Wednesday, 4 October 2017

මාල ගිරවි - 5 වන කොටස​


මල්ලිකා එම් බණ්ඩාර​ ලියන්නීය​

ඊළඟ පාසල් වාරය පටන් ගත් පසු මා ඉස්කෝලේ ගියෙ තනිවමය​. පුංචි අක්කාගේ විභාගය අවසන්වූ බැවින් ඇය ගෙදර නතර වූවාය. බොහෝ දිනවල මා පාසලට පිටත්වන විට පුංචි අක්කා මිදුල අතුගාමින් සිටියාය​. ඇගේ ඉදල් පහරින් මතුවුණ පොල් අතු රටා සුදු වැලි මත සටහන්වී තිබුණි. අතුගාන අතරම ඇය සේපාලිකා ගසයට විසිරී ඇති මල් ඇතුල්පතකට එකතු කළාය​. නැතිනම් ඉද්ද ගස් වල අතු නවමින් මල් කැඩුවාය​. ඒ නංගී සඳහාය​. නංගී සෑම දිනකම ගමේ පාසලට මල් වට්ටීයක් රැගෙන ගියාය​. මේ හැම දෙයකින්ම ඇය තෘප්තියක් ලබන්නට උත්සාහ ගන්නට ඇත්තේ පාසල් ගමන නතරවීම නිසා ඇතිවුණ පාළුව මකා ගන්නට විය හැකිය​. පුංචි අක්කා ගැන සියුම් අනුකම්පාවක් මා සිත තුළ ගොනුවෙන්නට පටන් ගන්නා බව මට දැනෙයි. වෙනදා නැති ගැඹුරු බවක්අර්ථවත් බවක් ඈ කෙරෙන් පිළිබිඹු වෙනවා නොවේදැයි මම නිකමට සිතුවෙමි. උසස් පෙළ විභාගයට පෙනීසිටි ශිෂ්‍යාවක තුළ දක්නට ඇති මේරූ බවක් නැත්නම් පරිණත බවක් ඇගේ පෙනුමට එකතුවූවා විය හැකිය​. මම සිතුවෙමි.

හැම උදෑසනකම ජනක පාමසිය ඉදිරිපිට සිටිනු මම දුර තියාම දැක ඇත්තෙමි. එහෙත් ඔහු මුණගැසෙතැයි සැබවින්ම මගේ සිත තුළ කිසියම් බියක් චකිතයක් වැනි හැඟීමක් මෝදු වන බව මට දැනෙන්නට විය​. මේ අවිනිශ්චිත චිත්ත ස්වභාවය නිසා මම හැකි හැම විටම අපේ ඉස්කෝලෙට යන අනෙක් ළමුන් සමඟ යන්නට අදිටන් කර ගතිමි. කුමන හේතුවක් නිසාවත් වට පිට නොබලන්නට මම පරිස්සම් විමි. පුංචි අක්කා ඉඳ හිට ලයිබ්‍රරියට ගියාය​. ඇය සමහරදාට නවකතා පොත් කීපයක් ගෙනා අතර  එක හුස්මට ඒවා කියෙව්වාය​. එහෙමත් නැත්තන් අම්මා සමඟ ගෙදර වැඩපල නිරතවූවාය​. ඒත් වෙනදා සාමාන්‍යයෙන් ඇය තුළ පැවති උද්‍යෝගය අතුරුදන් වී ඇතැයි මට සිතුනි. බැලූ බැල්මට අක්කාගේ මුහුණ මත දුකක්කනස්සල්ලක් වැනි හැඟීමක ඡායවක් සනිටුහන් වී ඇතැයි මම අනුමාන කළෙමි. බොහෝවිට ඇය සිටියේ තෝන්තුවා ගතියකිනි. පාසල් පරිසරය තුළ පවතින චමත්කාරය වෙනුවට ඇයට සැබවින්ම ජීවිතයේ කටුක බව ප්‍රායෝගිකවම අත්දකින්නට සිදුවීම ඇය තුළ සංතාපයක් ඇති කළා වන්නට ඇත​. 

එහෙත් ඒ ගැන කතා කරන්නට තරම් ආත්මශක්තියක් මා සතු නොවුණි. නිශ්චිත හේතුවක් හෝ කාරණාවක් නැතත් අක්කාට මුහුණ දීමට කිසියම්වූ පුංචි චකිතයක් මා කෙරෙහි පවතින බව මට දැනෙයි. එනිසා බොහෝ විට ගෙදර වැඩ මඟ හැරැ පාඩම් සම්බන්ධ වැඩ වල නිරත වෙන්නට උත්සාහ දැරුවෙමි. නමුත් පුංචි අක්කා මා පිළිබඳ කුමන අන්දමින් සිතනවා දැයි මම නොදැන සිටියෙමි.
බස් හොල්ට් එකට එනතෙක්මට තනියම එන්නට සිදුවූ දවසක, මඟ හැරිය නොහැකි අයුරින් ජනක මා ඉදිරියට ආවේය. කිසිදු වෙනසක් නොපෙන්වා මම සිනාසුණෙමි. ජනක ගේ පිළිතුරු සිනාව වඩාත් පුළුල් විය​.
" අක්කා නැති නිසා දැන් තනියම නේද ඉස්කෝලෙ එන්ට වෙලා තියෙන්නෙ නංගිට"
ජනක කීවේය​.
 අපේ ඉස්කෝලෙට එන අනික් ළමයි එක්ක මං දැන් එන්නෙ. ඒ නිසා තනි නෑ. අනිත් එක පාරෙ හොල්මනුත් නෑනෙ". මම සැහැල්ලුවෙන් කීවෙමි.
මම හැමදාම ඔයා එනකම් මඟ බලාගෙන හිටියා. ඔයා ඉතින් අහක බලාගෙනනෙ පාරේ යන්නෙ”.
" මම දන්නෙ කොහොමද මං එනකං කවුරුහරි බලාගෙන ඉන්නවා කියලා". 
මම කටට ආපු දේ ඒ විදියටම කීව​. ඒක මහ මෝඩ ප්‍රකාශයක්. මම හිතෙන් කොඳුරා ගතිමි. ඒත් වමාරා අවසන් ය​. නැවත ගිලගන්නට පුළුවන් කමක්ද නැත​.
"එහෙම කෙනෙක් ඉන්නව කියලා දන්නවනම් ? 
ජනකගේ දෑස් වල අර අසාමාන්‍ය දිළිහීම සටහන් වෙනු මම දුටු මුත් නොදුටු ගාණට ඉන්නට උත්සාහ කළෙමි. ඒ දිළිහීමෙන් ගිනිකණා වැටෙන්නට මම බියපත් වීමි.
මං යාළුවො එක්ක යනකොට වට පිට ඉන්න අය ගැන පෙනෙන්නෙ කොහොමද​?
“ඒක හරි කියමුකො. ඉතින් කොහොමද අක්කා?
අක්කා විභාගෙට හිටියනෙ. ආයෙ ඉස්කෝලෙ එන්ට බැහැ.
මම කීවෙමි.
අක්කාගෙ පොතක් තියෙනව මං ළඟ​. හෙට ඒක ගෙනත් දෙන්නම්. ඒක එයාට දෙන්න පුළුවන් නේද​?”
මොකද්ද පොත ?”
නවකතා පොතක්.
ආඃ... ගෙනත් දෙන්ට​.
 සළිලා පොතක් දුන්න. මට ඒක  කියවන්ට වෙලාවක් නෑ.
 ඉස්කෝලෙ ඇරිලා එනකොට දෙන්න එහෙනම්
"ජනක ගේ හිනාව හරි අමුතුයි. හරි ලස්සනයි". මම හිතෙන් කියාගත්තා.
"නංගිගෙ හිනාව හරි ලස්සනයි! එතකොටම ජනක උද්‍යෝගිමත් හඬකින් කිව්ව.
මං පුදුමෙන් එයා දිහා බැලුව​. හරියට එයා මගෙ හිත කියෙව්ව වගෙ.
"මොකෝ බය වෙලා වගෙ?
ආයෙත් සැරයක් ජනක මගෙ ඇස් දෙක එයාගෙ අර දිළිහෙන ඇස් දෙකේ ග්‍රහනයට නතු කරගනිමින් කීව​. මගෙ හිත හීන්වට සසල වුණා වගෙ මට දැනුණ​.
මං යන්නං. දැන් බස් එක ළඟ එනව ඇති.
මම බස් හොල්ට් එකට ඉක්මන් ගමනින් යන්ට හැරුන​.

හරියට අනපේක්‍ෂිත මොහොතක විදුලියක් කොටනව වගේ. කමක් කාරණාවක් නැතුව​, තැති ගැන්මක් මට දැනෙන්ට පටන් ගත්ත​. පොත් මිටිය පපුවට තුරුළු අරගෙන මම බස් හෝල්ට් එකේ නතර වුණා. මොකද්ද මේ වෙන්ට යනදේමම සිය වරක් මගෙන්ම ඇහුව​. එතකොට ජනකයි පුංචි අක්කයි අතර තියෙන්නෙ මොන වගේ සම්බන්ධයක්ද​?                                        

බස් එකේ වාඩිවුණ වෙලාවෙ ඉඳලා, හැතප්ම දෙකක් දුර යනකම්ම, ඊට පස්සෙ බස් එකෙන් බැහැල ගෙදරට ඇති සැතපුම් කාලක තරම් දුර​ මම හිතන්ට පටන් ගත්ත​.

මම පුංචි අක්කට ද්‍රෝහිකමක් කරනවද​එහෙම නැත්නම් ඒ දෙන්න අතරේ තියෙන්නෙ සාමාන්‍ය යාලුකමක්ද?  වරක් මට පක්‍ෂවත් තවත් වරක් විපක්‍ෂවත් මගේ හිතේ දෙගිඩියාව ඒ මේ අතට බරවෙනව​.
ගෙදරට ගොඩවෙනකොට පුංචි අක්කා දොරකඩ​.  මගෙ හිත දෙමෝලෙන් පිටිකොටනව​. ඒ සද්දෙ මට ඇහෙනව​. පුංචි අක්කටත් ඇහෙයිද​ මන්දා...

"ජනක හම්බ වුණෙ නැද්ද ඔයාට​?
"අයියෝ ඔයා මොනව අහනවද මන්දා.... මට ඉසරදේ අද උදේ ඉඳලම. පාරේ ඉන්නෙ කවුද කියල හොයන්ට වෙලාවක් තියෙනවද මට​?"
මම ඇඳුම්වත් මාරු නොකර ඇඳට වැටුණ​. හවස් වෙන තුරුම මම කාමරයෙන් එළියට නෑවිත් ඔහේ ඇස් පියාගෙන හිටිය​. අම්මාත් තාත්තාත්නංගීත් වරින් වර කාමරයට එබිකම් කරල මට කෑම කන්ට කීව​.
ඇයි ඔයා කෑම කන්නෙ නැද්ද​? “
අන්තිමට​ පුංචි අක්කා ඇවිත් ඇහුව​.
"කන්නම්. ටිකක් අඩුවුණාම"​.
මම ඇයි මේ තරම් කලබල වෙන්නෙ? මට මා ගැනම ලැජ්ජා හිතුණ.හිත නොසන්සුන් තමයි ඒත්  
තවත් ටික වෙලාවක් පැදුරේ ඇලී සිටි මම නැඟිට පීල්ලළඟට ගියෙමි. ඒ වනවිට පුංචි අක්කා නාගෙන ඉවරවී සිටියාය​. මම ඇයට පිටුපා හිටගෙන පීල්ලට හිස අල්ලා නෑවෙමි. ආපසු හැරී බලන විටත් අක්කා ගල් පොත්ත මත වාඩිවී සිටියාය​. මම මුවපුරා සිනාසුනෙමි. අක්කාද එවැනිම හිනාවකින් පිළිතුරු දුන්නාය​. ඉන්පසු කිසිත් සිදුනොවූ ලෙස එදිනෙදා ගෙදර වැඩට හවුල් වීමි.

 (මතු සම්බන්ධයි)

No comments:

Post a Comment