැනින් එලව එලවා පහර දීමට නොපැකිළුනෙමි. ඒ බොහෝවිට ඇණුම්පද වලින්
නොව, කඩු කිණිසි
තුඩු මෙන් සියුම්ව සිතට කිඳා බසින රළු පරලු කටුක
වදන් වලින් මුහුණටම දමා ගැසීමෙනි. ශිෂ්ඨ සම්පන්න
යයි සැලකෙන සමාජ පිළිගැනීම් අනුව නම්, මා ප්‍රතිචාර
දැක්වූයේ ගැහැණු දැරියකට, යුවතියකට
නොහොබනා අන්දමේ රළු වචන වලිනි. රළු යනුවෙන්
අදහස් කරන්නේ අසැබි වචන වලින් කතා කිරීම නොවේ.
කුඹුරු යාය පසුකරගෙන එන හීන් සුළංරැල්ලක්
අපේ මුහුණු මත තැවරීගෙන හමා ගියේය.
"මං දන්නව හාසිනීට “love affair”එකක් නැති නිසා මම
කියන ඒවා තේරුම් ගන්ට අමාරු ඇති....".
ශාන්තී මගේ දෑතේ ඇඟිලි දැඩිව අල්ලා
මිරිකමින් කීවාය.
මම සිනාවක් තවරා ගන්නට උත්සාහ දරමින්
ඈ දෙසට හැරුණෙමි. පාළු කාන්තාරෙක ඈතක දිස්වන මිරිගු
දියත්තක් වගේ ඒ දෑස් දිළිහුණා. මොර ගෙඩි දෙකක් තරම් විශාල කඳුළු බිඳු දෙකක් ඒ දෑස්
කෙවෙණි තෙරපා ගෙන පනින්නට වලිකනවා. මම ඇගේ දෑස් දෙස මොහොතක් සෘජුව බලා සිටියෙමි. ශාන්තී
මගේ දෑත් අතහැරියාය. ඇගේ අසරණ බව දැක මා සිතට මහත් අනුකම්පාවක් දැනෙන්නට විය.
"කෙනෙකුගෙ වේදනාව
කොච්චර දැඩිද ලිහිල්ද, කෙනෙකුගෙ
හිත කොච්චර ගැඹුරුද නැද්ද කියන එක මට
තේරෙනව ශාන්තී. ඒක මං දැන ගත්තෙ අනික් අය හැසිරෙන හැටි බලාගෙන ඉඳලා අවබෝධයෙන් මිස, මගෙ පෞද්ගලික අත් දැකීමක් විදියට නෙවි. මං
ඇහුවෙ නැතුවට, මට දැනුණා ඔයා අහස පොළොව ගැටලන්න බැරිකමට නෙවෙයි ඔය හූල්ලන්නෙ කියලා.
ඇත්තටම මට දුකයි ඔයා ගැන. අපි බලමු හිත හදා ගන්න... ඔයාගෙ දුක
බෙදාගන්නව කියන්නෙ, ඔයත් එක්ක
අඬන එක නෙවෙයි. ඔයාගෙ හිත හදන එක, ශක්තිමත් කරන
එක.
‘මට දරාගන්න බෑ
හාසිනී"
‘ඔව් මං
දන්නවා. ඔයාට ඒක හොඳටම අමාරු බව. ඒක ඔයාගෙ first love afire එක. ඒ වුණාට ජීවිතේ කියන්නෙ හරි
වටිනා දෙයක්. ජීවිතේට මුහුණ දෙන්න. හැම කෙනෙකුටම ප්‍රශ්න තියෙනවා. ඒවයේ ස්වභාවය
වෙනස් වෙන්න පුළුවන්. ඒ වුණත් ඒවට මුහුණ දෙන විදිය අනුව තමයි අපි කොච්චර ශක්තිමත්ද
දුර්වලද කියල තීරණය වෙන්නෙ”.
“මගෙ පපුව යට
ගින්නක් වගේ. මං ඒ ගින්නෙන් පිච්චෙනව. ඒක විස්තර කරන්න අමාරුයි. මේ තරම් වේදනාවක්
මට කවදාවත් දැනිලා නැහැ”.
“ඔයයි සාගලයි
අතරෙ තිබුණ සම්බන්ඳය මම නොවැදගත් දෙයක් විදියට සලකලා කතා කරනවා නෙවෙයි. සමහරු විරුද්ධ
ලිංගිකයින්ගෙ ඇසුර හොයනවා, හුඟක් ළාබාල වයසෙදි. වැඩි දෙනෙක්
ඒක ආදරය කියලා වරදවා තේරුම් ගන්නවා. මං
හිතන්නෙ ඒක විරුධ ලිංගිකයො තේරුම් ගන්න කරන උත්සාහයක් කියලා. ඕනම කෙනෙකුට
අනික් අයගෙ අවධානයට ලක්වෙන්න අසාවක් ඇති වෙනවා. ඒක සමහර විට තව කෙනෙක් පරජය කළා,
අත්පත් කර ගත්තා වගේ හැඟීමක් නිසා වෙන්නත් පුළුවන්. අනික් අතට අපි
කැමැතියි මුළු ලෝකෙම අපිට ආදරේ කරනවා දකින්න. ආදරේ කරන්න වගේම ආදරේ ලබන්නත් අපි
හැමෝම කැමතියි. ලෝකෙම අපිටම විතරක් ආදරේ කරනවනම් අපි ඒත් කැමතියි.
“සාගලට තියෙන
ආදරේ හරියට උල්පතක් වගේ. එයා නැතුව මට ජීවිතයක් ගැන හිතන්නවත් බැහැ හාසිනි”.
“ඔය දෙන්නම වැඩිහිටියො
නෙවෙයි. ඔතන තියෙන්නෙ විරුධ ලිංගිකයො දෙන්නෙක් එකිනෙකා ඇඳින ගන්න දරන උත්සාහයක්.
අපි, අපිට ආදරේ
කරන්න ඕන ඉස්සර වෙලා. එහෙම නැතුව කොහොමද අනුන්ට ආදරේ බෙදන්නෙ? අපි ආදරේ
කරපු අය අපෙන් වෙන් වෙන එකට අපි
අකැමැතියි. කැමැතිදේ හරි කැමැති අය හරි, නොලැබෙන කොට හැමදේම එපා
වෙනව. සමහරුන්ට ජීවිතේ එපා වෙනව. ඒ වුණාට ජීවිතය තරම් වටින දෙයක් මේ මහ පොළොවේ
තවත් නෑ.”
“සාගල මට පණ වගේ
ආදරෙයි” .
“ඔයා ඔයාට ආදරේ
කරන්න. ජීවිතේ ප්‍රශ්න වලට මූණ දෙන්න ආත්මශක්තියක් තියෙන්න ඕන. වැටුණම නැඟිටින්න
ඕන. ප්‍රශ්නෙට නිවැරැදිම උත්තරේ හොයන්න ඕන. අමාරුයි තමා. නමුත් උත්සාහ කරන්න ඕන...”
“අපිට
වැරැදුනොත් අපි ළඟ ඉන්න අයත් යන්න යාවි. අපිට හරියන කොට බලෙන් අපි ළඟට ඒවි. නැති
නෑකම්, නැති යාළුකම් පෙන්නාවි. නමුත් අපිට අපි
විතරයි ශාන්ති. හිත හදා ගන්න බලන්න.
සාගලට වුණත් කරන්න දෙයක් නෑ දැන්. එයත් ඉස්කෝලෙ යන, A/L
කරන ළමයෙක්”.
හදිසියේම මා දෙස බැලූ ශාන්ති;
"ඔයානං මහ
පණ්ඩිතයෙක්" කීවාය.
“ඔයා ප්‍රශ්න
දිහා බලන විදිය වෙනස්. මට තේරෙනව ඔයා මගෙ හිත හදන්ට මහන්සි ගන්න බව”.
“මම මගේ
ජීවිතේට තරම් ආදරේ කරන වෙන කිසිම දෙයක් නෑ. ඒ වුණාට අපෙ අම්මා ගැන සලකන කොටනම් මගේ
ජීවිතේ කියන්නෙ අපෙ අම්මා. අම්මා නිසා මට අනික් හැමදේම අතාරින්න පුළුවන්. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් ආදරය වෙනුවෙන්
කියලා, මම මගේ ජීවිතේ
දෙවෙනි තැනට දාන්නෙ නෑ. මොකද අම්මා නිසා මගෙ ජීවිතේ පවතින්ට ඕනෑ. ඔයා දන්නවනේ මට
එහෙම වෙන්ට හේතු තියෙන බව.
ශාන්ති මා දෙස මහත් ඕනෑ කමින්
සවන්දී සිටින වග පෙනෙන්නට තිබිණි. ඇය මගේ අතක්
ගෙන සෙමෙන් එහි ඇඟිලි පිරිමැද්දාය. හෙමින් හීල්ලුවාය. ඇයගේ දෑස්වල ගැඹුරු බවක්,
කල්පනාකරී බවක් පෙනෙන්නට විය. මම මඳ වශයෙන් ඈ දෙස
බලමින් මට හිතෙන දේ කීවෙමි.
“අනිත් එක, අපේ වයසෙ අය හිතන්නෙ, ආදරේ කරනවා කියන්නෙ, හොරෙන් හොරෙන් එකිනෙකා දිහා බලන හිනාවෙන, කතා කරන්ට මාන
බලන, ඒ අතරෙ මම ඔයාට සදහටම ආදරෙයි කියලා ලියුමක්
හුවමාරු කරන එක තමයි මුළු ලෝකෙම
කියලා. නෑ. නෑ. ඒක තමයි අපි විරුද්ධ ලිංගිකයො දැන ඇඳින ගන්ට කරන උත්සාහය. ඒක ආදරය නෙවි. ආදරය ඊට වඩා දෙයක්...
“අපි
දෙන්න එකතු වෙලා හොඳට විභාගෙ කරමු. දැනට
මගෙ පලවෙනි වැඩේ විභාගේ. අපිට තව ටික කාලයයි තියෙන්නෙ විභාගෙට”.
“ඔයා වුණත් හොඳින් පාස් වුණොත් අම්මයි
තාත්තයි කොච්චර සතුටු වෙයිද. අනික අයියා විශ්ව විද්‍යාලෙ ගියා වගෙ ඔයාටත්
යන්න පුළුවන්. තාත්තා වුණත් බලාපොරොත්තු තියාගෙන ඇතිනෙ. අපිට වගෙ නෙවෙයි ඉගෙන
ගත්තෙ නෑ කියල ඔයාට අඩුපාඩුවක් නෑ තමයි. ඒ වුණත් මමනං හිතන්නෙ ගෑණු ළමයි ඉගෙන
ගන්ට ඕන. කුස්සිය මුල්ලට යන්ටම පෙරුම් පුරන්නෙ නැතුව. අනික ඔයා දක්‍ෂයිනෙ”.
දේශනාකාරයෙකුට සවන් දෙන්නාක් මෙන් ශාන්ති මා
කීදේවල් නිහඬව අසා සිටීම ගැන මම සතුටු වීමි. බොහෝ දිනවල අප
දෙදෙන තනිවූ විට කතා කළේ මෙවැනි දේවල්මය.
(ඉතිරි කොටස ලබන සතියේ බලාපොරොත්තු වන්න)
(ඉතිරි කොටස ලබන සතියේ බලාපොරොත්තු වන්න)
මල්ලිකා එම් බණ්ඩාර
11.12. 2015
11.12. 2015
No comments:
Post a Comment