Thursday, 21 June 2018

මතකයෙන් බිඳක් - 6 (ii)

කෛලාසේ හොල්මනක්!
(21. 06. 2018 දා ඉතුරු කොටස මෙතැන්සිට​)

 "මමත් අහලා තිබුණා. ඇත්ත නැත්ත දන්නෙ නැහැ. පර්ල්ලත් දන්නවා ඒ කතාව​. ඒ අයත් ඒ රූම් එක පැත්තට යන්නෙ නෑ. "
“මට හිතුනා පර්ල්ට පොඩි විහිළුවක් කරන්න​. ඉතින් මට හොඳ idea එකක් ආවා. එතැන තිබුණා දැවැන්ත ටකරං “rubish bin” එකක්. පර්ල්ලගේ රූම් එකේ දොර ළඟම​. ඒකෙ ලිඩ් එකත් ටකරං. හරි බරයි. මං ඒක අරන් එතැන තිබුණ ලණුවක් handle එකේ ගැටගැහුව​. ඊට පස්සෙ අර ලණුව එයාලගේ දොරේ යතුරේ ගැට ගැහුවා. ලිඩ් එකේ බරට ලණුව කඩා වැටුණා. ඒක මහ විශාල සද්දයක් . මුළු කෛලාසෙම දෙදරන තරම් ශබ්දයක්!
“මම සට! සට! ගාලා ගැහෙන්ට වුණා. දැන්නම් ඉතින් අතේම මාට්ටු. මට ගණදෙවි නුවණ පහලවුණා. ඉතින් මම වේගෙන් අඩි පහක් ලබුරූම් එක පැත්තට දීවා. ඊට පස්සෙ එතැනම නතර වෙලා, රබර් සෙරෙප්පු දෙක අතට අරන්, ඇඟිළි අගින් ආපහු ආවා පඩි පෙළ පැත්තට. ඒ කරලා, පඩිපෙළේ light එක නිවලා, සැහැල්ලු අඩි තියලා අපේ රූම් එකට දුවගෙන ආවා. එතකොටත් පර්ල් මර හඬ දීලා කෑගහනවා, එයාගෙ බැල්කැනිමේට්‍ස්ලට​. 
“විනීතා...ශ්‍රීපාලී...හොරෙක්! හොරෙක්!
 මෙන්න... හොරෙක්!.
හොරෙක්...!
“මම මගේ රූම් එකේ දොර ඇරැගෙන, හොර පූසා වගේ ඇතුළට ආවා. ඇවිත් ඉහින් කණින් ෂීට් එක වහගෙන ඇඳේ අනික් පැත්තට හැරිලා ඇස් පියාගත්තා. දෙයි හමුදුරුවනේ! හැමෝම කෛලාසෙට දුවනවා කොරිඩෝ දිගේ. රබර් සෙරෙප්පු හඬ “තප...තප” ගාලා ඇහෙනවා”.
මගේ රූමා. දඩි! බිඩි! ගාලා නැඟිටලා මට කතා කරනවා . අනුප්... අනූප්... පර්ල්ලගේ රූම් එකට හොරෙක් පැනලා ...නැඟිටින්න​. අනේ ​ නැඟිටින්න ".
“ඔයා මර නින්දේ?’ මම අනූප්ට බාධා කළා.
“ඔව්! ඉන්නකෝ කියනකං. මම මර නින්දේ හිටියා වගේ කෙඳිරිගාලා. ඇස් පොඩි කරලා එහෙම,ඉතින් නැඟිට්ටා. නැඟිටලා අපි කොරිඩෝ එකට යනකොට කෛලාසෙට කිට්ටු කරන්ට බෑ සෙනඟ​. මුළු රාමනාදන් එකම කෛලාසෙට පොදිගැහිලා.
සමහරු අපේ girlsලා හිතුවලු මමමයි ඔහොම දෙයක් කරන්ට ඇත්තෙ කියලා. ඒත් මගෙ රූම් මේට් දහ අතේ දිවුරලා කීවා;
“මේහ්! පද හදන්ට විතරක් එපා ඔයාලා. ඌ  ඒ වෙලාවේ මර නින්දේ. මමයි හරි අමාරුවෙන් ඇහැරෙව්වේ” කියලා.
“අනේ මගෙ රූමා බුදු වෙන්ට ඕනෑ" මම දැනෙන නොදැනෙන විදියට දැත් එක්කරලා. දෙවියන්ට ස්තුති කළා”.
“ගැලවුම්කාරයා වගේ වෙනදා මම හැමෝගෙම ඕනෑ එපාකම් වලට යනවනෙ. ඉතින් සමහරු මගේ නම කියලා කෑගැහුවා. උදව්වට එන්න කියලා”. ඒ වෙලාවේ මට ඕන වුණේ අනික් අයගේ ඇස් මානයෙන් ඈත් වෙලා ඉන්න​. මගෙ හිතේ තියෙන කම්පනය මූණෙන් පෙනුණොත්...!”
"ඔයා දන්නෙ නෑ, එදා තරම් මම බයවුණෙ නෑ කවදාවත්. බැරිවෙලාවත් මං අහුවුණොත්, කියලා මං මර බයේ හිටියෙ. අහුවුණානම් මාව suspend කරයි. ​ දෙයිහාමුදුරුවනේ මට ගෙදර යන්ට වෙයි. ගෙදරට මූණ දෙන්නෙ කොහොමද අර විදියේ තක්කඩි වැඩක් කරලා?”.

තාමත් අනූප් ගෙ මූණේ ඒ බය චකිතය සටහන් වෙලා වගේ, මට හිතුනා
මම හිනාව නවත්තගෙන​
 “හ්ම්... හ්ම්” කීවා.
“මං ඇත්තටම බයවුණා. මඟෙ ඇඟ ගැහෙනවා වගේ.  මට මගෙ heart beat එක ඇහෙන තරම්. මහ පුදුමාකාර කම්පනයක් ඒ වෙලාවෙ මගෙ හිතේ තිබුණෙ. ඒ විතරක් යැ ඔයා දන්නවද, මට මහ හයියෙන් අඬන්න හිතුනා”.

"අඬපු නැති එක හොඳයි! වීරයා වගේ රාමනාදන් එක හොල්ලාගෙන ඉඳලා පාපොච්චාරණය කරන්ට හියානං, "කොළ කුඩුම​" තමා. මම අනූප්ට අලගු තැබුවෙමි. 

“අපේ warden මිසිස් කුක්, sub-warden මිස් මල්ලිකා, එහෙම ඇවිත්. මාර්ෂල් ඔෆිස් එකට ටෙලිෆෝන් කරලා. ඉතින් ඔන්න මාර්ෂල් එකත් ආව කියමුකො. අර කුරුමිණි ජීප් එකෙන් hall එක වටේ යනව​. torch අරන්. එතැන එකම යුද්ධයක්! කොහොමහරි පාන්දර දෙක විතර වෙනකම්ම ඒ අය search කළා. ඒ විතරක්ද​? ඊට පස්සෙත් රෑට කීප වතාවක් hall එක වටේ  මුරසංචාරයේ (patrolයනව​”.
“බුදු අම්මෝ පර්ල් අඬනව! අඬ අඬා...පර්ල් විස්තර කරනව warden ට​. මං අහගෙන එයාගෙ විස්තරේ;
 හොරා ලබුරූම් එක දිහාට දීවා. මට ඇහුණා අඩි පහක් විතර ඒ පැත්තට දුවනවා. ලබු රූම් එක ළඟින් අඩි සද්දේ නතරවුණා. මට හොඳටම ඇහුණා යතුර කරකවනවා. දෙසැරයක්ම​. මං හිතුවා අපේ කවුරුහරි කෙනෙක් එනව ඇති කියලා. හැමදාම අපි කාමරේ යතුර දොරේමයි තියන්නෙ. නිතර කවුරුහරි එන නිසා, වරින් වර දොර අරින්ට යන්න වෙනවනෙ. ඒ නිසා යතුර දොරේමයි තියන්නෙ. මට හොඳටම ඇහුණා දුවනවා. දුවද්දී බින් එකේ හැප්පෙන්න ඇති!”.

“පර්ල්ගෙ කට උත්තරේ ආසන්න වශයෙන් 100% ක්ම හරි. මගෙ සරුවාංගෙම දඩ දඩ ගාලා ගැහෙනවා. උගුර කට වේළිලා. ඉකිගැහෙන්ට එනවා වගේ.මට හිතුණා, ඒක කළේ මං කියලා කියන්ට​. ඒත් එක්කම මගේ ඇතුලාන්තයේ ඉඳලා කවුදෝ කෑගහනව​;
 " කට වහපන්... කට වහපන්" කියලා. 
මං ඒ හඬට කන් දීලා නිශ්ශබ්ද​ වුණා. නැත්නම් මම ගස්!
“දවස් කීපයක් ගත වුණාම කලබැගෑනිය තුනීවෙලා ගියා. මම හර්ද ශාක්‍ෂියට එකඟව, 'වැරැදි කාරයා මමයි ' කියලා කීව නම් මාව​ පොලීසියේ නැත්නම් උසාවියේ! ඊට පස්සෙ මම කටේ කෙළ බිඳක් බිම එලන්ට බය වුණා. අර තරම් අලකලංචියක් වුණාට පස්සෙ. කටක් අරින්නෙ කොහොමද​? ඊළඟ අවුරුදු දෙක ගලක් ගිල්ලා වගේ තද කරගෙන හිටියා. 

"කොහොමහරි හොරෙක් අහුවුණෙ නෑ. හොරෙක් ආ බවට කිසිම සාධකයක් ඉතුරුවෙලා තිබුණෙ නෑ. මොකෝ හොරෙක් ආවයැ? ඒ නිසා වෙනත් මතයක් තහවුරු වෙන්න පටන් ගත්තා. ඒ කියන්නෙ, හොරෙක් ආවෙ නෑ... හොල්මනක් ආවා. ඇවිත් ලබුරූම් එකට රිංගා ගත්ත​. ලබුරූම් එකේ අවතාරය ඇවිදින වෙලාවක් ඒක, කියලා සමහරු ඒ වෙලාවට නිකමටවත් දොරක් අරින්නෙ නෑ. ඊට පස්සෙ රෑ දොළහට හරි  තනියම​ කෛලාසයට යන්න​ පුළුවන් වුණේ මට විතරයි”.
අනූප් ආයෙත් අර "උහ්...උහ්...උහ්" හිනාව තත්පර තිහක් විතර ඇදෙන්ට ඇරියා.

“හ්ම්! මට මතකයි ඒ කාලේ අපි ලෙක්චර්ස් යනකොට හිල්ඩා ජෝකර්ලා අහනව​," අපේ එක එක්කෙනාගෙ නම කියලා " ඒයි රාමනාදන් බඩු! උඹලා නේද​ හොරා ගෙන්නුවෙ කියලා”.
සමකාලීනයෙක් විදියට මමත් ඌණපූරණයක් එකතු කළා. 
සුළු විරාමයක් අරන් අනුප් ආයෙත් පටන් ගන්නව​.​
"ඉතින් මම හින්දා කාලයක් යනකම්ම රාමනාදන් ගර්ල්ස්ලට හිල්ඩා, J P දෙගොල්ලම මහ ජරා විදියට පෙරලුවා”.
අනූප් උරහිස් ගස්ස ගස්සා "උහ් - උහ් -උහ්" ගාලා හිනාවුණා.
“ඉතින් අවුරුදු ගණනකට පස්සෙ, ඔයා දැකපු ගමන් පර්ල් කුඩේ උස්සගෙන ආවේ එතකොට​? කොහොමද දැනගත්තෙ ඒ ඔයාම බව​?”මම අතුරු ප්‍රශ්නයක් දැම්මා.
“එතැනත් මම පොඩි ට්‍රික් එකක් කළා”.
“ඒ කියන්නෙ? ඔයා ලියුමක් යැවුවා?”
“නෑ. නෑ. ඔන්න ඉතින් අපි  “final exam” කරලා ගෙවල් වලට යන්ට ලෑස්ති වෙද්දි, පර්ල් ගෙ autograph එක මට දුන්නා. ඉතින් මම ගෙදර යන දවසේ එයාගේ ඔටෝ එකේ ලීවා.
“පර්ල්, මට සමා වෙන්න​! 
සරසවිය මතක ඇතිතාක් කල් ඔයාට මාව අමතක නොවේවි.
මීට​,
ආදරණීය​ අනුපමා 
(කෛලාසේ හොල්මන)
කියලා ".
"පර්ල් ඔටෝ එක බලලා තියෙන්නෙ ගමේ ගියාටත් පස්සෙ. එතකොට එයා දැනගන්න ඇති මම තමයි ඒක කළේ කියලා".
ඉතින් මට පර්ල් මුණ ගැහුණ අවුරුදු එකොළහකට විතර පස්සෙ. ඒ වෙන කොට  ඒ දෙන්නා marry කරලා පදිංචි වෙලා හිටියේ මුල්ගම්පල හරියේ. දවසක ම අහම්බෙන් වගේ, මුල්ගම්පලින් පර්ල් බස් එකට නඟිනව දැක්ක. එයාගෙ පුතා kingswood ගියේ. පුතාව ඉස්කෝලෙට දාලා දූව අතින් අල්ලාගෙන එයා එනව. ඉතින් මම මූණ හංග ගෙන හිටියා. දැන් අපි දෙන්නම එකම බස් එකේ. පර්ල් "convent" එක ළඟින් ​බහිනවා. මමත් එතැනින්ම බහින්න ඕන​ "ගුඩ්ස්ෂෙඩ්" එකට “short cut” එක ගන්න. ඉතින් අපි දෙන්නම ඉස්සරහ දොරෙනුයි, පස්ස දොරෙනුයි බැහැලා, මූණට මූණ ආවා. මට තේරුනා එයා මාව අඳුනගත්තා කියලා.
එතකොටම මම එයා ගෙන් ඇහුව​, "කෛලාසෙ හොල්මන" මතකද කියලා. එයා මට කුඩේ උරුක් කරලා එලෙව්වා. මමත් දිව්වා. හැරිලා බලනකොට එයා නතර වෙලා. මම හෙමින් හෙමින් කිට්ටු කරලා යාප්පුවෙන් තා කළා. පස්සේ අපි හොඳ සුහද කතාබහකට වැටූණා. එච්චරයි!

“ඔයානං මහ​ පුදුමාකාර තක්කඩියෙක්නේ”. මම කීවා.
“ඔව් අප්පා. මටම ලැජ්ජයි දැන්! මතක් වෙනකොට අපේ විකාර”. අනූප් බක බක ගාලා හිනා වුණා.
“ඒ වගේ වැඩ මෑතකදි කළේ නැද්ද​?”
“හාපෝ! දැන් මම බොහොම සංවරයි”.
“ඒවගේ දේවල් කරන්න පුළුවන් මේ ලංකාවේ එකම තැන තමයි කැම්පස් එක​. එතැන තියෙන නිදහස එළියේ නැහැ. ඇතුළේ නිදහස භුක්ති වින්ද අය එළියට ගියාම, අර එළියේ ඉන්න උන්ටත් වඩා හිට්ලර්ලා, මුසලිනීලා!"Bloody Maryලා".
"ඒකනං ඇත්ත". මම හීන් හිනාවක් මුවට නගා ගතිමි.

කෝච්චියේ වේගය අඩුවෙනකොට අනූප් කවුළුවෙන් පිටත බැලුවා. 
“දැනුනෙම නෑ කොළඹට එනකම්ම"​, කියලා එළියට එන්න හරි බරි ගැහුණා.. 
අපි කතා කරමින්ම කෝච්චියේන් බැහැලා ස්ටේෂන් එක ඉස්සරහට ආව. 
"දැන් කොහොමද ඔයා බෞද්ධාලෝක මාවතට යන්නෙ?"අනුප් ඇහුවා. 
"මාව අරන් යන්න "husband” එයි.  නැත්තං කවුරුහරි එවයි”. මම කීව​.
“එයා බෞද්ධාලෝක මාවතේ ද වැඩකරන්නෙ?”
“නෑ. කොල්ලුපිටියේ”.
 “ නතරවෙලා ඉන්නෙ ?”
 "Stanmore Cresent"මීට ඉස්සර මාත් ඇවිත් නෑ. අද තමයි නතර වෙලා ඉන්න තැනට යන්නෙ”.
“ Oh! okay! I guess! මාව අරගන්න driver ඇවිත්. හම්බවෙමු ආයේ”.
 අනූප් මගේ දෑත් දැඩිව ග්‍රහණය කර මගෙන් සමු ගත්තා. ​

එච්චරයි!

මල්ලිකා එම් බණ්ඩාර​

16. 06. 2018

No comments:

Post a Comment