බයිබලයටත් වඩා ශුධවූ කන්‍යාව
කිළිකුණු දෝවා නහා
සෝදාපන්න නුඹේ ඉණකඩ
ගලවාපන්න ඔය දෑස් බැඳි
දිරාගිය රෙදිකඩ
මළ බැඳුන තරාදිය සමඟ මොට අසිපත
විකුණාපන්න පරණ බඩු කඩයකට
ශුධවූ ජාතියක
අඬහැරය
නවත්වාපන්න එක ඉසිඹුවක
ගල් ලෙනෙන් පිටට විත්
දෑස් ඇර බලාපන්
එකින් එක පිටු හැලෙන
රෝම ලංදේසි පොත ඉරාදා
දෙතිස් වධ සන්නසක ලියාගෙන
එකිනෙකා කටුබෙරේ දමන්නට
වධකයෙක් සොයාපන්
තුලාවේ සමබරට
පසිඳින්ට නොහැකිනම් යුක්තිය
පුදසුනේ වසුරුලා
ගොදුරු ගිල දමන කළු
කපුටන් ගෙ
පියාපත් කඩා බිඳ දමාපන්
කන්‍යාවකැයි කියන
වෙසඟනකවූ නුඹට
ගල් ගසන තුරු නොසිට
අයුක්තිය අසාධාරණය දෙස
දෙනෙත් යුග විවර කර බලාපන්
ස්වේත හංසයින් මැද
තැනින් තැන සුවඳ දෙන
ධවල සියපත් ඇතත්
රිදී හෝතෙර පිපුණ,
මඬ ගොහොරුවේ ලගින
බයිසන් පට්ටියේ නාම්ඹන්
පිළිමහන්නට කෙනෙක් හොයාපන්!
මල්ලිකා එම් බණ්ඩාර
25. 06.
2018
No comments:
Post a Comment