Thursday, 10 December 2020

දෙදහස් විස්ස​ (2020)

 අද නොවෙම්බර් පළමුවනදාය​. මේ අවුරුද්දේ අන්තිම මාසයය​. අවිනිශ්චිත භාවයෙන්ම දවස් ගෙවී ගොස් මාස එකොළහක් ගෙවුනේ නිකං වියරු හීන දැක දැක ගෙවුණ රාත්‍රියක් වගේය​. අමුතුම ආකාරයේ පාඩමක් ස්වභාව ධර්මය විසින් උගන්වා ඇති බව දැනෙන්නේ දැන් ය​. අපිට ඕනෑ විදියටම ජීවත් වුණා මිස මිනිසුන් විදියට අපි පෘතුවිය මත ජීවත් වන බව අමතක කර සිටියෙමු. අපිට උගන්වලා තිබුණේ මේ මඟුල් සක්වල කියලාය​. අපිට ඔනෑ ඕනෑ විදියට මේ මිහිතලය මත මඟුල් නැටුවා මිස​, මඟුල් කෑවා මිස ස්වභාව ධර්මයත් අපිත් අතර කුමන හෝ සම්බන්ධයක් ඇතැයි අනුමාන කරන්නටවත් අපෝසත් වීමු. අමතක කළෙමු. දැන් අපිට නිදහසේ කිසිම දෙයක් කරන්නට බැරිතරමට තහංචි වැටී ඇත​. ඒවත් ස්වාභාව ධර්මයට ඕනෑ පිළිවෙලටය​.

අපි මිහිතලය ගිනි තැබුවෙමු. ගහකොළ සතා සීපාවා බලහත්කාරයෙන් විනාශ කළෙමු. ජල උල්පත් හින්දෙව්වෙමු. ගිණිය නොහැකි තරම් දීර්ඝ කාලයක් මිහිමත තැන්පත්ව තිබූ අයිස් ආවරණය දිය වෙන්නට වායු ගෝලයට විෂ වායු එක්කර උෂ්ණත්වය වැඩි වීමට සැලස්වීමු. ස්වභාවික හැමදේම අස්වාභාවික කිරීමට අවශ්‍ය පසුතලය සකස් කළෙමු. බලය සහ ධනය වෙනුවෙන් අපේ මිනිසත් බව පාවා දුනිමු. දැන් අප ස්වභාවධර්මයෙන් පරිත්‍යාග කරන ලද හුස්ම පොද  අහිමිවේයැයි භ්‍රාන්තියට පත්ව සිටිමු. 

 මේ ඇරැඹෙන්නේ නව යුගයක නව උපතක් විය නොහැකිද​? මේ අලූත්ම පන්නයේ නව යුගයක ආරම්භයක් විය නොහැකිදැයි මට සිතේ. එය පටන් ගත යුත්තේ තොටිල්ලෙනි. දෙවියන් හෝ විශ්වය ගැන තබා ලෝකය ගැනත් ඇති අල්ප මාත්‍ර දැනුම සහ අවබෝධය නිසාදෝ  මට දැනෙන්නේ මේ අවුරුද්ද, ඒ කියන්නෙ 2020, ඉතා කෙටි අවුරුද්දක් බවය​. කොහොමත් ලෝකය 'abnormal' මය. එහෙව් එකේ අවුරුද්දකට මාස දොළහක් තිබුණත් මට, දැනෙන්නේ මේ අවුරුද්ද මාස දෙකකට සීමා වු බවය​. ඒක සිද්ධවුණේ ජනවාරි සහ පෙබරවාරි මාස දෙක එක්තරා රමණීය දේශයක සංචාරයකින් පසුවය​. ආපහු ආව ගමන් අපේ තරුණ නායිකාව බෝඩර් වහලා දැම්මාය. ඒ නිසා අර රම්‍යවූ දේශයේ ලැබූ කල්ප කාලයක් විඳිය හැකිවූ අත්දැකීම් විඳින්නට ලැබුණේ අල්ප කාලයකි. 

අපිට පමණක් නොව, පර්දාව එපායයි බෑඟිරිගාන අපේ ඥාති සමූහයාටත්, මුඛවාඩම් බඳින්නට සිදුවීම, දෛවයේ සරදමක් යයි මට සිතෙන්නට පටන් ගත්තේ, පහුගිය මාස නවය තුළදීය​. එක අතකින් මනුස්සයෙකුට බුද්ධිය  මුහුකුරා යෑමට හෝ යමක් 'realize' වෙන්නට​ මාස නවයක් හොඳටම ප්‍රමාණවත්ය​. කළලයක් වුණත් මව් කුසක වැඩෙන්නට මාස නවයක්ම සම්පූර්ණ විය යුතුය​.

ඉතින් අර සංචාරයේදී මට, එම දේශයේ  විද්‍යා, කෘෂි හා භෝග, ​ ආර්ථික විද්‍යා සහ​ දේශපාලන විද්‍යාව පිළිබඳ වියතුන් පිරිසකගේ සාකච්ඡා වට කීපයකට සවන් දීමේ මහඟු අවස්ථාවක් ලදිමි. මේ කතාබහ අතරින් මගේ කුතුහලය නොබිඳී රඳවා ගනු ලැබුවේ ඒ සුන්දර දේශයේ  දේශපාලන ක්‍රමය පිළිබඳව තොරතුරුය. ඇසුනු තර්ක විතර්ක සහ​ ඔවුන් ගේ විග්‍රහයන් අනුව නම්, පවතින පාලන ක්‍රමය, ග්‍රීක රෝම පාලන ක්‍රම වලටත් වඩා ප්‍රශස්ත බව පෙනෙන්නට තිබුණි. 

මා ඇසූ පරිදි, ග්‍රීක​පුර රාජ්‍ය ක්‍රමය අනුව වගේම මේ දේශයේත් සුළුතරය පුර වැසියන්ය. බහුතරය යටත්වැසි ප්‍රවේණි දාසයින්ය​. ඉඩම් හිමි ධනවතුන් ගේ වහලුන් ලෙස ආර්ථික සංවර්ධනයට අවශ්‍ය නිශ්පාදන ක්‍රියාදාමයේ කුඩා ඇණ මුරිච්චිවූ ඔවුන්ට අයිතිවාසිකම් දැන සිටියේ නැතුවා වාගේම​ දැනගන්නටද අවශ්‍ය නොවුණි. ජීවත් වීමට ලැබෙන අල්ප දෙයින් යැපී දෛනික වැඩපල යෙදුනා පමණි. දැන උගත්කම්? දැන උගත්කම් කුමටද? තිබුණත් හීන දීනව සිටීමෙන් මේ පුරයේ යටත්  වැසියෝ තෘප්තිමත් වූහ​. "නිදහස" යන්න ඔවුන් අර්ථකථනය කළේ, ස්වාමීන් රජ කරවීම උදෙසා තමන් දුක් විඳීමට දිවිහිමියෙන් කැප​වීමක් ලෙසය​. තමන් නම් කම් නැත. හත්මුතු පරම්පරාවක්ම ඊජිප්තුවේ පාරාවන්ට, හීබෲ  (ඊශ්‍රායෙල්) ජාතිකයින් මෙන් වහල් සේවයේ යෙදුන වහලුන් වීමටය. සිරකරුවන් වීමටය, ණයකරුවන් වීමටය. අවසන් පැරැන්ණන් කියන අයුරින්, කොළ පතත් පොල්කටුවත් අතට ගෙන මග මඟ යාචකයින් සේ ඇවිදින්නට සුදුස්සන් වීමටය​. 

ඇතම් රටවල වැඩවසම් ප්‍රවේණිදාස ක්‍රමයේ පැවති පරිදි, දැනඋගත් අය පවා තම දූදරුවන් පමණක් නොව බිරින්ඳෑවරු පවා තම ස්වාමින් ගේ පරිහරණය සඳහා පූජා කරන අතර; මෙපුර​  පුරුෂයෝ තමන් අත පත්වන ලාභ වරදාන වරප්‍රසාද අපේක්‍ෂාවෙන් මුනිවත රැක්කාහ​.  තමන්ට ලැබෙන වරප්‍රසාදවල ප්‍රමාණය සලකා ආත්මගරුත්වය බිම දමා පෑගූහ​. හීලෑකළ සුනඛයින් තම ස්වාමියා හමුවේ හැසිරෙන නිවට නියාලු බව හා සමානව නැට්ට වන වනා නිහඬ වූහ​. ඒත් අපි අහවල් පුර රාජ්‍යයේ, අහවල් කඳවුරේ සිරකරුවෝයයි, යටත් වැසියෝ යයි උදම් ඇනූහ​. සුනඛයින් තුමූටම​ නැට්ට පෑගී වේදනා දැනුන මුත් නිහඬ  වන්නාක් මෙන්, උන් තම ස්වාමීන්ට​ කීකරුකමට ලැජ්ජා භය ඇතිව හැදී වැඩී ඇති බව පෙන්නනටත්, ධනවත්ම සහ බලවත්ම​ ස්වාමියාගේ ගැත්තා හෙවත් වහලා යයි අන්අයට කියා පෑම ගෞරවයක් නම්බුවක්සේත්  සැලකූහ​. දරුණු ව්‍යාධියක් මෙන් ඔවුන් ගේ ලේ මස් සම් ඇට නහර විනිවිදව ඒ ගැම්ම ස්ථාපිත වී තිබිණි. 


හීබෲ මිනිසුන්ට මෙන් තමන් දෙවියන් විසින් මවා නිදහසේ ජීවත් වෙන්නට මහපොළොව උරුම කර දුන් බව ඔවුන්ට අමතකව ගොස් තිබිණි. තමන් නිවහල් මිනිසුන් බවට පත් කළ ඇතැම් ජන නායකයින්, රාජ්‍යතාන්ත්‍රික කටයුතු සඳහා හෝ පෞද්ගලික අවශ්‍යතාවක් සඳහා හෝ පුංචි කඳු ගැටයට නැඟ ආපසු එන අල්ල-පනල්ලේ තමතමන් ගේ අත කණ කර ආයිත්තම් මකා, ගොන් වස්සෙකු තනා ඌට නමස්කාර කරන්නට පෙළඹුණ මනුස්ස කොට්ඨාශ මේ මහ පොළොවේ පය ගසා තිබූ බව පොත්පත් වල ලියා තිබේ. මිනිසුන් ඒ වගේය​. මනුෂ්‍යයා බෙහෙවින් දුර්වල සත්වයෙක් ලෙස හැසිරෙයි. තරාතිරමකින් තොරව, ​ඔවුන්ට ගහක් ගලක් දේවාලයක් කෝවිලක් පෙන්නන්ට බැරිය​. අතට විලංගු තරම් විශාල වනතරමට නූල් ගැට ගසා ගෙන, තඹ පත් බෙල්ලේ එල්ලා, ඇට මාල හෝ ඇට බෝල එල්ලා ගැනීම මෝස්තරයක් විය​. දුටු තැන කොස් කොටන්නාසේ බිම දිගාවී, දීපංකර බුදුන් වඩිනා මඟ පිළිසකර කරමින් සිටි බෝධිසත්වයන්ටත් වඩා තම ස්වාමීන් දෙපාමුල අප්‍රමාණ​ගෞරවයෙන් භක්තියෙන් ස්ත්‍රී පුරුෂ, වයස් භේද​යකින් තොරව​ වැඳ වැටෙති. 


අර උගතුන් කීවිදියට නම් දාසයින් ගේ කොඳු ඇට කෝමාරිකා පත්තක් මෙන් ඕනෑම තැනකින් කැඩිය හැකි මදයක් සහිතය. එය​ දියාරුය​.  ඔවුන්ට කොඳු ඇට රෑන සෘජුව තබා ගැනීම අපහසුය.​ ආත්ම ගෞරවය හෝ ආත්ම විශ්වාසය කියා දෙයක් දන්නේ නැත​.  ඒ නිසා ඔවුන්ට හේත්තු වෙන්නට යමක් අවශ්‍යමය​.  ඒ නොගැලපෙන පසක පැළකළ ආගන්තුක පැළෑටියක් මෙන් කොළ කොඩවීමේ රෝගයට හසුවීම නිසා දේශයේ අධ්‍යාපන ක්‍රමයේ හටගත් ඌණතාවක් විය හැකියයි සාකච්ඡාවේදී කියනු ඇසුණි​. දෙස් විදෙස් දැනුම් සම්භාරයන් ඇතුව, අත්දැකීම් තුළින් ලබාගත් අවබෝධයක් සහිත, අධ්‍යාපන විශාරදයින් සිටියදීත් ඔවුන්ගෙන් ප්‍රයෝජනයක් නොගන්නේ, ඌණතාව උග්‍රවී වඳවීමේ ඉඩකඩ සැලසීමටයයි කියනු ඇසුණි​. ස්වාමීන් විසින් දෙන ලද හෝ වීසිකරන ලද​ දෙයක් කාබී හෝ නොකා නොබී සෑහීමට පත්වන අයුරින් වහල් හිමියන් විසින් ඔවුන් ගේ මොළ සෝදා හිස් කබල් පිරිසිදු කර ඇත​. මේ අනුව ඒ රමණීයවූ දේශය, ප්‍රවේණිදාසයින් ගේ මරණීය නිහඬතාවයේ කැප කිරීම හමුවේ  දියවී යාමේ ඉඩකඩ අතිවිශාලයයි අර විද්වතුන් අනාවැකි පලකරන විට මගේ සිතද​ සසලවී ගියාය​.


මල්ලිකා එම් බණ්ඩාර​

1.12. 2020


Sunday, 29 November 2020

පහන් සිළ​

 


පහන දැල්විණි සිළුව ළෙලදුණි 

රැඳුනු ගණදුර දුරලනා

​​වියරු සයුරෙන් එතෙර වෙන්නට 

පාරමී දම් ස​පූරනා


බලන් ඇස දිසි පහන මඟ හැර​

​සිළුව ​දකිනුව නෙතු පුරා

යොමන් විනිවිද තිමිර පට සිඳ

බිඳැර නොබිඳුණ කඩතුරා


නිවී යන්නට නොදී තිරපට​

තෙලින් පුරවාපන්න​ පහනට​

ලිහා ගන්නා තුරු රැහැන් පට​

අවදියෙන් හිඳපන්න හැමවිට​


මල්ලිකා එම් බණ්ඩාර​

20.10. 2020


Thursday, 26 November 2020

​ආශිර්වාද​

 

තනාදී දස මසක් තිස්සේ 

නුඹට මා කුස සිරියහන කොට​

හොවා ළය මත​ සිඹ ගතිමි මුව​

වැඩියදා නුඹ මගේ දෝතට​


මුමුණලා සවණට හෙමින්

තෙමා දෙතොලත අම බිඳෙන්

වර පටක්සේ බැඳුනි මා හිත ​

ලිහන්නට බැරි සේ තදින් 


ගෙවා දහසින් බැඳි පියළි සොඳ

​තක්සලාවෙන් දෙවා ණැන මිණ​

කියා දී හොඳ නරක යහගුණ​

ඉහිළුවෙමි ජීවයක බරපැණ


කිරෙන් පැණියෙන් පිරුණ දේසෙක​

නවාතැන් පොළ​ හදා ගන්නට​

රැක බලා ඇස් පියෙහි දවටා

කැප කළෙමි දිනු බිමද දිවිවැට​


සවිය දුනි  කරදඬු වැඩෙන්නට​ 

ජවය දුනි  අත් හැඳි  සළන්නට 

ඉතින් සක්වල ගලට ඉහළින්

පියාඹාපන් මට පෙනෙන්නට​  


නුඹට අම්මා වුණද​ මා පුත

​තඹ දොයිත්තක් නැතත් කම් නැත ​

කතත් නොකතත් නුඹෙන් ඉඳහිට​ 

වහී කිරි පැණි  නුඹේ මැදුරට!​


මල්ලිකා එම් බණ්ඩාර

17. 10. 2020


Wednesday, 25 November 2020

පැල තනිවෙලා



පුතුගෙ සුහුඹුල් සුවඳ වියැකී

නිහඬ බව රජවී විහින් 

කුරවි කූජන නෑ ඇසෙන්නේ

සැඟවෙලා කොහෙදෝ ගිහින්


මියුරු හස රැල් රැඳුන අහුමුලු

අඳුරු සළු පෙරවා සිහින්

පුරුදු නිවහන පාළු වී ඇත​ ​

බිරින්ඳෑ දබරින් ගිහින්


වචන එහෙ මෙහෙ වීසි වෙන්නැති

මියුලැසී නුඹෙ හිත රිදෙන්නැති

කේන්තිය මගේ හිඳී යනතුරු 

නිවුණ නුඹ ඉවසුවානම් ඇති

 

පුංචි පුතු ඇකයේ හොවාගෙන 

මහ ගෙදර අගු කොනේ ඉඳගෙන 

හූල්ලන්නට එපා රන්කඳ​

ගොම්මනට පෙර වරෙන් ගෙපැලට​ ​


මල්ලිකා එම් බණ්ඩාර

25. 11. 2020








Tuesday, 24 November 2020

අබිනික්මන්



බැන්ද සුළඟිළි සිහින් හුපට​

කුරිරුවී යදමක්ව​  මෙතරම් 

අපාගතවන  බව නොදත්තෙමි 

පලය වී ප්‍රේමයේ මනරම්


එපාවන තුරු බැඳුන කුලගෙය​

සිහිනයක්වී රැය පුරාවට​

සපා කෑවේ මගේ හදවත​

කීතු කීතුව ඉරා යන්නට​


මැකී අඩසඳ අඳුරු රෑ මැද​

වැළඳ ගෙන ජීවිතය ළමැදට​

රැඳෙමි  රාහුල කුමරු හින්දා

හොවා මියැදුන මතක පොදි මැද​


සෙනෙහසම යෙහෙකැයි පැතූ මුත්

සොයා ආවා නොවෙයි රජ සැප 

රැහැට එරෙහිව පලා ආයෙන් ​

කෙලෙස අබිනික්මන් කරන්නද?


භද්‍ර යෞවනයේ පිරූ පෙම් 

ක්‍ෂුද්‍ර වීනම් පාරමී දම් 

භද්ද කච්චායනා වෙන්නට​  

ඉඳ්‍රඛීලය සේ හිඳින්නම්!


මල්ලිකා එම් බණ්ඩාර​

11.11.2020


Monday, 9 November 2020

මතක රැහැන​



බැබිල මල් හිනාවෙන කුඹුක් වැටියේ හෙවන​

මිදෙල් මල් වියන යට හෙමින් පියමං කරන​

නුඹෙ ඇඟිළි අග වෙළී ඇවිද ගෙන ගිය ගමන​

හිඳී සිතුවම් පලකයක් වගේ බොඳ නොවෙන 


අම්මා මෙලොව අතහැර ගියදා සේම​

සිහිවෙයි හිටිය දාටත් වැඩියෙන් තාම​

බිම ඇද වැටී නැඟිටින්නට බැරුවාම​

නුඹෙ මුදු වදන ඇති 'නැඟිටින්' කීවාම 


වින කළ උගුල් ඇටවූ උන් දුටුවාම 

තාමත් බිය දැනේ නුඹ ළඟ නැතුවාම​

රහසක් සඟවන්න ළිඳකට දැමු සේම​

නුඹ මෑතක නොමැති කම දැනුණා බෝම​


දිව බොජුනක මිහිරදී සැතපූ මාව 

නෙක රස නහර පිනවා දිවගෙහි ගෑව

රස මසවුලක සුවඳක් සුළඟට යාව 

තාමත් හිදී නුඹෙ මුලුතැන් ගෙයි  ගාව​

මතකය  සඳුන් තුර සේ නව​ දළු ලෑම

​සෙනෙහස වියෝවක  අතු අග පීදීම​

​චිතකය වගේ ගිනි දැල් හිත වෙළුනාම

සිත කය නොමැති අවකාසෙක මම තාම​


මල්ලිකා එම් බණ්ඩාර​


7.02. 2020



කැදැල්ල

පියාපත් හැඳි අතර  

උණුහුමට ගුලිවෙලා

හිටි බවට හෝඩුවාවක් 

ඉතුරුකර​ පාළු කැදැල්ලේ 

කෙළිකවට සිනා හඬ​

ඔලොඟුවේ දමාගෙන​

දුරු ඈත ඉසව්වක​

පියාඹා ගිහිල්ලා


මතකයේ පෙකණිවැල

පැටලිලා ළයමඬළ  

හීනි සැතකින් සහින

නියාවෙන් රිදුම් දෙයි


පියාපත් සැළෙන 

වාරයක් පාසා තොපේ

වියපත් ඇතුළු ගැබ​

දැදුරු දෙනවා අපේ


දිනක ඉඳහිටක හෝ

ගොඩවැදී යනු ඇතයි

බලාහිටියා හිතේ 

දෙගිඩියාවෙන් වගේ

කාලයේ පණිවුඩය 

ඇහිඳගත් වෙලාවේ

නොඑනබව දැනගතිමු

ඉරබහින සැඳෑවේ


මල්ලිකා එම් බණ්ඩාර​

8. 11. 2020


  

 




Sunday, 1 November 2020

වෙල්යායේ නිමිති කියන්නෝ



අළුත් ඇඳුම් ඇඟලාගෙන​

දුරු රටකට පියාසළන​ ​

ඔලෙය්‍යනේ එන කන්නෙත්

අපේ අහට ඇවිත් යන්න​


අහස් ගැබේ උඩුමළුවෙන්

පහල ඉස්සව්වට ඇවිදින්

කුඹුරු යාය පේ කරනා

ගොයි රාළට​ අඬ ගහනා

වැහි ඇල්ලක් කඩා වැටෙන​

පේන කියන තුරුතයිනේ

වැහි කළුවක් අරන් එන්න

මන්දාරම් ළිහිණියනේ


​​වස්සානය දොරකඩ ළඟ

​උදනැක්කේ පියා සලන

ඉර අවරට හැරෙන වෙලේ 

​බත් කූරන් කරක් ගහන


පුරන් කොටන අස්සද්දන

දින සපිරෙන​ නැකත කියන​

ගොන්කවඩින් කෑමොර දෙන 

කරච්චලේ ගමට දෙන්න​


රබ්බඩයා වියට බඳින​

සුම්ඹරයෙන් පවන් සලන​

කල වකවානුව ඇවිදින්

වක්කඩ බැඳ නියර සහින​


ඉහල අහස වට කරගෙන 

මෝසම් වැහිකළු අරගෙන

වන්දනාව ඉවර වෙලා

යහතින් ගමරට දකින්න

​නිමිති අරන් වෙල්යායට  

වැහිළිහිණියො වඩම්මන්න​



මල්ලිකා එම් බණ්ඩාර​


1.11. 2020


Thursday, 29 October 2020

වරපට​

 

ජීවිතය යනු සුසුදු නෙළුමකි

දනන්​ නෙතු අග සිනා කැන්දන   

ලොවක් නළවා පරව යන මුත්  

පිපී හිනහෙන නෙතට රසඳුන 

සිහිල් පවනේ මතක​ රන්දන​

සුවඳ දෙන මනකල්


සොයන මුවරද බමර බිඟු රොද​

නිබඳ ලොබ බැඳ හඹා යන සඳ 

මුකුලිතව යන සැඳෑ යාමෙක​

සුවඳ මතකය​ ඉතිරිවනු ඇත ​ ​


පියාපත් හැඳි සලා ඉගිලෙන මෙරුන් රෑනක් දවා අළුවන නිමක් නැති සිත ඉපිද මිය යන

නිවී දැල්වෙන යළි නිවීයන

නුරාවේ ගිනිදැල් 


නොතිත් ආශා දැලෙහි දැවටී

නිතොර සරණා සසර අරණේ

ජීවිතය යනු අරුමයක්මය​

මුවන් සේ වර පටින් බැඳෙනා


මල්ලිකා එම් බණ්ඩාර​ 


20. 10. 2020


Wednesday, 28 October 2020

දෙවිඳුන් සොයා

 


පුරා ගම් බිම් දනව් පීරා

සරා ගස් ගල් කඳු සිඛර බද​

වැඩ​ හිඳින වග කී ඉසව්වක​

අසපු කුටියක ​නෙළූ පිළිමෙක  

සොයා ආවෙමි නිමාවක් නැති 

වන්දනා ගමනේ...


ගඟක පව් මළ දොවා හරවන

පුද බිමේ මල් පහන් දල්වන 

රුක්ඛ මූලෙක බවුන් වඩනා

ඔබේ නිකැළැල් වත දකින්නට​

නිබඳ නෙත රැඳුනේ


​නොහැර දොරගුළු මගේ සිත් ලෙන

නොදැන ඔබ මා තුළ හිඳින වග

රැඳී සිටියෙමි ද්වාර අබියස

සමිඳුනේ මා දිගු කලක සිට​

අවිදු අඳුරට එළිබිඳක්සේ

සසර සයුරට පාරුවක් සේ 

එතෙර වෙන්නට ඝෝර රළපතරින් 

මඟ කියා දුන් මහා කරුණාවෙන්

කිමද සමිඳුනි මේ තරම් දුර මනෝමයවූ කිඹුල්වත් පුර ?


පහන් තරුවක් සේ නිලම්බර උදාවී බෙත්ලෙහෙම් ගම් දොර ප්‍රේමයේ සුබ අස්න කියවූ ස්වාමිදරුවූ ජේසුනේ

වඩිනු මැන නිදුකානනේ


දෙව් මැඳුර වැද​​​​ පුද පඬුරු ගෙන

දෙනෙත් අඳ අප සිපිරිගෙයි ලන

මුසා තෙපලන ඇදුරු කැලගෙන්

මුදාගන්නට කාලයයි

 මල්ලිකා එම් බණ්ඩාර​

28. 10. 2020



Tuesday, 27 October 2020

මතක රැහැන​


බැබිල මල් හිනාවෙන කුඹුක් වැටියේ හෙවන​

මිදෙල් මල් වියන යට හෙමින් පියමං කරන​

නුඹෙ ඇඟිළි අග වෙළී ඇවිද ගෙන ගිය ගමන​

හිඳී සිතුවම් පලකයක් වගේ බොඳ නොවෙන


අම්මා මෙලොව අතහැර ගියදා සේම​

සිහිවෙයි හිටිය දාටත් වැඩියෙන් තාම​

බිම ඇද වැටී නැඟිටින්නට බැරුවාම​

නුඹෙ මුදු වදන ඇති 'නැඟිටින්' කීවාම 


වින කළ උගුල් ඇටවූ උන් දුටුවාම 

තාමත් බිය දැනේ නුඹ ළඟ නැතුවාම​

රහසක් සඟවන්න ළිඳකට දැමු සේම​

නුඹ මෑතක නොමැති කම දැනුණා බෝම​


දිව බොජුනක මිහිරදී සැතපූ මාව 

නෙක රස නහර පිනවා දිවගෙහි ගෑව

රස මසවුලක සුවඳක් සුළඟට යාව 

තාමත් හිදී නුඹෙ මුලුතැන් ගෙයි  ගාව​

මතකය  සඳුන් තුර සේ නව​ දළු ලෑම

​සෙනෙහස වියෝවක  අතු අග පීදීම​

​චිතකය වගේ ගිනි දැල් හිත වෙළුනාම

සිත කය නොමැති අවකාසෙක මම තාම​


මල්ලිකා එම් බණ්ඩාර​


7.02. 2020


Wednesday, 21 October 2020

සන්නාලියගේ තීන්දුව​



අතේ පිච්චිය නැතුව​

ඇවිල්ලා සෙයිලමට​

මැෂින් කටු පෑගුවේ

අපේ නැති බැරිකමට


තොග ගණන් හීන කඳු

නැඟී අහසක් උසට

අටෝරාවක් පැතුම්

තිබුණි අපටත් එමට​​


දහසින් බැඳි පියළි

එක්ක ගොඩ මඩ යාව​

නැතිකමට​ ​දිවා රෑ

දුෂ්කර ක්‍රියාවෙන්

පැක්ටරියෙ ජීවිතය 

විකුණුනේ සිල්ලරට​


ඇමති රජ දරුවන්ට​

යස ඉසුරු ගලනවා ​

වැහි අකුණු වසංගත 

අපෙ හිසට එළනවා


කොරෝනා රැල්ල පෑගිලා

ඇඟලුම් හලට​

කැකිල්ලේ තීන්දුව​   

ඇවිත් ගේ දොරකඩට​


‘රිසවේසමේ’ කොනක 

ලහක වපසරිය ඇති 

බූදලේ අටෝගත්

අපේ ටකරන් මැදුර 

රාජසන්තක වෙන්ට

'ඇස්කිරිසි' ගහනදා


මමත් ‘අර ඇතින්නක්’ කළහාම

​මගේ කිරිදරු කැළත 

ගෙනැල්ලා දානාවා සහතිකයි 

ආරාම දොරකඩට​. 


මල්ලිකා එම් බණ්ඩාර​

21. 10. 2020







Friday, 16 October 2020

අවලාද

 

ගිරා පැටික්කී ...

මී බිඳු සවණ පුරන්නී 

දැක්ක​ දා ඉඳන් 

මගෙ හිත ආල වඩන්නී


තුන් දොහක් ඇවිත්

පිල මත හීල්ලුවා මං

තුන්හිතින් නොපැතු ලෙස

නුඹ වෙනස් වෙලා දැං 


බකුසු හ​ඬ මිසක් නැත 

මිණි කිකිණි සැළන්නේ

මගේ දෑස් මඟ ඇර ඇයි

ඉවත බලන්නේ 


වළාපෙළක් ඇවිදින්

මඟ හරස් වුණාදෝ 

මුලාවෙලා ළා සඳවත  

මුවා වුණාදෝ


තුන්‍ යමේ කිම්ද නෙතු යුග 

නින්ද වරන්නේ

මගේ හිතත් මටමයි  

අවලාද නඟන්නේ 


 මල්ලිකා එම් බණ්ඩාර​


16.10.2020

Tuesday, 13 October 2020

සැබෑ ප්‍රේමය​!

 

ඉර ගිළීලා ඈත සයුරේ

​තඹ දියර ඉස සැඳෑ අහසේ

සඳත් කඳු මුදුනින් එබෙන්නට

​පමා වෙන්නේ ඇයි?

 

බිඳෙන රළ පෙළ වෙරළ  වැළපෙයි ​  

හුදකලාවෙන් සිත සසළ වෙයි 

අඳුර එයි දසතින් ගලා

සිහින් ඉකිබිඳුමක් වෙලා  

 

ඇසුනු  පසතුරු  නද​ සරින් 

සුබ පැතුම් වියැකී ගිහින්

බිඳී ගිය මල් තොරණ පාමුල​

මා පමණි හැම​ සමු අරන්!

 

වෙළී ගොම්මන් පාළුවේ 

ගිළී මියැදෙන්නට කලින්

සබඳ ඉරබට තරුව වාගේ

පිපියන්  මේකුළු දැලින්

 

මල්ලිකා එම් බණ්ඩාර​

13. 10. 2020