Monday, 27 June 2022

අරගලේ

 


වසා මං පෙත් කොටු පවුරු  බැඳ 

ලවා කටු බැමි අවුරලා

සොරාගත් ලොව දිනාගන්නට 

වහල් කම සිත දුරලලා

 

එකාවන්වී පියාඹන්නට​

තටුසලන මගෙ දරුවනේ

නොකා කුසකට දිවා රෑදෙක​

මඟතොටේ රැඳි විරුවනේ

 

ගඳ කළල් මැඬ නැඟී දිරියෙන්

හිඳින නුඹලා දුටු වෙලේ  

කඩා වැටුණා මගේ හදවත  

පුතේ නුඹලගේ පාමුලේ

 

උපන් නූපන් දැයක අසිරිය

දකිනු රිසියෙන් තුන්හෙලේ

සුවහසක් නව​ මල් පිපේවා

දැයක නිවහල් විල් තලේ 

 

මල්ලිකා එම් බණ්ඩාර​

27. 06. 2022

Friday, 24 June 2022

ඇඳීම සහ ඇන්දවීම​

 තෙල් හිඳී ගිහින් පතුළට​

පහන් තිර ඇළී අළුයට​

යාන්තමට දැල්වෙන

ගිනි සිළුව වැනෙනවා

අතීත සිරි විභූතියක 

නෙක විසිතුරු ගුණ වරුණා

සුරංගනා කතා පෙළක 

මතක මැදින් තළු මරණා

පුරාවතක් වැටී 

මරණ මංචකයක දුක් විඳිනා 


සුවඳ දුම් දෙවා මොනවට​

 ​පව් කඳන් හුයෙන් බඳිනා 

සෙත් පිරිත් පැනින් දොවනා

අසපු මාළිගේ 

පංච කාම සම්පත් විඳ​

පෙරමුණේ වැඩිය යතිවරු

කෝටියක් උතුරු සංවර සීලෙ බිඳිනවා

 

දරා ගිනි පුළිඟු හිස මත​

ගොල්ල වරිගෙ රැකගන්නට

රාජකීය මැති ඇමතින්  

පේවීලා සපිරිවර  හා

කිරුළ රකින්නට​ 

තිරුපති වඳින්ට යනවා

 

හොර මුළ​ක් වැදී රජගෙට

කොල්ල කා සියළු යසිසුරු

තල්ලු කළෙන් රට අඳුරට​

ඇඳි වතත් තියා උගසට

යන්ට කල් ඇවිත් මඟ තොට​

අල්ල පා හිඟා කන්නට​

කොල්ලනේ වරෙව්!

 

පළඳලා සිරස මල් දම්

නටා නෙක බහුරු කෝලම්

වළඳලා නේක කම් සුව​

පිරිහිලා කරපු පෙර පින්

ඉරාගෙන සළුව සබයේ

යම පුරේ යන්ට 

නිරිඳුන් දවස් ගණිනවා

 

මල්ලිකා එම් බණ්ඩාර​

1.02.2022

Friday, 17 June 2022

කලියුගේ

 



දින සති මස් ගෙවුණි දරුවන් මඟට වෙලා

ඉත්තෑවෝ ගුලට අණසක පතුරවලා

ගිනිගත් රට නිවන මංපෙත් ඉවත හෙලා

ඌරෝ මඩ තළති ගාලට එකතුවෙලා

 

අටුකොටු හින්දුවෙන් පාලක හොරදෙටුවෝ

සාධාරණය ඉල්ලති පුරවැසි දරුවෝ

උන්හට​ ගිනි බිඳිති අවිගත් නිලදරුවෝ

ලේ රස විඳිති රට කරනා අම්බරුවෝ

 

කන බොන යනෙන හැම දේටම දුනු විද්ද​

පාලක පැළැන්තිය රටටම දුන් සුද්ද​

යහතින් මැදුරු වල නිදි, නැතුවම සද්ද​

ලඟදිම ගහයි අපෙ ඇඳි වතටත් බද්ද​

 

මල්ලිකා එම් බණ්ඩාර​

23. 04. 2022

  

ශුද්ධවූ සළුව​

 


පයින් මැඩ විසකුරු සපුන් හිස​

රෙදි කඩින් දෙනුවන් වසා බැඳ

සුරත රැඳි අසිපතේ මුවහත​  

නොබැලුයෙන් නුඹ විණිදවෙස​ඟන? ​

 

ධවල පිරුවටයට මුවාවී

මුව අගුළුලා හිරි ඔතප් බිඳ​

රුහිරු පැල්ලම් මැකෙන්නට වත​

නිදොස් කොට නිදහසක් කුමටද​?

 

මළ බැඳුන අසිපතේ මුවහත

දිදුළු දෙයි අසපුවේ දසඅත  

දැලේ පැටළුන තෝරු මෝරුත්

තුලාවෙන් පැන යන්න දඟලත​

 

පැහැර ගෙන අතරැඳි තරාදිය​

කිරා මැන දන, ධන නිදන්

නුඹව අපහරණය කරපු උන්

දංගෙඩියටම දක්කපන්!

 

උත්තරීතර පුස්තකේ කෙළසා

ඉරා පත් ඉරු මකාදා වැකි

සිහසුනේ හිඳ​ ගැසූ කරණම් ​

විත්ති කූඩුව අයිලයෙන් බැස​ ​  

සිපිරිගෙයි දොරටුවට ගාටත​

 

නිමාවි දෙතොලත රැඳුන විත​

හලාහල විස මුවග තැවරෙත​

ගැල හඹා යන විලස රියසක​

ලෝ දහම විනිසුරෙකු වී ඇත​   

 

 

පසිඳලන නීතියේ අබිමත

අරා හිඳි දෙවඟනගෙ දෙවොලත​

දුහුල් සළුවේ ඉස​ කළල් මඬ​ ​

තුලාවේ රන්මසු ගැටෙන හඬ​

තවත් නම් නෑසිය යුතුව ඇත​!

 

මල්ලිකා එම් බණ්ඩාර​

28. 05. 2022

Thursday, 16 June 2022

නවෝදය​



තළා කටු සැමිටියෙන්

මඟ දිගේ අඩනිරුවතින්

ලොවක් අභියස දූෂණය කර​

කෙළගසා ඇණ ගසා

කුරුසගත ක​ළ​ මියැදෙන්න

දේශයේ ආත්මය

උත්තානවී හිඳී

පණගසා නැඟිටින්න

මුවදොරින් ගිඟුම් දී

අහස් ගැබ පුපුරන්න​

නිදහසේ  විරු ගීත​

සිසාරා ජපවෙන්න​

වහල් බැමි සිඳ දමා

විලංගුව බිඳ ලන්න​

දැන් ඉතින් කාලයයි

නවමු මල් පූදින්න​

 

 මල්ලිකා එම් බණ්ඩාර​

21. 04. 2022

යුග මෙහෙවර​

 




පිරියම් කරපු සිත් පිත් නැති ගිනිදණ්ඩ​

උණුසුම් කරනු ඇති සීතල වෙඩිඋණ්ඩ

දම්සක පැළඳි  උරතල මත​ අනුකණ්ඩ​

හරවන්නට එපා මැදහත්වී ඉන්ඩ​


වෙඩිමුර තියා බිහිදොර ළඟ රජමැදුරු

එඩිතරකම මිසක් අත නැති ගල් මුගුරු

සිහධේනුවක සේ පිරිවර හා ගිගුරු

දෙමි හිරුණිකා බලකායට මල් පොකුරු!

 

දොර දොර දූ පුතුන් උහුලා සාගින්න

මොරදෙන කොට හැකිද​ මවකට ඉවසන්න?

බැණ අඬගසා සළුපිළි ගලවා ගන්න ​

නිවටුන් වුණා රට කෑ පාලකගොන්න

 

අව් වැහි කකා පෝලිම් වල දුක් විඳිනා

පියවරු මඟ මියෙති නොමැතිව හව්හරනා

හොර දෙටුවෝ විඳිති සුව පහයෙහි යෙහෙනා

දින ඈතක නොවේ තොපි දෙදණින් හොවනා

 

අපරාජිතව රැකගන්නට හෙළ දෙරණ

තිර අදිටනින් කඳවුරු බැඳ වෙර දරණ​

ජාතික අරගලය නව ජවයෙන් පිරුණ​

පෙරමුණ ගෙන හිඳී ගජතුන් කැළ තරුණ

 

අව් වැහි හුළං මුදු මල් පියවිලි වේවා

දළ රළු දිය අහර දිව බොජුනක් වේවා

දරුවෙනි, යෝධ සවිබල පිරිපුන් වේවා

අපරාජිත දැයක ජය ටැම් ඉදි වේවා

 

මල්ලිකා එම් බණ්ඩාර​

27. 04. 2022

ගෝටාගෝ ගමට අස්නක්!






 නිදිගැට හැර නැඟී ගජතුන් දළ බිඳිමු

රුපුනොද බිඳින අසිපත් දුනු හී හදමු

උරතල පසා කර ඒ කවි ගී විදිමු

ජන අරගල බිමේ හෙට දිය දද නඟමු!

 

මඩ ගොහොරුවෙන් ලක්මෑණිය ගොඩගනිමු

සූකර රැලම අවමානෙන් පිටුදකිමු

නව යුගයකට නව මංපෙත් ඉදිකරමු

පෙරදිග මුතු ඇටය බැබලෙන්නට හරිමු

 

අභිමානවත් ජාතියකට දුන් සෙවණ

නරාකාදියක් කළ ​​මිහිමත​ ගිනි ගැනුණ

සොරමුළ හඹන්නට මඟ​​ පෑගුන වැටුණ

දුහුවිලි ගසා නැඟිටිව් දරුවෙනි තරුණ!​

 

මල්ලිකා එම් බණ්ඩාර​ 

26. 04. 2022