Sunday, 29 October 2017

ආගම අබිං වගේ

ආගම අබිං වගේ. MARX ලු ඒක කීවෙ. කවුරුවුණත් කීවෙ ඇත්ත.​ අබිං කෑවොත් මත් වෙනව​. මතට අබ්බැහි වුණාම ඒක නතර කරන්ට අමාරුයි. තව මාත්‍රාවකින් වැඩි කරනව​. පමණ දැන කෑම එලොවටත් මෙලොවටත් දෙකට හිතකර වියහැකියි​. ධර්මය නොදන්නා ආගමද නොදනී. අද අනික් සෑම ආගමක්ම ඒ ඒ ආගමික ශාස්තෲවරුන් දේශනා කළ දේ නොව,  චාරිත්‍ර වාරිත්‍ර​ පුද පූජා (rituals)  මිස ධර්මය ප්‍රතිපත්ති වශයෙන් ආරක්‍ෂා කරන්නේ නැත. පිළිපදින්නේ නැත​. බෞද්ධයින් යයි කියාගන්නා අයද එවැනිමය​. විශේෂයෙන් ගිහියන් සඳහා නම් බුදුන්වහන්සේ දේශනා කළේ ප්‍රායෝගිකව පිළිපැදිය යුතු අධ්‍යාත්මික සහ භෞතික ජීවිතය උසස් තලයකට නංවාලිය හැකි ජීවන ක්‍රමයක්. ඒවා ලෞකික ජීවිතයේ සාර්ථකත්වයට ඉවහල් වන කරුණු ලෙස ප්‍රධාන සූත්‍ර හතරකින් දේශනා කර තිබෙනව.
බුදුන්වහන්සේ භික්‍ෂූන් වෙනුවෙන් අනුදැන වදාල ධර්මය පිළිපදින භික්‍ෂූන්, සමස්ත සංඝ සමූහයෙන් 1% වත් සිටින්නේයයි විශ්වාස කළ නොහැකියි. එසේ සිටින්නේනම්  "රහත් බව" කියන, ප්‍රඥාවේ ඉහලම තැන ලෙස සැලකෙන අවස්ථාවට (state), එළඹුන භික්‍ෂූන් ගෙන් බුද්ධ ශාසනය තොර නොවනු ඇත​. සාමාන්‍ය පෙළ දක්වා බුද්ධාගම පෙළපොතෙන් ඉගෙන ගත් අය හිතන්නේ ඔවුන්  බෞද්ධ විශාරදයින් ලෙසය. එනිසා බුද්ධ ධර්මයත්, බෞද්ධ ව්‍යවහාරයත් දන්නා බුද්ධිමතුන් එය පැහැදිළි කරන විට, බුද්ධාගම පමණක් දන්නා (ඒකත් හරි හැටි නොදන්නා) අය ඔවුන්ට එරෙහිව අවලාද කිරීම සාමාන්‍ය දෙයක්.

අනික් අතට ආගම මනුෂ්‍යයෙකුගේ පෞද්ගලික ජීවිතය හා සම්බන්ධ පෞද්ගලික කාරණාවක්. නීතියක් පනවලා ආගම ඇදහිමට බල​කිරීම තරම් විහිළුවක් තවත් තියෙනවද මන්දා.  "බුද්ධාගම, රාජ්‍ය ආගම විය යුතුය" යනු ශ්‍රී ලංකාව ආගමික රාජ්‍යයක් බව  ආණ්ඩුක්‍රම​ ව්‍යවස්ථාවෙන්ම පිළිගැනීමයි. එය මුළුමණින්ම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම වලට පටහැණියි. ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම වලට අනුව නම්  සෑම පුර වැසියෙකුටම තම ආගම් ඇදහීමේ නිදහස මානව හිමිකමක් ලෙස පිළිගත යුතුව තිබෙනවා. එක් ආගමකට ප්‍රමුඛත්වය දීම යනු, ආණ්ඩුක්‍රම වයවස්ථාවෙන්ම ඉහත මානව හිමිකම උල්ලංඝණය කිරීමක්. My god is bigger than yours. වැඩිමනත් මිනිස්සු හිතන්නෙ එහෙමයි. බුදුන් වහන්සේ දේශනා කළේ "අපේය​, මගේය" කියන මමායන හිත අතහැරීමයි. ඉතින් ආගමට (බුද්ධාගමට​), ප්‍රමුඛත්වය ඉල්ලන අපි බෞද්ධයෝද​?

මල්ලිකා එම් බණ්ඩාර​

29. 10. 2017




No comments:

Post a Comment