සැඳෑ අඳුරට එලා පිරුවට
නිලා මල් එළි සිළුව
දල්වන
කලාමැදිරියො මවන සිතුවම්
බලා හිටියා ඔබට මතකද?
පිපී හිනහෙන තරු පොකුරු යට
මා වවුල් පෙරහැර ඇදෙන විට
ඇහැළ සෙවනේ ළවැලි මත හිඳ
තරු ගැනපු හැටි තවම මතකද?
වළා විරහිත අහස හැඩ කර
එබී බලනා තුරුම පුර හඳ
ළමා විය නම් සොඳුරු උයනේ
කවි කියපු හැටි තවම මතකද?
ලොවට රහසින් පිපෙන පරවෙන
සුවඳ කඩුපුල් මලක දැවටුන
මඳ පවන් රැල් කණට මිමිණූ
ඒ සැඳෑවත තවම මතකද?
මල්ලිකා එම්. බණ්ඩාර
01.10.2017
No comments:
Post a Comment