Tuesday, 10 March 2020

රඟ මඬළ​

හිනා මල් යායක්ම ඉස් මුදුන පුරාවට 
පීදෙන්න පෙරුම් පිරුවා පමණි
මැළවුණා ​කළල අවධියේ දිම
ඉස්කෝලෙ නිවාඩුව ගෙවෙද්දි
හිරු මැකී සඳ නඟින වෙලාවේ 

මුණුබුරන් පිරිවරා රජ පෙරහැරක් විලස
පොරොන්දුව තිබුණ මුත් මහ ගෙදර එන දවස
දින සති මාස අවුරුදු වලට පෙරළිලා
නුඹලාගෙ මතකයෙන් ගිළිහුණා වෙන්න ඇති
මගෙ හිතේ කිරුළු පැළඳෙනදවස
 
මුණුබුරන් සමඟ හිඳ​ පෙම් කෙළින
බොළඳ බස් කෙමෙන් ඇත ඉගිළිලා
ළමාවිය ඉකුත් විණි නොදැනීම
ළපැටි ඉස්ගෙඩි වලට පොත පතේ බර දරා
වියට බඳිනා දවස් එළඹිලා

දියකෙළි උයන්කෙළි ඉතිහාස පොතේ ඇති
රජ කුමර කුමරියන් පෙරහරින් යනෙන හැටි
රජ කතා ගැමි කතා අන්දරේලගෙ කතා
මුණුබුරන් හට කියන අපූරුවගොතගොතා
බලා හිටිවනම මගෙ මතකයෙන් ගිළිහිලා

රඟ මඬළ අඳුරුවී තිරය පහතට වැටී
වේදිකාවෙන් බහින දිනය දැන් එළඹිලා
තාරකා මල් පිපුණ අනන්තයෙ මුසුවෙලා
සුළඟක්ව නික්ම යන දිනය ඇත මඟ බලා

උනා හැඳි සළු පිළී රඟමඬළ කෙලවරක
ගෙනා දේකුත් නැතුව හිස් අතින් ආ සේම​
තණ' පිනි බුබුලක්ව බබලනා
ඉතින් ආපහු යන්න අවසරයි 


මල්ලිකා එම් බණ්ඩාර

10. 03. 2020

No comments:

Post a Comment