Tuesday, 14 June 2022

සුභප්‍රාර්ථනා

 1948 න් පසු  නිදහස් ශ්‍රී ලාංකාවේ එදා මෙදා තුර පැවති සම්ප්‍රදායික  සමාජ ආර්ථික සහ දේශපාලන සංස්කෘතිය ට ඉඳුරාම වෙනස්, නවජනවිඥානය පදනම් කරගත් දේශපාලන දැක්මක් දැන් අවශ්‍යව ඇත​. ගෝටාගෝ ගමේ කතාබහට ලක් වෙන්නේ එවැනි නව සමාජ විඥානයක් නිර්මාණය කළ හැකි පසු බිමක් සකස් කර ගැනීමේ අවශ්‍යතාවයයි. පැය 48ක් තුළ දැවී ගිය මහ මැදුරු වල හිඳ සුඛවිහරණ විඳින, පොදු ජනතාවගෙන් ඈත්වූ ස්වාමීන් ගෙන්   පාර්ලිමේන්තුව සමන්විත පිරුණ වරප්‍රසාද ලත් පන්තියේ පාලක පැළැන්තියක් වෙනුවට, සාමාන්‍ය ජනතාවගේ සිතුම් පැතුම් දුක්ඛ දෝමනස්සයන් තේරුම් ගත හැකි ජනහිතකාමී නියෝජිතයින් ගෙන් සැදුම් ලත් ජනතා පරමාධිපත්‍යයට ගරු කරන ජන නායකයින් ගේ එකතුවකි. රාජ්‍ය දේපළ අවභාවිත නොවන්නට​, දූෂණය හොරකම නාස්තිය පිටු දකින ආකාරයේ උගත් බුද්ධිමත් වෘත්තීකයින්, ඒ ඒ ක්‍ෂේත්‍රයේ නිපුණත්වයක් ඇති, දැනුම සහ ඇත්දැකීම් සහිත පුද්ගලයින් තෝරා පත්කර ගැනීමට ඡන් දායකයාට හැකිවනසේ නාමයෝජනා දීම පක්‍ෂ නායකයින් ගේ වගකීමකි.

අන්තර්ජාලයේ සැරිසරණ නූතන තරුණ ප්‍රජාව ගේ චින්තනයේ නිම්වළළු හරහා යාමට සැබැවින්ම වැඩිහිටි පරම්පරාවේ බහුතරයක් අපෝසත්‍ ය​​. වැඩිහිටියන් පාරම්පරික ​"අපේ පක්‍ෂය​" බලයට පත්කිරීමට උනන් දුවන අතර​, නව තරුණ පරම්පරාවේ අභිලාශය වන්නේ, අනාගත ලෝකයේ තමන් ස්ථානගත විය යුතු තැනට ළඟාවීමට මං පෙත් පාදා ගැනීමට උපකාර  කරන ප්‍රතිපත්ති මාලාවක් අතට ගත් දේශපාලන නායකයින් ය​.  සමාජ ආර්ථික දේශපාලන ස්ථාවරත්වයක් සහිත රටක, නීතිය ඉදිරියේ සමාන පුරවැසියන් ලෙස, සුරක්‍ෂිත අනාගතයකට උරුමකම් කිවහැකි  සමාජ වාතාවරණයක් නිර්මාණය කළ හැකි නායකයින් රාජ්‍යතන්ත්‍රය මෙහෙයවීම ඔවුන් ගේ ප්‍රාර්ථනයයි.

මේ අපේක්‍ෂිත ප්‍රමිතිය රටේ ඉදිරි අනාගතයේ සමාජයේ සෑම තලයකටම ව්‍යාප්ත කළහැකි සක්‍යතාවකින් හෙබි, යාවත්කාලීන අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කRඅගැනීමට වග බලාගත යුතුය​.

69 ලක්‍ෂයක් කරපිටින් ගෙනවිත් ඔටුණු පැළඳවූ මහලු වෘෂභ රාජයා දැන්වත් බිම අතෑර එළවා දැමියයුතු කාලය එළඹ ඇත​. ලෝහිත වර්ණ කරපටිය පැළඳ සුදු සළු පිළියෙන් සැරැහී වජ්‍රායුධයක් අතදරා සිටි ලේ පිපාසිත පිසාචයා, රැහේඋන් සමඟ ලෙනහැර පළාගොස් ඇත​.  මේ වන විට විනාශ වෙන හැම ජීවිතයක්, අලාභ හානිවෙන හැම නිශ්චල චංචල දේපළක්, දැල්වුණ හැම ගිනිපුපුරක්, ගිනිදළුවක්ම; මේ නිහීන තුච්ඡ පිසාචයාගේ පූර්ණ අනුග්‍රහයෙන් ආශීර්වාදයෙන් උත්පාදවූ සැළස්මක අතුරු පල බවට කරුණු කාරණා එළිදරව් වෙමින් පවතී. කෲරත්වයේ ප්‍රචන් ඩත්වයේ සැබෑ ස්වභාවය ප්‍රදර්ශනය කරයි.

උහු, ජාතිය සහ ජාතිකත්වය​ ගර්හාවට ලක් කළේය​​. මනුෂ්‍ත්ත්වය හෘද සාක්‍ෂිය පාච්චල් කළේය​. ආගම ගර්හාවට ලක්කළේය​. ශ්‍රී ලංකා වාසී ජනතාව ජාති ආගම් කුල පන්ති සහ පළාත් ආදී කී නොකී ලොකු කුඩා අංශු බවට කඩා බිඳ දමා භේද භින්න කළේය​. අන්තිමට යන යකා කොරහත් බිඳ ගෙනම දුරීභූත විය​. මගේ සහෝදර ජනතාව ශෝකයෙන් භීතියෙන් ත්‍රාසයෙන් අවිනිශ්චිතතාවෙන් ඇළලිලාය​. ඇතැම් විට බලලෝභී කණ්ඩායම් පවතින අරාජක්ත්වය ප්‍රයෝජනයට ගෙන භීෂණය වපුරන්නට කුරුමාණම් අල්ලනවා ඇත​. සහෝදර ජනතාවෙනි, නොරැවැටෙන්න. උගුල් වලට අසුනොවන්න​. ඔබ විසින්ම බුදුන් වැඩිය දේශය යයි උදම් අනන, මා ඔබ උපන් මාතෘභූමිය ගිනිගෙන දැවෙන නිසරු මුඩු බිමක්, කාන්තාරයක් නොවන තැනට වගබලාගන්න​. තීන්දු තීරණ ගැනීමේදී පියෙවි සිහියෙන් කටයුතු කරන්න​.

 ඇස්පනා පිට පෙනෙන සත්‍යය නම්, අන්ධ භක්තියෙන් වන්දනාමානිතව ඔබ විසින්ම නීතිප්‍රකාරව, මංකොල්ලකාර පවුලකට මේ ආදරණීය දිවයින සිතැඟි පරිදි පරිභෝජනය කරන්නට ඉඩහැර සිටීමේ කටුක ප්‍රතිවිපාක අද අප අත්විඳිමින් සිටින බවය​.  දැන් අපි එකාවන්ව එක්වී අපේ වැරැදි නිවැරැදි කරගමු.  මං පහරන හොර මුළකට අසුවූ අපි මේ සුන්බුන් අතරින්, අළු මතින් නැඟිට විනාශය පිටුදකිමු. අපේ ජාතික දේපළ සහ උරුමයන් ආරක්‍ෂාකර ගැනීමට  සාමකාමීව සහයෝගයෙන් එක්වෙමු. මේ රට ඔබේ දරුවන් ගේ මාතෘ භූමියයි. මේ ඔවුන් ගේ උරුමයයි. ඒ ඔවුන් ගේ අභිමානවත් දේශය බවට පත් කරන්නට පෙළ ගැසෙමු. විනාශය පිටු දකිමු. සහෝදරත්වයේ  ළබැඳියාවෙන් අත්වැල් බැඳ එකම දැයක එකම දේශයක උදාර මිනිසුන් මෙන් සාමකාමීව නැඟී සිටිමු. ඒ අපේ රට​, අපේ අනාගත දූදරුවන් ගේ සුභප්‍රාර්ථනා මල්පල් ගැන්වීම සඳහාය​. ශ්‍රී ලාංකා වාසී සහෝදර සහෝදැරියෙනි, එකිනෙකා කෙරෙහි  ගෞරවයෙන් ප්‍රේමයෙන් සමඟියෙන් එක්වෙමු!

 ශ්‍රී ලාංකික සහෝදර ප්‍රජාවට ජයවේවා!

 මල්ලිකා එම් බණ්ඩාර​

11.05. 2022

No comments:

Post a Comment