Thursday, 14 June 2018

විත්තිකාරිය​ ​

කොළපතේ දොවාලා
මා ඇකයෙ හොවාලා
රන් කිරෙන් සතපවා
රැකගතිමි නුඹව​
දෝලාවකින් ඇවිත්  ගෙනියන්ට
අගමෙහෙසියක පිණිස​ කුමරෙකුට
"නෑඹුල් මලක්ද නුඹ​?"
උන් අසනු ඇති නුඹෙන් 

මත් බමර තුඩු පහස​ නොල​ත්
ධවල නෙළුමක්ව​ පිපෙන්නට 
ගෙදිගු විල​ නැවුම් දිය 
උල්පතක් නොවූ බ,
මුව දොරේ අගුල් ඇර කියාපන්

මඩ ගොහොරුවේ ලැගපු  
අමන සූකර රැළ   
ඉඳුල් කර බොරකරපු
අනෝතප්ත විල මැද
බිඳ දැමූ නැවුම් දිය කොතලය​
නුඹම බව​ හඬගා කියාපන්

උන් යළිත් අසනු ඇති!
කන්‍යා මරියාද නුඹ?
"ජෙරිකෝවේ, “රහබ්” නුඹ බව
නිභයව​ කියාපන්

අගතියට පත් පාර්ශ්වයට
යුක්තිය ඉටු නොකළ​ පිය-රජෙකු
දෙවියන්ට​ ප්‍රියවීද මුරගා අසාපන්
"අම්මොන්" අතින් කෙළෙසුන
දාවිත්ගෙ දියණිය, “තාමර්”
නුඹම බව දිවුරා කියාපන්

තීන්දුව ලියන්නට පෙරාතුව​
සිහි මොළේ කැඳවලා
තුලාවේ බර කිරනු නොහේනම්
එවන් පියවරු, රජුන්, විනිසුරු 
අළු දූලි නොකරන
දෙවියන්ට​ දෙස් දෙවෙල් තියාපන්
දේව උදහසින් එන අවසාන විනිශ්චය
නියතවම  උන්ට බව කියාපන් ​


මල්ලිකා එම් බණ්ඩාර​

03. 06. 18


No comments:

Post a Comment