මල්ලිකා එම් බණ්ඩාර ලියන්නීය
පුංචි අක්කා ගේ
විභාග ප්‍රතිපල නිකුත්වූ දවස මට අද මෙන් මතකය. ඒ දවස අදත් මා දෙනෙත් කඳුළින්
පුරවන්නට සමත් අයුරින් මගේ මතකයෙහි විත්‍රණයවී තිබේ. එය අමතක කරන්නට කෙතෙක් නම්
අවශ්‍ය වුවද, වෙහෙසුනද වඩවඩාත් පැහැදිළිව ශෛලමය පුවරුවක කළ කැටයමක් පරිද්දෙන් මගේ මතක තලාවේ නොමැකී
පවතියි. සැබවින්ම ඒ මතකය, සුඛනම්‍ය රේකාවන් ගෙන් නිර්මිත කලාත්මක නිමවුමක් ලෙස නොව, ගල් කටු පහරින් ලද තැළුම් වලින් පුපුරු ගසනු ලබන ලේ ධාරා ගලායන තුවාලයක් මෙන් වේදනාකර බව මට දැනෙයි. කඩතොළුවූත් ඉරිතළා
ගියාවූත් ඒ පසුබිම අතඟිලි තුඩින් පිරිමදින්නට නොහැකි, මතු පිටින් සුවපත්වුණ වණ කැළලක් මෙන් දැනුත් මට දැනෙයි. මගේ ඇතුලාන්තය අත් විඳින බරින් මිදෙන්නට මම නැවත නැවතත් ඒ සංවේදී අතීතය මිහිදන් කරන්නට වෑයම් කරමි. දශක ගණනාවකට පසු මේ
මොහොතේදීත්, නොයෙක් වර මවිසින් අත් දැක ඇති පරිදි දෙනෙතට රූරා ගලා විත් බොඳ වෙන
කඳුළු ඉබේ වියළී යන තෙක් මම ඔහේ බලාහිඳිමි.
මගේ මතකය පෙල ගැස්වී තිබෙන ආකාරයට, ලොකු අක්කා ඊළඟ සෙනසුරාදා තනිවම ටවුමට ගියා මට මතකය. ලොකු අක්කා post office යන බව කියා ගිහින් තිබුණේ අපේ ඉස්කෝලෙටය.ලොකු අක්කාට
අවශ්‍ය වූයේ පුංචි අක්කාගේ විභාග ප්‍රතිපල කලින්ම දැන ගෙන එන්නටය. පුංචි අක්කාද
අමිතක්කා සමඟ ඉස්කෝලෙට ගියාය. ඔවුන් ආපසු එන්නට
කලින් ලොකු අක්කා ගෙදර ආවාය. ඇය ගෙදර ආවේ තරහින් පිපිරෙන්මින් බුම්මාගත්වනමය. අක්කා ගේ වෙනසට හේතුව ඉව අල්ලමින් නංගීත් මමත් ඇය පෙනෙන මානයෙන් සිටින්නට සැලකිලිමත් වීමු. ඇය ගෙදර ආ විගස
පුංචි අක්කා විභාගය අසමත් බව අම්මාගේ කණේ තැබුවාය. ඒ මදිවට පුංචි අක්කාගේ අඩුපාඩු
දුර්වලකම් හොය හොයා අම්මාට මතක් කර දුන්නාය. ලොකු අක්කාගේ උසි ගැන්වීම් නිසා
අම්මාද මහත්සේ උදහස් වූවාය.
"ආදෙන් අද උන්දෑ. මං හොඳ පාඩමක් උගන්නම්කො".
අම්මා දුම්මල වරම
අතට ගත් කපුවාගේ භූමිකාවට අවතීර්ණ වූවාය.
අක්කාට හොඳ පාඩමක්
උගන්වන්නට පාරම්බාන අම්මා, අක්කා ගේ යෙහෙළිය වන අමිතක්කාට ද දෙස් දෙවොල් තැබුවාය.
"අපෙ උන් වගේද, මෙතැනින්ම කාලා මෙතනම පොත පත කියවපු අමිතා ඔය යස අගේට විභාගෙ පාස්.
මෙතන ඇවිත් අපේ එකිත් එක්ක කයිවාරු ගගහ ඉඳලා, ගෙදර ගිහින් පැල් බැඳගෙන පාඩම් කරන්ට ඇති.
ඒ වුණාට සළිල ගෙන් තමයි නොදන්න හැම දේම අහගත්තෙ..."
අම්මා තොර තෝන්චියක් නැතිව කියවන්නීය.
"ඒක ඉතින් අමිතක්කගෙ
වැරැද්දක් නෙවෙයිනෙ අම්මා. එයා අපෙ අක්කට වඩා දක්‍ෂයි. අම්මා දන්නෑ එයා
පොතක් එක සැරයක් කියෙව්වොත් ඒක හොඳට මතක තියෙනව".
"උඹ කට වහපන් අක්කුං දුව…මගෙ යකා අවුස්සන්නෙ නැතුව".
අම්මා රෞද්‍ර
බැල්මක් හෙලමින් මා නිහඬ කළාය.
"හොඳයි අද ගෙදර එයිනෙ කොයි වෙලාවෙ හරි.
අපුල්ලන්නං උන්දැට බීපු කිරි මතක් වෙනකං".
පුංචි අක්කාත්
අමිතක්කාත් දාවල් වෙනතුරුම ආපසු ආවේ නැත. අක්කලා පමා වෙනවානම් වඩාත් හොඳ යයි මම
සිතුවෙමි. ඒවන විට විභාගේ ෆේල් වුණ පුංචිඅක්කා ගැන තරහව නිවී අම්මා තුළ
අනුකම්පාවක්, මෘදු හිතක් පහළ වෙනු ඇතයි මම සිතුවෙමි.
කොයි එකටත් මඟට ගිහින්
අක්කලා එනවාදැයි බලන්නට මාත් නංගීත් අපේ වත්තේ කෙලවරට ගියෙමු. විභාගේ ගැන වගේ
වගක්වත් නැතුව පුංචි අක්කා, අමිතක්කා සමඟ සැහැල්ලුවෙන් හිනා වෙමින් එන හැටි නංගීත් මමත් දුරතියාම දැක්කෙමු.
නංගීත් මමත් සම්මට්ටීයා පඳුරු අතරේ සැඟවී ඔවුන් අප සිටි තැනට කිට්ටුවෙන තෙක් සිටියෙමු. අප සිටි තැනට ඔවුන් දෙදෙනා සමීප වෙත්ම, මම කුරුම්බා ඇට්ටියක් දමා ගැසුවෙමි.
අක්කලා දෙන්නාම හිටිවනම නතර වූහ. අප දුටුවනම පුංචි අක්කාගේ පුරුදු ආදරණීය හිනාවෙන්ම,
“මොකද ඔයාලා ඔය කැලේ
කරන්නෙ?" ඇසුවාය.
පුංචි අක්කා ගේ සෙනෙහෙබර හඬ වෙනදා වගේමය.
“මේ... පුංචි අක්කා, දැන්ම ගෙදර එන්ට
එපා. අම්මා ඔයා එනකං බලාගෙන ඉන්නෙ. ලොක්කි අම්මට දුම්මල ගහල තියෙන්නෙ
දැනටම".
මම කීවෙමි.
"ඉතින්! ඔන්නං බනියි අම්මා.
මං ලබන සැරේ ආයෙත් ලියනව".
අක්කාගේ අධිෂ්ඨාන පූර්වක හඬ ගැන මම හිත යටින්
ආඩම්බර වීමි. ඉන්පසු අපි දෙදෙන ගෙදරට දිවගියෙමු. අපි වත්ත කෙලවරේ සිට
එනු දුටු ලොකු අක්කා;
" ඔත්තු දෙන්ට ගියාදැ”යි ඇසුවාය.
අක්කලාට කලින් මිදුලට ළඟාවූ අප දෙදෙන මිදුල කෙලවරේ නතර වීමු. නංගිත්
මමත් එකිනෙකාගේ අත් පටලවාගෙන, තවත් මොහොතකින් සිදුවෙන්නට යන විපතින් පුංචි අක්කාව බේරා
ගන්නේ කොහොමද කියා හිතමින් හිටියෙමු.
අම්මා කඩුල්ල රැක ගෙන සිටියාය. අම්මාගේ ගිනිපුළිඟු පිටවෙන මුහුණ දුටු මනතින්ම
අමිතක්කා මොහොතක්වත් නොරැඳී ගුරු පාර දිගේ මඳ දුරක් ගොස් නතර වූවාය. පුංචි අක්කා
කඩුල්ලෙන් ඇතුළු වෙන විටම අම්මා බූවල්ලක් අතතිව ඉදිරියට ගියේ යක්‍ෂාරූඩවූ
ස්වරූපයෙනි. පුංචි අක්කා අම්මා ඉදිරියේ නතර වූවාය. අම්මා පරලවූ යකැදුරෙකු මෙන් අක්කාගේ පිටටත් කෙණ්ඩා වලටත් බූවල්ලෙන් තඩි බාගෙන තඩිබාගෙන ගියාය. ලොකු අක්කා
පුංචි අක්කාව බේරා ගැනීමට ඉදිරිපත් වූයේ නැත. මාත් නංගීත් අත්වැල් පටලාගෙනම අම්මා
අසලට ගාටන්නට වූවිට, අම්මා බූවල්ල උරුක් කර අපටද තර්ජනය කළාය.
"එන්ට එපා ළඟට අපුල්ලනවා එන උන්ටත්".
අම්මාගේ තර්ජනය
හමුවේ තවත් නම් ඉදිරියට යාමට ශක්තියක් අපට නොවුණි. බූවලු පහර එක පිට එක පුංචි අක්කාගේ කෙසඟ
සිරුර මත පතිත වෙන්නට ඇත. අක්කා උලලේණියක මෙන් මහ හඬින් හඬමින්ම ගෙතුළට ගියාය.
නංගීත් මමත් හඬමින් පුංචි අක්කා පසු පසින් ගේ ඇතුළට ආවෙමු. අක්කාගේ
කෙණ්ඩා යුගල දම්පැහැ ඉරි රටාවලින් පිරී තිබිණි. ඇගේ මුහුණ පුරාද පලූ මතුවි ඇත. මම පොල් තෙල්
බෝතලය ගෙන කපු පුළුන් කැටියක පෙඟවූ තෙල් අක්කා ගේ දෙපාවල ආලේප කළෙමි. අක්කා ඇඳ මත
වැතිර කොට්ටයෙන් මුහුණ වසාගෙන වේදනාවෙන් ඉකිබින්දාය. පුංචි අක්කාගේ දුක්ඛිත පෙනුම
දකින විට මගේ ආත්මය දියවී වැගිරෙන බවක් මට දැනිණි. මගේ ජීවිතයේ එවැනි
කම්පනයක්, ඒසා ගැඹුරු සානුකම්පාවක්, මනුස්සයෙකු වෙනුවෙන් ඉපදුනා නම් ඒ පුංචි අක්කා වෙනුවෙන් පමණක් යයි මම සිතමි.
ලොකු අක්කා දවල් කෑම
පිස අපට කෑම කන්නට කතා කළාය. නංගීවත් මමවත් දවාලට කෑම නොකෑවෙමු. පුංචි අක්කා වෙනුවෙන් උපන්
දයානුකම්පාවකින් මගේ හිත පිරී පුපුරන්නට ආසන්නව තිබිණි. අම්මා කෙරෙහි නිශ්චිතවම
වෙන්කර හඳුනාගත නොහැකි තරම් සංකීර්ණ මනෝභාවයන් ගෙන් ආකූලවූ හැඟීමක් මගේ හිත තුළ
පිළිසිඳ ගන්නට පටන් ගැනුණි. එය ජීවිතය පිළිබඳ හදිසියේ දැනුන අනාරක්‍ෂිත බවක්, අසරණබවක් පිළිබඳ හැඟීමකට සමාන බියත් අවිනිශ්චිත බවත් මිශ්‍රිත විත්ත
ස්වභාවයක්යයි මම සිතමි.
මේ සියල්ල සිදුවී පැයකට පමණ පසු තාත්තා ගෙදර ආවේය.
සළිලා... සා - ළිලා... මොකද පුතේ යාළුවා අර පාර අයිනේ අඬ අඬා ඉන්නෙ?
තාත්තා අක්කාගෙන් පිළිතුරක් ලැබෙන තුරු බලා සිටියේය.
අපි එකිනෙකා මුහුණින් මුහුණ බැලුවා මිස කිසිවෙක් තාත්තාගේ ප්‍රශ්නයට
උත්තර බැන්ඳේ නැත.
"ඇයි අමිතා විභාගේ
පේල් වෙලා වද්ද?"
ඉන් පසු අපේ නිහඬ බව මැද තාත්තා ප්‍රශ්නය තමන් ගෙන්ම ඇසුවේය.
දොරකඩට එබී බැලූ අම්මා දත් කූරු කමින් තාත්තා දෙස රවා බැලුවාය.
තාත්තා තක්කු මුක්කුවී අම්මා දිහා බලාගෙන සිටියේය.
" අමිතානං ඉහලින්ම
පාස් වෙලා. ඔන්න ඒකට අපෙ උන්. වැඩ දෙකයි පාස්". අම්මාගේ වියරු හඬ නැවතත් ගිඟුම් දෙන්නට විය.
තාත්තා කබල් වේවැල් පුටුවේ දිගෑදුනේය. අම්මා නැවතත් කුස්සියට වැදුනාය. ඒ අතරේ
නංගීත් මාත් අමිතක්කා ඇද්දැයි බලන්නට මිදුලේ එහා කෙළවර බුත්සරණ වැටිය ළඟට ගියෙමු.
ඒවන විටත් අමිතක්කා බිමට නැඹුරු කරගත් හිසින් යුතුව බොරළු පාරේ ඈතින් නොපෙනී යමින්
සිටියාය.
අම්මා කුස්සියට ඇදුනේ තවමත් ඈ තුළ ඇති තරහව තාත්තාගෙන් සඟවා ගන්නට විය
හැකිය.
"උක්කුං දුව"
තාත්තා මා ඇමතුවේ බිඳුන හඬකිනි. එහි සිහින් ශෝකයක් තැවරී තිබුණ බව හඟිමි.
" ඇයි තාත්තෙ?"
ඉස්තෝප්පුවේ කොනකට වෙන්නට තිබුණ, සුපුරුදු පරිදි තාත්තා වාඩිවෙන පරණ වේවැල් පුටුව තිබූ තැනට එන ගමන් මම
ඇසුවෙමි. දෑත් එකිනෙක පටලවා උර හිසට ඉහලින් පිටු පසට කර, ඒ මත හිස රුවාගෙන, තාත්තා පුටුවේ හාන්සිවී සිටියේ මහත් අසරණ බවකින් යයි මට සිතුණි. පුංචි අක්කාගේ අසමත්වීම ඔහුගේ බලාපොරොත්තු සුණු විසුණු කරන්නට
ඇතැයි මම අනුමාන කළෙමි.
තාත්තා නිහඬය. මම තවත් දෙපියවරක් ඉදිරියට තබා නැවතුනෙමි.
"පුංචිඅක්කා අඬනවද?" ඇසෙන නෑසෙන හඬින් කට
හඬ අවදි කළ තාත්තා ඇසුමුත් මා දෙස නිකමටවත් හැරී බැලුවේ නැත.
" ඔව්". මමද හෙමින් කීවෙමි.
"අම්මා බැන්නද?"
"ඔව්! ගැහුවත්!".
තාත්තා ශරීරය සෘජු කොට පුටුව මත වාඩිවිය.
" අර අමිතත් ඉන්න තැන?"
ඔව්! අමිතක්කා දැක්කා".
"ඒවුණාට අමිත මං
එනකොටත් අපෙ වත්ත කෙලවරේ පාර ළඟ අඬ අඬා හිටියා". මං කතා කෙරුවට උත්තරයක් දුන්නෙ නෑ.
''අමිතක්කටත් දුක ඇති
තාත්තෙ. අම්මා පුංචිඅක්කට බූවල්ලෙන් තඩිබානවා එයා දැක්කනෙ".
" ඒ ළමයා විභාගෙ පේල්වුණා මදිවට ඇයි පුතේ උඹලගෙ අම්මා සළිලට ගැහුවෙ? "
මම නිරුත්තරව සිටියෙමි.
"දැන් අමිතා ගම ගිනි තියයි!"තාත්තා කියාගත්තේ තමන්ටමය.
"නෑ ! අමිතක්කා එහෙම කෙනෙක් නෙවෙයි". මම කීවෙමි.
තාත්තාගේ දෑස් ගොරක මද පැහැගෙන තිබෙනු මම
දුටුවෙමි. ගෙදර තිබුණ සතුට හොරු අරන් ගියා මෙනි. අපි හැමෝම අපේ හිත්
සමඟ දීර්ඝවූත් ගැඹුරුවූත් නිහඬ සංවාදයක නිරතව සිටියෙමු. ඒ නිහඬබව බෙහෙවින්
බර වැඩියයි හිතෙන තරමට අපව හෙම්බත් කරනු ලැබිණි.
සාමාන්‍යයෙන් අම්මා
තාත්තාට වඩා සැර පරුෂ බව අපි සියළු දෙනාම දැන සිටියෙමු. ඒත් මේ තරම්? ජීවිතය පිළිබඳවත් ගෙදර පිළිබඳවත් මගේ හිතතුළ කිසියම් ආකාරයක
තිත්තකමක් නොදැනුවත්වම පිළිසිඳෙන්නට පටන් ගැනුනේ අම්මා තුළවූ කෲරත්වය පුංචි අක්කා
කෙරෙහි පුපුරා ගිය ආකාරය දුටුදාය.
දින කීපයක් යනතුරුම අපේ ගෙදර තත්වය සාමාන්‍ය අතට හැරුණේම නැත. පුංචි
අක්කා කාමරයටම වී සිටින්නට වූ අතර පසුව ඇගේ හැසිරීම පුරුද්දක් බවට පත්
විය. ලොකු අක්කා වැකේෂන් ඉවර වීමටත් පෙර කොළඹ ගියාය.
"පාඩම් කරන්ට තියෙනවා".
ඇය නිදහසට කරුණු දැක්වූයේ ඒ ආකාරයෙනි.
(මීළඟ කොටසත් බලාපොරොත්තු වන්න)