Sunday, 31 January 2021

මලක පැතුම​

 


හීන් සැරෙන් දෑස් අරින​

නිල් මානෙල් පෙති මත්තේ

දොඹ සූරන වැස්ස වැටී 

රිදුම් දෙවන උදැනැක්කේ 


විලේ හිඳින මැඩියන් ගේ

මැසිවිලි ගෙරවිලි  මැද්දේ

හිඳින්නවත්​ ඉඩක් නැද්ද​ 

ළපටි නටුව ඉස්මත්තේ


යකුළු පහර වැද​ සුළඟේ 

බිඳී  සිහින් මුදු කරටිය

ගැලී පිළී ගඳ ​කළලේ  

කිඳී හිඳින්නේ කෙලෙසද​


කකියන ලෝහිත ලේ වැල්

රැඳී  මිදී ගිය රොන් මඩ​

මුසු වෙන හැටි බලා හිඳින

නොසන්සිඳෙන රළ පෙළ මැඩ​


සිඳින මඩින විට නිදියන

කටු අතරින් එබීබලන

නිදිකුම්බා මලක් වගේ

පිපෙන්න මට ඉඩක් දෙන්න​


මල්ලිකා එම් බණ්ඩාර​

13. 01. 2021 


Thursday, 28 January 2021

පිංපොං



ඒරොප්පේ තෑගි බෝග රජ මැදුරට එව නියා

ගෙරි හංකඩ එළාගන්න පයින්ඩයක් අරන් ගියා

කොළොම් තොටට කරපු හරිය හිතුවත් ඉවරයයි කියා

එකක් දෙකක් නෙවෙයි ඔන්න වරිග තුනක් ඇවිත් ගියා


සයුරු තටය කළඹාගෙන  හම්බන්තොට බලා ආව

සේද සළුව පෙරවාගෙන සුබ අස්නක් ඇතැයි කීව  

රුවල් බිඳුන නැවක් වගේ  කළපුවෙ නැංගුරම් ලෑව

කොළොම් තොටෙන් ඇරැඹුණාය නැවත​ මකර වන්දනාව


රාජ රාජ මහ මැතිඳුන් ලොබවී ගෙරිකුණු බුදින්ට  

වහවැටුණා කපුටු රෑන සේ නොරටුන් ගේ ධනයට​

සිහසුනටම පොරබදනා කොඳු නාරටි නැති රැහැකට​

මිලේනියම් එකක්‍ යාවි මකර කටෙන් ගැලවෙන්නට​  


බද්දට දී පරවේණිය ඇස්සට දත නියවගන්න​  

සිද්ධවේද හත් පරපුරකටම වහල් කම් කරන්න​

කිරුළ උරුම කර​ සොර මුළකට සනුහරයම නසන්න 

බැද්දට යන්නට සිදුවෙයි කුවේණියට වූ ලෙසින්න​


පිරිත් නූල් ගැටගසාන​ සොර දෙටුවන් පිරිවරාන    ​

කුණුකොල්ලෙට රට විකුණති සුදු සළු පිරුවට දරාන​

කෙසරිඳුවන් සඟ රජවරු වැජඹුණ මේ බිම පුරාණ​

රැකගන්නට අවදිවෙන්න​ අප මහ නා යතිවරාණ


පාඩම් තිබුණත් කොච්චර ඉතිහාසෙන් ඉගෙන ගන්න

ලාඩම් ගහනවා මිසක් ගොන් රැළකට මක් කොරන්න?​

ආඩම්බර තම්බපණ්ණි නම කටුගාලා දමන්න​

"පිංපොං" වැනි නමක් අපේ දේසෙට හොඳදැයි සිතන්න​! ​


මල්ලිකා එම් බණ්ඩාර​

27.01.2021


Saturday, 23 January 2021

The Moonlight


I’ve been here an immeasurable time

Gazing at the sky in owe

There is a hanging moon in it’s half

With a smile in the western blue sky 


the gentle moonlight has 

showered all over the bushes

So all I could do is ensure the silence

Letting the memories to pour

Flowing through my mind 


A drop by drop leaking through the sieve

The past i live and leave

Coming along the memory lane

Walk and talk  within the silence pave 


I’m just a watcher not the performer

Only i can get the bits and pieces

Or dusty childhood memories

that covered by the time


Our bodies are repeat 

the rhythm of the moon

It changes the ocean 

and it’s tides and the waves 

Leaving the marks of our paws

on the sands we walk along 


There are so many signs

Collected and taste the bitter and sweet 

No sorrow no laugh

Because they are the lessons


Life teaches us meanings

It taught me the things I can lean

And It taught me that we can change

Even when it seems impossible



Mallika M Bandara

22. 01. 2021




නැකත් රාළ



ගම් තුලාන මුළුවක්කං ගාටලා ගෙයින් ගේකට​

පය ගෙවුණේ නැති වුණාට 

උත්තමයින් ගේ මරණෙට මඟුලට​

බෙර පද ගැහුවා - දෑත ගෙවෙන්නට​

ඒ බෙර පද වැයූ දෑත - වනන්න බෑ ඈත මෑත​


වියපත් වෙලා අත පය නැති කොට වාරූ

එක්තැන් වුණා පැදුරේ ගැලවුණ තීරූ

වර පට ලිහී නොවැයෙන පද වැල් පීරූ

ගේ මුල්ලට වෙලා මළ බැඳි පන්තේරූ


උඩට උඩු වියන්, පිරුවට එළන්නට​

පයට පාවාඩ අතුරා වඩින්නට​

බත බුලතකට මිට මෙළවූ පඬුරකට​

පරවේණිය වෙලා ඉණ කඩ පමණකට​

නැකැත්තා හිඳී පිං පොත තුරුළු කොට​


මල්ලිකා එම් බණ්ඩාර​

25.04. 2009


හිර හිදලං


රාජකාරි අහවර කොට 

යන්න කල් ඇවිත් ගමරට 

දෙන්න මට බහක් 

වන්නියැලැත්තගෙ දෝණී


හත් වසක් කඹුට බැලමෙහෙ 

කළේ නැතිවුණත් මහ ගෙට

බැන්ද පෙම ​උහයි

හඳුරුක් කන්දටත් එහා


නවාතැන් පොළෙන් පිටමං 

වෙන්න කල් ඇවිත් අද හෙට​

රැහේ උන් සැවොම එකතුව​

එකාවන්ව කතිකා කොට​

බහක් දෙන්න කීවා 

නුඹ සහේ ගන්න  මට​ 


සීත වන්නියෙන් පිටවී 

සිදාදියෙන් හිර ගන්නට​

මගේ උන් ඉඳියි පෙර 

මඟ බලා පේවෙලා

මේ වගක් වැටී උන් කණ

අදින්නට එතැයි  දුනු දිය

හීන දකිනවා බියකරු

නින්ද නොමැති රෑ මැදියම


උත්තරීතරයි  මගෙ පෙම 

සත්තකයි නුඹට ඉර හඳ​  

ව​ගේ කියන්නම් තිර කොට ​

දියන් මට බහක් 

නුඹ ළඟ​ හිඳින්න​ ළඳුනේ 


මල්ලිකා එම්. බණ් ඩාර​

31.03. 2009


Sunday, 17 January 2021

දුරු රටක ගිහින්


මුතු රැහැන් වැටේ දොර කඩින් නුඹේ

නද දෙමින් සිහින් මද පවනැල්ලේ

සිළි -සිළිං හඬින් මිණි සුරල් වැයේ

නුඹෙ යහන් ගැබින් හැම අරුණැල්ලේ


මගෙ පුංචි කුමාරී වියපත්වී ​

දුරු රටක ගිහින් තනියෙන්

මගෙ හිතට දුකයි වාවන්නට බෑ

දුරස් වෙලා ඇත ගව් ගණනින්


කී කතා සිනා රැල් වතේ ඇඳුන​

සුවහසක් සිතුම් නොකියා වදනින්

මගෙ නෙතත් දනී මගෙ හිතත් දනී

ගොළු වෙලා හිඳින මුත් දුර ඈතින්


ඇස ගැටෙන ඉමේ සිහිවටන පිරී ඇත​

සුවඳ දෙවන මුළු ගෙදර පුරා

ගිළිහුණා වද්ද​ නිල් මැණික මගෙන් 

සඟවාන හිටිය මෙතුවක් දෝතින්


මල්ලිකා එම් බණ්ඩාර -Monday 28 February 2011



මිනිසත් කම


උඳු පියළිය පත් තැළේවි 

හෙමින් අඩිය තියා යන්න ​

ගහට කොළට තණ නිල්ලට 

ඔබෙ මුදු බව හැඳින ගන්න​


යම් දවසක  මැකී යාවි 

පිය​වර​  සන් මිහිමඬළේ

සුළඟට අමතක නොවේවි 

ඔබේ සුවඳ හද කමලේ


විදුලි අකුණු ගිනි දැල්මෙන් 

නොදල්වන්න නෙතු සඟලේ

විහඟ බමර පෙම දොඩන්න 

ගී සර සේ  හද ගැඹරේ


ගලන දොලක් සේ හිඳින්න​

දිය දෝතක් බෙදා දෙන්න​

ගිමනට සෙවනක් සදන්න​

මහමඟ තුරු හිසක් වෙන්න​


සුළඟක් සේ හමා යන්න​

ගත සිත සරතැස නිවන්න​

දෙනෝ දහක් පසුකර ගොස් 

කුණාටුක් වී නොඑන්න​. 


මල්ලිකා එම් බණ්ඩාර​


17. 01. 2021


නාට්ටාමිගේ කවිය​


දවස පුරා මහ වීදියෙ ගව් ගණනක් දුවලා  

මද්දහනේ අව් කට්ටේ මුට්ටෙට කර ගහලා

උණු දාඩිය මුගුරු නටන​ පැන් තළියේ බැහැලා

හෙට්ටු කළේ තුට්ටුවකට​ දරු දුක ළෙහි උහුලා 


කුසට නොයන රස මසවුළු සුවඳට ඉව කරලා

හෝටලයේ පයිප්පයෙන් දෝතට දිය ​ඇරලා

තොල තෙමුවා කාසි පණම් ඉණතුර සඟවාලා

ඉරහඳ අව් වැහි නොතකා කල්‍ යල් ගත වීලා


මා නුදුටුව ලොව දකින්න නුඹලගෙ ඇස් ඇරලා 

වෙහෙසුන ගත මිහි ගැබ තුළ සතපන දින යෙදිලා

ඉණිමං හැදුවේ උර මත මහමෙර බර උහුලා

දරු පැටවුණි මහගිරිදඹ​ නැඟපල්ලා උඹලා


සිදාදියේ අගු පිල් වල කිලිකුණු අතගාලා කුණු කූඩය ඉණේ රුවා පණමට නියවාලා හැමදාමත් පිනට ලැබුණ ඇඳිවත දවටාලා උඹ විඳිනා දුකට මගේ හිත අළුවෙයි දාලා


නාට්ටාමි ගෝණි පඩංගුව පිටමත එලලා  

යාප්පුවෙන් මහත්තැන්ට ලේ දහදිය පුදලා

සාප්පුවෙන් උඹට ගත්ත පට කම්බේ ඇඳලා

දළදාවට මල් තියපන් වල්ලියෙ, දුක කියලා 


සුදු පිරුවට ඇඳ කදිමට සිව්මහ දේවාලේ සමන් පිච්ච මල් දෝතක් පුදනා උඩුමාලේ සාන්තුවර පිහිට යදින සුරුවම පා මූලේ

බැතිමතුන්ව දැක යැදලා ගැනපන් ජපමාලේ


මල්ලිකා එම් බණ්ඩාර​


9. 01. 2021



දබරින් ඇවිත් ලොකු දෝණී...


දුනුකේ මලක් සේ සුරැකිව පිපුණාය​
සුවඳේ බැරුව මද සුළඟේ රැඳුණාය​
මීමැසි බමර කැළ දසතින් ඇදුනාය​
මලකට උරුමදේ නුඹටත් ලැබුණාය​

කිතුලේ මල මඳින්නට ආ ගිය ඇත්තෝ 
ඇතුළේ  මනාපෙන් ඉඟි බිඟි පා ගත්තෝ
පතුළේ වැලි පිලට මායිම් කර නැත්තෝ
රන් තැඹිළියට වහ වැටිලා පල ගත්තෝ 

මල් මද බිසව් සේ කරකාරය බැඳලා 
විල්ලුද පලස් මත යන්නට පේකරලා
කල් යල් බලා හිටියත් කුමරෙකු පතලා
උඹෙ ඉරණම බඹා මල් වැත්තේ කොටලා

දුම්බර කෙතේ රන් දෑකැති පීදෙන්නා
තුන්පත් රටාවෙන් පන්නම් වියවෙන්නා
දඬු වැල් බෑ පිරී පැණි වද මෝරන්නා
ගෙපැලේ කිරි කවඩි හසරැල් බේරෙන්නා

දරු පස් දෙනෙක් අරගෙන මගෙ ලොකු දෝණී

දබරින් ඇවිත්  මහ ගෙදරට පරවේණී

මොරදී හඬන කොට විලසින් උළලේනී

මගෙ ළය බිඳී වැටුණා කැබෙලිව හීනී 


මල්ලිකා එම් බණ්ඩාර


25. 11. 2020


දෝණිගෙ මඟුල දා…

 10.


දුන්න හින් දා හින්න වෙන්ටම​

දැක්කෙ නෑ උහුලන මඟක්

එකම දෝණිගෙ මඟුල දවසේ 

ඉන්නෙ කවුදැයි වෙන්නෙ මොකදැයි 

දැනුනෙ නෑ මා ගැන වගක්!

 

අඳුන් කුංකුම සඳුන් වත්සුනු

දියව ගලනා තුරු ගඟක්

කවුද ඇවිදින් ගියා කැන්ඳන්

සබාවට යනතුරු මඟක්

දවුල් ගැහුවා ඇතුළු ගැබ හිඳ​


අනේ මගෙ කෙලි පොඩ්ඩ 

දන් දී නිවන් යන්නට නෑ ඉඩක්

හිරේ දැම්මා වගේ දැනුනා

යාවජීවම සනුහරේ


කැපු ඉණි ටික ඇහිඳ ගත්තේ

නාඳුනන සෙනඟට මිසක්

දීග දෙන්නට දුවක් හැදුවේ

ඇයිද නෑ තේරෙන හැඩක්


මල්ලිකා එම් බණ්ඩාර


 26. 11. 2020


දුවට සුභ උපන් දිනක්!

 

මුතු පිණි සැලෙද්දී තුරු මත දුරුතු සඳේ

කෝකිල ගීත ලොව කලඑළි  කරන උදේ

අරුණළු සමඟ පීදෙන බකිණි මල වගේ

නුඹ වැඩියා සුවඳවත් කර ලොවම මගේ

 

රන් මිණි කිකිණි සලනා නව තනුවකට​

නින් නද දෙවන ගී මුමුණා අමුණකට​

රන්මය පහන් වැටවී  දිවි මං පෙතට

මං කැන්ඳන් ගියා නන්දන උයනකට

 

පවසට දිය දෝත මගෙ සරතැස නිවනා

වෙහෙසට මද පවන මුදු චාමර සලනා

සෙබළිය සදිසි පිළිමල් ඔද තෙද බිඳිනා

රැජිනක වුවත් නුඹ මගෙ බිළිඳිය නිතිනා

 

මල්ලිකා එම් බණ්ඩාර

16. 01. 2021​


Saturday, 9 January 2021

දෙවියන් ගේ නිවාඩුව​


ජීවිතය නම් කිමැයි

 නොදැන අඳවූ නෙතින්

මහමෙර උසට ගොඩකළ​ 

නොවිසඳුන ගැටළු 

දෙඋර මත හොවාගෙන​

ඇවිද ගෙන ඇවිද ගෙන​

බැරිම තැන අතාරිමු 

පන්සලේ බෝ රුකේ

පල්ලියේ ගව ලෙනේ

කෝවිලේ නුග බෙනේ.


එල්ලලා කොඩිවැල්

දල්ලලා සුවඳ දුම්, තෙල්

දොවා ගල් රුක්මුල්

නන් පැහැ හුයෙන් සැදි 

ඬුරු ගැටලා ජප නූල් බැඳ

යාදිනි සැහැලි ​මැද​ සජ්ජායනා වෙන්හිඳ​

කළ කන්නලව් හැම​

නිහඬව සවන්දී සිට 

ඉස්පාසුවක් නැතුව 

වෙහෙසුන දෙවියන්ට

නව වසරෙදීවත්

දෙමුද ‘holiday’ එකක් නිකමට?

 මල්ලිකා එම් බණ්ඩාර​

31.12. 2020

නත්තලේ සිතිවිලි

අසල් වැසි ගෙහිමියන් ඩිනොමිනේෂන් දෙකක

එක රැහක වුණත් නෑ පයුරු පාසානමක

අතරමැදි අපි ඉන්ටර්ෆේත් මැදි පිළිවෙතක​

‘ගුඩ් සැමරිටන්’ වෙන්ට සැකයි මේ වගෙ තැනක​


දින හයේ වැඩ මුරයයෙ විරාමෙට ගෙදර ගිය​

මැවුම්කරු නතර කළ තැන ඉඳන් පටන් ගෙන​

ආදම් ගෙ පරපුරට කැඩපතකි මැවිල්ලම 

විපරීත කර හමාරයි මැවූ සියල්ලම​


මිනිස්කම කියාදෙන්නට ආව මෙසායා 

සනුහරේ දඩයමක්වෙලා ඇණ ගැසූ කොට​

මරියාගෙ ආත්මය යාඥාවේ තියා

මිනිස් වග ගැළී පිහිනති පාප සාගරේ


තැළෙන පෑගෙන දනට ප්‍රේමයෙන් දයාලූ

සාමයේ පණිවුඩය පැල්පතින් මුදාලූ

පාපයේ හිලව්වට ජීවිතය පුදාලූ

සමිඳ රන්මය නීති කුමට ඔබ ලියාලූ ? 


ඇවිද ගිය දිළින්ඳන් සමඟ මඟ මාවතේ

දෙව්පුතුගෙ පණිවිඩය පැහැර ගෙන හිතුමතේ

කිරුළු හොබවන නිරිඳු වතිකානු සිහසුනේ 

දුගී පැල්පත් දොරට වඩිනවානම් සොඳේ


මල්ලිකා එම් බණ්ඩාර​

25. 12. 2020