මල්ලිකා එම් බණ්ඩාර ලියන්නීය.
ජීවිතයේ යොවුන්
දොරකඩ අභියස හිඳ මහත් බලාපොරොත්තුවකින් අනාගතයට එබෙන මගේ හිත පැණිකිරිල්ලියක මෙන්
දොඩමලු වෙන්නටත් ඒ මේ අත, සමහර විටක බොහෝ දුර ඈතකට පියාපත් සලන්නටත් වෙර දරයි. යටපත් කළ
නොහැකි තරම් දඩබ්බර ලෙස මගේ සිත මා සමඟ පොර බදයි. සුවහසක් තරම්වූ එකිනෙකට ප්‍රතිවිරුද්ධ හැඟීම්
සමුදායක් මගේ හිත තුළ පවුරු පදනම් බැඳගෙන ඇති බවත්, මම නම්වූ අහිංසක යොවුන් දැරිය කුඩා හා
පැටික්කියක මෙන් අසරණව ඇති බවත් මට හැඟෙයි. හුදකලා අඩවියක අතරමංව හවිහරණක් නැති අයෙකු
මෙන් මගේ හිත මහත් සේ අසරණව හිඳී, විටක මහ හඬින්
සිනාසෙන්නටත් තවත් විටක කෑ ගසා හඬන්නටත් ඇවසි වියරු හැඟීමකින් මගේ හිත ඉපිලෙයි. සිත බොහෝ චංචලය. පුළුන් රොදක්
මෙන් සැහැල්ලුය. අනන්තයට ඉගිලී යන්නට තරම් ජීවයෙන් පරිපූර්ණය.
දහ අතේ ඉගිල්ලෙන මගේ
හිත කෑමොර ගසා ඉල්ලන ප්‍රේමයේ ආහ්ලාදය දෝතින් වැළඳ ගැනීමට මට අවශ්‍ය
විය. සාපිපාසිතව සිට ඉඳුලක් ලද කලක මෙන් මේ ආගන්තුක ආශ්වාදය ස්පර්ශ කිරීමේ උවමනාව
විසින් මගේ සිත හෙම්බත් කර තිබිණි. එනමුදු මා තහනම්
අඩවියකට අවතීර්ණව ඇතැයි මගේ කණට කොඳුරා අනතුරු අඟවන කිසීයම් සියුම්
හඬක් මට නිරන්තරයෙන් වධ දෙන්නට විය. එසේ වුවත් මගේ හිත තර්ක කළේම ජනකත් පුංචි අක්කත්
අතර ප්‍රේම සම්බන්ධයක් නැත යන අදහසට පක්‍ෂවය.
ඇසිල්ලකින් පුංචි අක්කා මගේ
සිතිවිලි දෙවනත් කරගෙන මතකයේ ඉස්මත්තටම ගොඩවදියි. එවන් විට මගේ සිත මහත්වූ
බියකින් සහ ලැජ්ජාවකින් ඇළලී යන්නට පටන් ගනියි. අනික් අතට අක්කගෙ හිත රිදෙව්වොත් මට
සාපවෙනු ඇතයි සිත ඇතුළතින් මම බිය පත් වීමි. ඒ බිය යටපත් කරමින් තවත් සුළු මොහොතකින් මම මටම පක්‍ෂග්‍රාහීව
තර්ක කරන්නටත්, ජනක පිළිබඳව අප්‍රමාණ ස්නේහයකින් සිතන්නටත් නැඹුරු වීමි.
පුංචි අක්කාගේ
අහිංසක මුහුණ, බලාපොරොත්තු දල්වාගත් දෑස සිහිවෙත්ම මගේ අභ්‍යන්තරය දැවී පිළිස්සී යන
බවක් දැනෙයි. ඒත් දෙයියනේ එයාලා අතරේ එහෙම් සම්බන්ධයක් නෙවෙයිනම් තියෙන්නෙ? මං ජනක මඟාරින එක
හරි අපරාධයක්! එහෙම වෙලාවට මම මහේ යටි හිතට ඒත්තු ගන්වන්නට මහන්සි ගන්නව. සිදුවීම් සිද්ධ
වෙන්නේ සිනාසෙන්නට ද, හඬා වැටෙන්නට දැයි තේරුම් ගැනීමට මම අපෝසත්මි. පහන් එළියට ඇදෙන
මෙරුවෙකු මෙන් දැල්වෙන පහන් සිළුවෙහිම දැවටෙන්නට, එහිම ගැටී පිළිස්සී
යන්නට ප්‍රේමවන්තයින් පෙළඹෙන්නේ මොන කරුමයටදැයි තේරුම් ගන්නට හැකියාවක් මට නොවුණි.
ජනක ගේ ලියුම ලැබී
සතියක් යනතුරුම ඊට පිළිතුරක් ලිවීම ප්‍රමාද කිරීමට මම ඉටා ගතිමි.
" හදිස්සි වෙන්ට ඕන නෑ". මම තීරණය කළෙමි.
හරියට කවුරුහරි පෙම්
පතක් දෙනතුරු බලාගෙන හිටියා වගේ ජනකගේ ලියුමට පිළිතුරක් ලියන්නට මට අවශ්‍ය නොවුණි.
අන්තිමේදී මම මගේ
පළමු පෙම්පත ලීවෙමි. පළමු පෙම්පත ලිවීමේදී ඕනෑම පෘතග්ජනයෙකු අත්විඳිනවා යයි කියන
දුෂ්කරතා සියල්ල මමද අත්වින්දෙමි. හත් අට වතාවක් අලුතෙන් පටන් ගත් පිටු නැවත
නැවත කීතු කීතු කොට ඉරා දැමීමේ සිට වට මට මුතු කැට අත් අකුරෙන් පිටුපුරවන්නටත්
සාරාංශ කරන්නටත් බොහෝ වේලාවක් වැය කළෙමි. ලොකු අක්කා ගෙදර නොමැති විම මට මහත්
සහනයක් විය. පුංචි අක්කා උසස් පෙළ ප්‍රතිපල අපේක්‍ෂාවෙන් සිටින්නීය. රෑ දෙගොඩ
හරි ජාමයක් වෙනතුරු නිදිමරා ගෙන පාඩම් කරපුවාට හරියන්නටත් එක්ක අක්කා දැන් කලින්ම නින්දට යෑම ගැන මම බෙහෙවින්ම
සතුටු වීමි. දෙවන සතියේදී ලියුමක් ලියා ඇරැඹි පෙම්පත්
හුවමාරුව සතියට එක බැගින් දෙපාර්ශ්වයට හුවමාරු විය.
දවස් ගෙවී යන්නේ අවිනිශ්චිතවූත් කැළඹිලි සහිතවූත් දිසානතියකට යයි මට
දැනේ. මේ දිනවල පුංචි අක්කා ගෙදර ගතකරන්නේ මහත් පාලුවෙන් යැයි දිනක් ඈ කීවා මට
මතකය. සැබවින්ම අක්කා සමඟ හුදකලා වීමට කිසියම් සැකයක්, පසු බැස්මක් මා තුළ
ජනනය වෙමින් පැවතිනි. අපේ ගෙදර වාතාවරණයෙන් ඈත් වීමට නම් පියමං කළයුතු කඩ ඉම විශ්ව විද්‍යාල
ප්‍රවේශය සමත් වීම යයි අක්කා තරයේ ඇදහුවාය. ලොකු අක්කා අත්පත් කර
ගෙන ඇති නිදහස භුක්ති විඳීමේ ඉඩකඩ තමන්ටත් ළඟා
කර ගැනීමේ ආධ්‍යාශයෙන් අැය දිවා රෑ වෙහෙස වී පාඩම් කළාය. වෙස්වලාගත් ආශිර්වාදය තමන්
වෙත ළඟා වෙන්නේ විභාගයෙන් ගොඩ ගියොත් විතරක් බව ඇය දනියි. කොහොම හරි ඇගේ සිහින
සැබෑවීම විභාග ප්‍රතිපල මත රඳා පවතී. ඒනිසාම පුංචි
අක්කා මේ දින වල සිටින්නේ දෙගිඩියාවෙනි. හරියටම එළිපත්ත උඩ ඇනතියාගෙන නිදිකිරා වැටෙමින් කල් මරණ හොර
බැළලියක් වගේය.
"ලයිබ්‍රරි යන්ට
ඕන" වරක් පුංචි අක්කා කියද්දී මම තිගැස්සී ගියෙමි.
“මං ගැන ඉව වැටිලාවද්ද?”
"නෑ. වෙන්ට බෑ."
මම හිත හදා ගතිමි.
මාස හයක් ගතවීත්
අක්කලාගේ විභාග ප්‍රතිපල නිකුත් කිරීම ප්‍රමාද වෙමින් පැවතින. මේ නිසාදෝ අක්කා
දවස ගත කළේ මහත් උදාසීන කමකින් නැත්නම් කලකිරීමකිනි. එවන් විට පුංචි අක්කා කෙරෙහි මහත් අනුකම්පාවකින් මගේ සිත පිරී යන්නට
පටන් ගනියි.
ඊළඟ සිකුරාදා හවස
ලොකු අක්කා ගෙදර ආවාය.
"සළිලලාගෙ විභාග ප්‍රතිපල එනව ලබන සතියෙ.
අම්මා, ඔන්න ලෑස්ති වෙලා ඉන්ට කැවුම් කිරිබත් හදන්ට".
ලොකු අක්කා අම්මා දෙස බලමින් කීවාය.
"කොහොමද ඔයා දන්නෙ?"
පුංචි අක්කා මහත් උනන් දුවෙන් ඇසුවාය.
"මට ධම්මික අයියා කීවා. එයා වැඩ කරන්නෙ
විභාග දෙපර්තමේන්තුවෙ".
විභාග දෙපර්තමේන්තුව
වැනි වැදගත් තැනක වැඩ කරන කෙනෙක් තමන් දන්නා බව ඇඟවීමට මෙන් ඇය හැමෝගෙම මුහුණු
අනුපිළිවෙළින් බැලුවාය. අම්මාත් තාත්තාත් එකිනෙකාගේ මුහුණු දෙස බැලුවේ ලොකුඅක්කා
ගැන ආඩම්බරයකිනි.
ඉන්පසු කෙලවරක් නැති
හරස් ප්‍රශ්න අසමින්, ගමේදී අපි අසා ඇති දේට වඩා විශේෂ දේවල් සිද්ධ වෙන විශ්ව විද්‍යාලය,
නාගරික ජීවිතය ආදී දේවල් ගැන විස්තර දිග හැරිණි. බැලූ බැල්මට නම්
ලොකු අක්කාගේ තොර තෝන්චියන් නැති කොළඹ විස්තර ප්‍රචාරයට සවන් දීමට මුළු පවුලම සැදී පැහැදී සිටියාක් මෙනි.
මේ ලොකු අක්කාගේ විස්තර අතර නිතර කියවෙන නම් අල්ලගෙන අපි ඇයට විහිළු තහළු කළෙමු.
අක්කාගේ වැකේෂන් එක ඉවර වෙනතුරු කටේ කමසෙයියාවක් නැතුව ඇය කතා කරනු ඇත.
ඒ විස්තර අතර
කියවුණ අයගෙන්; ඇන්ටී, රෝස් අක්කා, රෙක්ස් අයියා යනු අප කලින්ම දැන සිටි, ලොකුඅක්කා නැවතී සිටින බෝඩිමේ අයිතිකාරයින්
වූ අතර තවත් අයියලා කීප දෙනෙක් ගැන ඈ සඳහන් කළාය. විස්තරේ හැටියට නම් ඔවුන්ද
අක්කා වගේම බෝඩිංකාරයෝය.“ධම්මික” යන නම අයියා කෑල්ලකුත් එක්ක ඇය නිතර සඳහන් කළාය.
ඇය "ධම්මික අයියා" යන්න උච්චාරණය කළේ ළයාන්විත, උද්‍යෝගී හඬකිනි. ඒ නම සඳහන් කරන සෑම විටකම ලොකු අක්කාගේ දෑස් දිළිසෙන්නටත් පුළුල් හිනාවක් ඇගේ මුව මත විසිරෙන්නටත් වූ බව මොනවට පෙනෙන්නට තිබිණී. තාත්තාගේත් අම්මාගේත් ඇසට වැලි ගසන්නට ලොක්කී උත්සායක යෙදෙන ආකාරය පුංචි අක්කා නම් තේරුම් ගන්නට ඇත. නොඅනුමානවම බළලා මල්ලෙන් පනින්නට ඔන්න මෙන්න යයි ඇය සිතුවා විය හැකිය.
"ලොක්කී කවුද ධම්මික අයියා කියන්නෙ?"
පුංචි අක්කා හදිසියේ ඇසුවාය.
"අන්න හරි! කවුද
ධම්මික අයියා?"
මම පුංචි අක්කාගේ ප්‍රශ්නය
තහවුරු වෙන අතුරු ප්‍රශ්නයක් ඇසුවෙමි.
"එයා බෝඩර් කෙනෙක්. ගෙදර
ඉන්න හින්දා, වැඩිමල් කෙනෙක් හින්දා, "අයියා" කියනවා.
පුංචි අක්කා මා දෙස බලා ඉඟි මැරුවාය. මම ලොකු අක්කාට නොපෙනෙන්නට හිනාව තද කර ගතිමි.
"අපිටත්
පුළුවන් වෙයිද එයාට "අයියා" කියන්ට ලොක්කී?
පුංචි අක්කා අසත්ම අපි හැමෝම හඬනගා සිනාසුනෙමු.
ලොකු අක්කාගේ මුහුණෙහි ස්වරූපය ක්‍ෂණිකව වෙනස්වූ අතර ඇය තම
අධිකාරිත්වයට අභියෝග කිරීම ගැන උදහස් වූ බවක් දක් නට තිබිණී.
" මේ, ගාණට වැඩි දැන් කට්ටියම. මං ගෙදර නැති අතරේ වල්පල් දොඩව දොඩව ඉන්නව ඇති මෙලහකට. ඔය කටවල් වගේම වැඩත් තියෙයිද
කියලා බලමුකෝ".
අපි සියළු දෙනා මොහොතකට තුෂ්නීම්භූත වීමු. අනතුරුව නිහඬ වීමු.
“සචිරා දැන් ඉස්කෝලෙ
වැඩ කරනවද හරියට? "මාගල් පැදුරු ගාණට ලියුම්නං එවනව මට. කට පත්ත ඇද්දා වගේ වැඩත්
තියෙන්ට ඕන, හරිද?”
ලොකු අක්කා සෘජුවම ඇඟිල්ල දිගු කළේ මටය. පුංචි අක්කාත් තරමක තැතිගත්
බවක් පල කළාය. හෙට අනිද්දා නිකුත් වීමට නියමිත විභාග ප්‍රතිපල ඇයට මතක් වන්නට
ඇතයි මම අනුමාන කළෙමි. ඉන්පසු අපේ කතාවේ මාතෘකාව වෙනත් දිසාවකට හැරිණි.
No comments:
Post a Comment