පයින් මැඩ විසකුරු සපුන් හිස
රෙදි
කඩින් දෙනුවන් වසා බැඳ
සුරත රැඳි
අසිපතේ මුවහත
නොබැලුයෙන් නුඹ විණිද වෙසඟන?
ධවල පිරුවටයට
මුවාවී
මුව අගුළුලා
හිරි ඔතප් බිඳ
රුහිරු පැල්ලම්
මැකෙන්නට වත
නිදොස් කොට
නිදහසක් කුමටද?
මළ
බැඳුන අසිපතේ මුවහත
දිදුළු
දෙයි අසපුවේ දසඅත
දැලේ
පැටළුන තෝරු මෝරුත්
තුලාවෙන්
පැන යන්න දඟලත
පැහැර ගෙන
අතරැඳි තරාදිය
කිරා මැන
දන, ධන නිදන්
නුඹව
අපහරණය කරපු උන්
දංගෙඩියටම
දක්කපන්!
උත්තරීතර
පුස්තකේ කෙළසා
ඉරා පත් ඉරු
මකාදා වැකි
සිහසුනේ හිඳ
ගැසූ කරණම්
විත්ති කූඩුව
අයිලයෙන් බැස
සිපිරිගෙයි
දොරටුවට ගාටත
නිමාවි දෙතොලත
රැඳුන විත
හලාහල විස
මුවග තැවරෙත
ගැල හඹා යන
විලස රියසක
ලෝ දහම විනිසුරෙකු
වී ඇත
පසිඳලන නීතියේ අබිමත
අරා හිඳි දෙවඟනගෙ දෙවොලත
දුහුල් සළුවේ
ඉස කළල් මඬ
තුලාවේ රන්මසු ගැටෙන හඬ
තවත් නම් නෑසිය යුතුව ඇත!
මල්ලිකා එම්
බණ්ඩාර
28. 05.
2022
No comments:
Post a Comment