පිරියම් කරපු සිත් පිත් නැති ගිනිදණ්ඩ
උණුසුම් කරනු ඇති සීතල වෙඩිඋණ්ඩ
දම්සක පැළඳි උරතල මත අනුකණ්ඩ
හරවන්නට එපා මැදහත්වී ඉන්ඩ
වෙඩිමුර තියා බිහිදොර ළඟ රජමැදුරු
එඩිතරකම මිසක් අත නැති ගල් මුගුරු
සිහධේනුවක සේ පිරිවර හා ගිගුරු
දෙමි හිරුණිකා බලකායට මල් පොකුරු!
දොර දොර දූ පුතුන් උහුලා සාගින්න
මොරදෙන කොට හැකිද මවකට ඉවසන්න?
බැණ අඬගසා සළුපිළි ගලවා ගන්න
නිවටුන් වුණා රට කෑ පාලකගොන්න
අව් වැහි කකා පෝලිම් වල දුක් විඳිනා
පියවරු මඟ මියෙති නොමැතිව හව්හරනා
හොර දෙටුවෝ විඳිති සුව පහයෙහි යෙහෙනා
දින ඈතක නොවේ තොපි දෙදණින් හොවනා
අපරාජිතව රැකගන්නට හෙළ දෙරණ
තිර අදිටනින් කඳවුරු බැඳ වෙර දරණ
ජාතික අරගලය නව ජවයෙන් පිරුණ
පෙරමුණ ගෙන හිඳී ගජතුන් කැළ තරුණ
අව් වැහි හුළං මුදු මල් පියවිලි වේවා
දළ රළු දිය අහර දිව බොජුනක් වේවා
දරුවෙනි, යෝධ සවිබල පිරිපුන් වේවා
අපරාජිත දැයක ජය ටැම් ඉදි වේවා
මල්ලිකා එම් බණ්ඩාර
27. 04. 2022
No comments:
Post a Comment