Wednesday, 4 March 2020

මගේ සඳ නුඹ



පියමං කරන්නට වලගොඩැලි අතරේ
විසකුරු සපුන් පිරි රුදුරු වන වදුලේ
මං පෙතක් නොවැටුණ​ 
කඳු සිඛර මුදුනේ
ඉණිමං තන්නට කියාදුන් වන කඳුරේ

ගං හෝ මැදදි නොබියව හිඳින්නට 
පැකිල නොවැටෙන පිණිස 
අත්වැල ගෙතූ අහඹුවෙන් ගං ඉවුරේ
සිහිනයේ ඉම නොදැන ළතැවුණ
මෝදුවී එන පෙමට රහසින් 
පොර බදන අඳුරේ
මම අල්තිනායී,
නුඹ​ කොහෙද කියපන්
රැඳුන හද මැඳුරේ

අස්වැසිල්ලක් නොලැබ
හඬන හද ඉල්ලා
හෙට නැඟෙන හිරු  දකින
පැතුම් නෙතු දල්ලා
පිපෙන්නට විලිදරන කැකුළක්
අතු ඉති කඩා බිඳ දමා සැහැසිව,
ජීවිතය මේයැයි කියාදුන් ​

නුඹේ සිහිනය දිනා ගනු වස්
මගේ සිහිනයෙ මුල පුරා දුන් 
ඈත දවසක ගොළුව සැඟවුන  
මෑත අහසේ හිඳ සිනාසෙන
ඉතින්වත් මට කියාපන්
දුයිෂෙන්,
නුඹද  අයිලයේ - 
පායාපු සරද සඳ​? 

මල්ලිකා එම් බණ්ඩාර
4.03.2020







No comments:

Post a Comment