Saturday, 21 October 2017

සන්නාලි සිහිනය​


ගෙයින් ගෙට ගිහින් පොඩි දැරිවි සන්දියේදිත්
මල්නෙළා දම් ගොතා ගමේ හැම මඟුලටම​
මමයි ජය මංගම් කීවෙ ගම හැම තැනම
සුදු ලේස් සාරියට​ රිදී මිරිවැඩි සඟල​
නළල් පට මාල හත​ ඇතුළු හැම අඩුවැඩිය​
සනිටුහන් කර ගතිමි කල්තියා සිහි ඇතුව​
නාලිය වෙනදාට​ ගේ මංගල ඇඳුම 
මහනවා බෝරිච්චි අත් නැතුව​! 

යුධ​ පෙරමුණේ දෙපස කඩු කිණිසි අමොරා
සනුහරේ පෙළ ගැසී හිඳිති දුනුදිය දරා
​ධවල අස් රියෙන් අපි අරන් ගිය හංඟාන 
ජීවිතේ බේරුණා මාතලී හින්දාම
මංගලම් නැති මඟුල්දා 
හැංගුනා අපි සුසුම්ලා

මල් වෙඩිලි රතිඤ්ඤා සුදුලිලී මල් කළඹ​
ගිලිහුනා මා අතින් නොතාරිස් රාල ළඟ
හිතවතුන් ඉදිරිපිට​ තියා අත්සන පොතේ
විවාපත්වුණා අපි රහසේම​ හිතුමතේ

මනාලියක වන සිහිනය 
වියන්නටත් පෙර ලිහුණිය​
ඒවුණාට අතහැර නෑ 
මංගල සේවා සෝලිය
පෝරුව මත ඉස අසෙණිය​ 
නැකතට අන්දා සේලය​ 
හැඩ ගන්වා මලින් මුහුල​
ගෙලවට බන්දා තාලිය
ලියන් මනාලියන් කරමි
අඟනන් දෙවඟනන් කරමි
මනාලියක් නොවුණත් මම 
කිරුළ දර සන්නාලිය! 

මල්ලිකා එම් බණ්ඩාර​

17. 01. 2017 

No comments:

Post a Comment