යන්තං සොළොස් වියේ - පැඟිරි කෙල්ල මං
බක් මහ කුමරි තෝරන - තරඟෙට අඬ ගැහුවාම
පණයන්න තරම් - මිරිකුණානෙ විලිලැජ්ජාවේ!
වැඩිහිටි ගැහැණු කියන - සුරංඟන රුව තිබුණේ
හම සුදු ගැටිස්සියන්ටයි - අවුරුදු කුමරි වෙන්ට
සුදු හම තිබුණෙ නෑ මට!
ගහ කොළ මල් යායේ - ඇල දොල වෙල් එළියේ -
අව් වැහි පින්නේ ලැග - දූවිල්ලෙන් නැඟිට්ට
මං වැනි දැරිවියකට - කිරුළක බර දරන්න බෑ!
කිතුලේ මල වාගේ - ලෙළදෙන මඳ සුළඟට -
සිකි පිළ නීල වරල - නිතඹේ දඟ කළාට
දුටු මනතින් බැඳෙන්ට - ඇත් දළ පාට උරුම නෑ
මුතු ඇට දසන් දෙපෙළ - ඉඟ සුඟ පුළුල් උකුළ
සරිලන උසට මහත - ඒත් සුදු හම තිබුණෙ නෑ ඉතිං
තරඟෙට යන්න බැරිවුණා - රැජිනක වෙන්න බැරිවුණා
සරසවි ආව කලට - කෙල්ලෝ රැග දෙනකොට
“ගොතනව කොණ්ඩෙ හිරට - අඳිනව ගවුම දිගට
කොටට හිරට ඇඳල ආවේ - කොල්ලෝ දාගන්නටද?"
කෙල්ලෝ හිනහුණා මට
ලෙක්චර්ස් යන එන කොට - හිල්ඩා ගහ යට රැක
කොල්ලෝ එනවා දැළ එලන්නට
“ඇයි මේ ආඩම්‍බර? උඹ බං මාලිනීද?
පුණ්‍යද, නැත්නං සුවර්ණද?”
අම්මපා එහෙමත් ඇහුවා!
සමහරු කීවෙ මට “යකා” - එහෙමත් නැත්තං “ගොරකා’!
“හිච් වෙමු” කීව ගමන් - මට දැන් දෙගිඩියාව!
“කැතනං එපා වේවි! - බූට් එක කන්න වේවි!”
ආසයි බයයි වගේ - ඒ හින්දා "හා!" කියන්න බෑ
නියපොතු හෙමින් විකනවා - නිය’ගින් පොළොව කණිනවා
හොඳටම බැණුම් අහල - යන්තම් ෂේප් වෙලා "නාදන්" යනවා
සිප් සත ඉවර වෙලා - හොඳටම පදම් වෙලා
ගමරට වැඩම කළා - තනි පංගලමේ
කල් ගත වෙලා වුනත් - කිරුළක් උරුම වෙච්ච
කළු සුදු දුඹුරු පාට - මායිම් කරන්නෙ නැති
ඉස්කෝප්ප රැජිනයි මම දැන්!
මල්ලිකා එම් බණ්ඩාර
11. 02. 2018