Wednesday, 18 October 2017

මාලගිරවී - 6 වන කොටස​

මල්ලිකා එම් බණ්ඩාර ලියන්නීය​.

ඊයේ ජනක හමුවූ බව මම අක්කාට නොකීවෙමි. 
 “ඒක හෙට කියනවා"
මම ප්‍රවෘත්තිය​ කල් දැම්මෙමි.
එය කියයුතු දෙයක් කල් දැමීමකට වඩා සහෝදරියට වංචනික වීමක් යයි සිතුනත් කිසියම් පසුබෑමක් සිත තුළ ලියලා වැඩෙන්නට විය​. පසු දින ඉස්කෝලේ ගියේ එවන් චකිතයක් හිතේ තෙරපෙද්දීය​. ඉස්කෝලෙ ඇරිලා මං ආවේ තනිවමය​. ජනක මා එනතුරු බස් හෝල්ට් එක ළඟ සිටිනු ඇතැයි මම සිතුවෙමි. ඔහුගේ හමුවීම මා තුළ කිසියම් ආනන්ද ජනක හැඟීමක් ඇතිකළා යැයි මට සිතුණි. කඩ පේළිය දිගේ බස් හොල්ට් එකට එන මඟ දිගේ මගේ දෑස් අකීකරු ලෙස දිවයන බව මට දැනෙන්නට විය​. කුතුහලයක් බඳු කිසියම් අවිනිශ්චිත බවකින් මසිත සසලවෙන බව මිස ඊට පදනම්වූ හේතු කාරාණාවක් තේරුම් ගැනීමට අපෝසත් වීමි.

සුදු පැහැති කලිසමක් හැඳ pink පාට අත් දිග කමිසයෙන් සැරැසී සිටින ජනක හඳුනා ගැනීමට මගේ දෑස් දුර තියාම ඉක්මන්විය​. ඒත් නොදැක්ක​ ගානට බස් නැවතුම්පළ තෙක් ඇවිදගෙන ඒමට අදිටන් කර ගතිමි. ළඟටම එනතෙක් හිස බිමට නැඹුරු කරගෙන ආ මම ගමන බාල කළෙමි.

"අපෝ මං හිතුව විශාකාව වගේ  බිම බලාගෙන එනකොට මාව දකින්නෙ නැති වෙයිද කියල​"
ජනක අඩියක් මා ඉදිරියට තබමින් කීවේය​.
"මගෙ ඇස් හොඳට පේනව​. ඒකයි ඇවිත් මෙතන නැවැතුනෙ"
"ඒ කියන්නෙ ඔයා කලින්ම දැක්ක මං මෙතන ඉන්නවා"
 මුහුණෙහි හැඟීම් ප්‍රකාශිත නොවන අයුරින් මොහොතක් නිහඬව සිටින්නට උත්සාහ ගතිමි. ඔහු මා දෙස එක එල්ලේ බලා සිටින බව පෙනුනත් මගේ සසල සිත දකීවියැයි මම බිය වීමි.තවත් මොහොතකට පසු
කෝ ඉතින් අක්කගෙ පොත​? කියූ මම සෙමෙන් හිස ඔසවා ජනකගේ මුහුණ දෙස බැලුවෙමි.

ඒ දෑස් වල දීප්තිමත් බව හෝ එසේත් නැත්නම් එකිනෙක පරයා නැගෙන ආගන්තුක හැඟිම් පෙළ නිසා හෝ එක එල්ලේ එදෙස බලා සිටින්නට අපහසු බවක් මට දැනිණි. දෑස් තුළ තෙරපෙන කිසියම් ආගන්තුක හැඟීමක් විසින් මා සිත විනිවිදව ගියෙද​, එය මා බියපත් කරන සුළු වුවද, නැවැත නැවැතත් ඒ දෑසට එබෙන්නට ලෝබ කමක් විසින් මා සිත කළඹන්නට විය.

ජනක මා අත පොතක් තබන ගමන් වට පිට බලා , "පොත අක්කට​. ඇතුළෙ තියෙන එක ඔයාට​"යි ඇසෙන නෑසෙන හඬීන් කියා, පාර හරහා ගොස් පාමසියට ගොඩවිය​.
මොහොතක් ගතවන තුරු මට ඇසුණේ කුමක්ද යන්න තේරුම් ගැනීමට අපෝසත්වූ මම ජනක දුන්න පොත මගේ පොත් මිටිය මත තියා ගතිමි.

විනාඩි කීපයකට පසුව බස් එක එනතුරු මම තාරපාර කෙලවර දෙස දෑස් යොමා ගෙන සිටියේ අසල සිටි අයට මගේ වෙනසක් නොපෙනෙන්නටය​. හනික බසයට නැඟගත් මම පිටුපස තනි අසුනක වාඩිවීමි. බසයේ වේගයටත් වැඩි වේගෙන් මගේ හිත දහ අතේ දිව යනු මට දැනෙන්නට විය​. බොරළු පාර ළඟ බසය නතර වූ සැනෙන් මම බිමට බැස ගතිමි.

පොත ඇතුළේ ඇති දෙය කුමක්දැයි දැන ගැනීමේ කුහුලින් මඬිනා ලද සිතින් මම පොත් මිටියේ
මතුපිටම වූ පොත අතට ගෙන පෙරලා බැලුවෙමි. අවුරුදු දාහතරක යුවතියකට තරුණයෙකුගේ හැසිරීම් ගැන ඉවක් නැතැයි කීවොත් එය මුසාවකි. නොඅනුමානවම පොත තුළ ඇත්තේ පෙම්පතකැයි කියන්නට මගේ ගැහැණු සිතට ඉවක් තිබෙන බව මම විශ්වාස කළෙමි. ජනකගේ දෑස් වල ඇති පණිවුඩය නිවැරැදිව කියවන්නට තරම් මා තුළ ඇති අත්දැකීම් කෙසේ වෙතත්මා තුළ සිටින යුවතියගේ නිසඟ හැකියාව ගැන මම පුදුම නොවීමි.

රෝස පැහැති කවරයක බහා ක්‍රමවත්ව නැවූ ලිපිය අතට ගත් මම වල්දෙල් ගහ යට හෙවණේ නතර වීමි. මගේ හිත නුහුරුවුත් නුපුරුදුවූත් තැති ගැන්මකින් සැලෙන්නට විය​. දුර පේනමානයක කිසිවෙකු නැතැයි සැක හැර දැන ගැනීමට හොඳින් වට පිට බැලූ මම නොඅලවන ලද කවරයෙන් ලියුම එළියට ගත්තෙමි. ජනක වැනි තරුණයෙකුගෙන් මෙවැනි පෙම්පතක් ලැබේයයි බලාපොරොත්තුවක් නොතිබුණද එවන්නෙකු ගෙන් මා වැනි යුවතියකට බලාපොරොත්තු වියහැකි වෙනත් දෙයක් ඇද්ද​යි මම මගෙන්ම ඇසුවෙමි.

සිහින් විදුලිය ධාරවක් දෙපයින් පටන් ගෙන ඉස්මුදුන දක්වාත්ඉස්මුදුනෙන් පටන් ගත් හිරිවැටීමක් පපු කුහරය විනිවිද ගොස් යටිපතුලෙන් පොළවට කාවැදෙන බවක් දැනෙන්නට විය​. දැවීම මෙන්ම හිරිවැටීමද නැවත නැවතත් විඳිය හැකි ගිජුකමකින් වැළඳ ගන්නට මට සිත්විණි. ළා අඹ පල්ලක් තරම් කෝමල රිද්මයකින් මගේ පපු කුහරය තුළ සැලෙන්නේ හදවත කියන ඉන්ද්‍රියය විය හැකියයි මම සිතුවෙමි.

තවත් මොහොතකින් මගේ ගත කිලිපොලා යන බවද ඇඟිලි තුඩු සැලෙනුද දැනුණි. දාහතර හැවිරිදි දැරියකට ප්‍රතම වරට පෙම් පතක් ලැබීම කෙතරම් ආහ්ලාද ජනක අත්දැකීමක්ද​මම රෝස පාට කවරයෙන් එලියට ගත්, රෝස පාට ලියුම දිග හැරියෙමි.

"ආදරණීය සචී!"යි පටන් ගත් ලියුම මා ගැන උත්කෘෂ්ඨ වර්ණනාවන් ගෙන් සමන්විත කාව්‍යමය රචනාවක් විය. එහි මගේ මුහුණ​තොල්කම්මුල් මෙන්ම සිනාව කෙදිනකවත් කිසිවකු විසින් අගය කර නැති අයුරින් වර්ණනා කර තිබුණි. මම මහත් ප්‍රහර්ශයකින් උද්දාමයට පත් වුණෙමි. ලියුම නැවතත් තිබූ ආකාරයෙන් නවා කවරයට බහා මගෙ යුනිෆොර්ම් එකේ පොකට්එක තුළ සඟවා ගතීමි.

මා ගෙදර එන විට පුංචි අක්කා ඉස්තෝපුවේ ඇති බංකුව කෙලවරේ වාඩි වී පාර දෙස බලා සිටියාය. ඇගේ දෑස් මඟ හරින්නට මහත් ඕනෑ කමක් තිබුණ මුත් අක්කා මඟ හැර යාම මහත් අසීරු කරුණක් විය​.

ඔයාට ජනක පොතක් දුන්නද​?
අක්කගේ ප්‍රශ්නයෙන් සිත තුළ විදුලියක් කෙටුවාක් මෙන් දැනුණි.
ආ... ඔව්... මෙන්න​ පොත"
පොත් ගොන්නේ තිබූ පොත අක්කා අත තැබුවේ කිසිම දෙයක් නොසිදුවූ අයුරිනි.
මොකද ජනක කීවෙ?
පුංචි අක්කා කතා කළේ  ඍජුවම මගේ ඇස් දෙස බලාගෙනය​.
මුකුත් නෑ.
වචනයක්වත් කතා කෙරුවෙ නෑ? ඇයි කටේ පිට්ටු හිරකර ගෙනද ඇවිත් පොත දුන්නෙ?"
සියුම් නොරිස්සුමක ප්‍රතිරාවයක් අක්කා ගේ වචන වල ගැබ්වී ඇතයි මට සිතුනි. 
ඕහ්...! අක්කගෙ පොතක් තියෙනවාඒක දෙන්ට පුලුවන්ද කියල ඇහුව​.
"එච්චරද?
 එච්චරයි! මං "හා"කීව​. එච්චරයි!.

අක්කා හිස් බැල්මෙන් යුතුව ඉවත බලාගත්තාය​.  අවසරෙන් මම කාමරයට රිංගා ගතිමි.

(ලබන සතියේ තව කොටසක්)

No comments:

Post a Comment