Friday, 20 October 2017

මගෙ ටිකිරි බිසෝසඳ​


මැටි කොතලේ උකුලෙ තියන්           
පැනට වඩින බිසෝ නුඹය
ගොම පිරිබඩ ගෑ ගෙපලේ
මගේ කුමරිකා නුඹය​
රජෙකුට අගමෙහෙසි වෙන්න
උපන් බිසෝ තුමූ නුඹය​

මැටි කබලේ රොටී හදා
ලුණුමිරිසක් පතට බෙදා
කුසේ සුදා  ගිනි නිවන්න​
රජබොජුනක් සේ දැනෙන්න​
පෙරුම් පුරා බලා ඉඳන්
වළඳන්නට ගෙනත් දෙන්න​​

නුඹ අහසයි මම පොළොවයි
පල දරනා සරු සාරෙට​
ඒ පොළොවේ අස්සද්දා
පූදින රත් හැල් යායට​
මගෙ උකුලේ වැඩුන ළකල​
ටිකිරි බිසෝ සඳ නුඹමය​

සඳ හිරු තරු පොකුරු අතර
අහස් නිල්ල හා යාකොට​
අඳිමි රිදී රේකාවක්
සිතිජ ඉමෙන් පිය මනින්න​ 
අද හෙට මෙන් සදාතනික
කල්ප කාල වෙන්කරනා
මඟ තොට​ නැති හිස් අහසට
කාලයේ රේකාව නුඹය  

මල්ලිකා එම්. බණ්ඩාර​

 19. 07.2017

No comments:

Post a Comment