Monday, 2 October 2017

කන්‍යා සොහොයුරිය​

නුඹ අතති අසිපතත් උදුරාන
අහිංසකයන්ගේම​ ගෙල සිඳින
කැට තියා  සූදු කෙළි 
නුඹෙම රැකවලුන් ගෙන්
කාසියේ වාසියට​
දූෂණය වුණා නුඹ​ නිතරෝම.

ඈත යාපා පටුන ඉමේ හිඳ​
මහත් අභිමානයෙන් නැඟී සිටි
අසිපතක් අත දරා
රෙදි කඩින් නෙතු  වසන
කන්‍යා සොහොයුරිය​,
නෙළුම් සුඹුලක් සදිසි දෙව්දුවක
අසපුවට යනෙන මඟ​ රැකහිඳ​
තළා හප කර දැමූ වියරු මෘග රැළම
පිටිතළ හයා බැඳ
​දක්කාන ගියා නුඹ​ 
දංගෙඩිය දක්වාම.

අම්බපාලියකැයි
දොස් පරොස් අවලාද විඳි නුඹ​ම
අතුල් පහරක් ගසා 
රැකවලුන්​ නිහඬ කර​
කිරා මැන සමබරව තුලාවේ
පසිඳලා දුන්නාට​ යුක්තිය

නිර්මල හෘදයේ කන්‍යාව​,
යුක්තියේ දෙවඟන,​
නුඹට පිදෙනා මේ
කවිකාර මඩුවේ ප්‍රණාමය!
පිළිගන්නවා සොඳේ.



මල්ලිකා එම් බණ්ඩාර

01.10. 2017​ 

No comments:

Post a Comment