Wednesday, 30 January 2019

හීනෙකින් අවදිව


ජීවිතය හීනයක් වගෙයි. හීනයේ ජීවත් වනතාක් එය සුන්දරය​. ඇතම් විට භයංකරය​. හීනයෙන් අවදිවූ පසු දැනෙන ත්‍රාසය ඇඟ කිලිපොලායයි. හිතට දැනෙන බර දැරිය නොහැකි තරම්‍ ය​. මට දැනෙන්නේ හතුරන් පිරිසක් මැද මා තනිකර දමා මාහා එක්ව සිටි අය පළා ගිය සෙයකි. දහසකුත් එකක් නින්දා අපහාස ගල් කැට, පොලු, මුගුරු බවට පත්ව මා දෙසට එල්ල වෙයි. ශරීරයේ කොතැනකට වැදුණත් රිදෙන්නේ මගේ හිතටය​. මගේ හදවතටය​. මා බේරා ගැනීමට කිසිවකුත් යළි නොඑන බව මම දනිමි. මා සමඟ එකට හීනය තුළ ජීවත්වූ අය ඔවුන්ගේ දැනිමකින් තොර සහබාගිත්වය ගැන අවබෝධයක්, වගකීමක් පිළිබඳ අල්ප මාත්‍ර දැනුමකුදු නැති බැවින් යළි යළිත් අනුන්ගේ හීන තුළ ජිවත් වනු ඇත​. අනුන් ගේ හීනයක ජීවත් වීම යනු හීනයේ එක් වියමනක් මිස සජීවී සහබාගිත්වයක් නොවන බැවින් හීනය අවසානයේ අත්විඳින වෙහෙස​, දුක හෝ බර  ඒ ඒ භූමිකා විසින් අත්නොවිඳිනු ඇත​. 

හිනය දුටුවේ මම නම්සැබැවින්ම මට කිසියම් කෙඩෙත්තුවකට සමාන දැනීමක්, හැඟීමක් අත් විඳින්නට සිදුවෙ.
නමුත් ජීවිතේම දුකකි​. ඉපදීම කොහොමත් දුකය​. දුකෙන් ඉපදිලා දුකම වළඳලා දුකේ ජීවත් වෙලා ඒක ඇති තරම් ජීවිතේට පදම් වෙලාය​. මේ හේතුව නිසා මම අනුන්ගේ ගර්භාවට ලක් වෙලා තියෙනව ඇති පදම්. ඒක ඒ අය මාව වරදවා තේරුම් ගත්ත නිසා මිස හැබෑවටම මා ගැන තේරුම් අරන් හෝ අඩු තරමින් මාව තේරුම් ගන්ට උත්සාහ කරලාවත් කරපු නිගමනයක් නොවේ. සමහර විට කෙනෙක් හිතන්න පුළුවන් කෙනෙකු සතුව ඇති දුක දරා ගැනීමේ ශක්තිය මුරන්ඩු කමක් නැත්නම් නොසැලැකිළිමත් කමක් කියල​. පවතින තත්වය වෙනස් කරන්න හැකි හැම උත්සාහයක්ම දරලා ඒ උත්සාහය නිශ්ඵල නම් ඉතින් කම්පා වෙලා කලකිරිලා ජීවිතේම කැට තියනවට වඩා හොඳ නැද්ද ටිකක් නිස්කලංකව වෙනත් විකල්පයක් පෙනෙන තුරු ඉවසන්ට, තේරුම් ගන්ට පුරුදු වෙන එක​.

සමහර වෙලාවට අපි නොහිතන අරුම පුදුම දේවල් මතුවෙනව. ඒවගේම මහ මරි මෝඩ දේත් අනාවරණ​ය වෙනව​. ඉතින් එතෙන්දි ටිකක් ඔළුව පාවිච්චි කරන්ට පුළුවන් වුනොත් ගොඩ​. නැත්නම් ඉතින් අර කබලෙනුත් ලිපටමයි. ඕන තරම් ඒ වගෙ දේවල් වලට මුහුණ දීල අත්දැකීම් ලබපු පුරුදු මට තියෙනව​. නැවත හදන්ට බැරි වැරැදි වගේම වැරැදුන තැනින් නැඟිටලා ජීවිතයේ ඉතාමත් ප්‍රශස්ත දේවල් අර කලින් කියපු දුක නිහඩව වැළඳීමේ ප්‍රථිඵලයක් විදියට කරලියට ආව අවස්ථා තියෙනව​.
දුකේදිත් බොහෝවිට විපතේදීත් හිනාමුසුව ඉන්ට තරම් දැන් මගෙ හිත වියපත් වෙලා. ඉතින් එහෙම අර ඇඬිය යුතු වෙලාවක හිනාමුසුව ඉඳීම කෙනෙක් නිර්වචනය කරන්ට පුළුවන් මගෙ තියෙන තක්කඩිකම කියලා. ඒක ඒ අයගෙ නිදහස​. ජීවිතේ කියන්නෙ ජීවිතේට අයත් කුදු මහත්දේවල්, ඒ කියන්නෙ දුක වෙන්න පුළුවන් , සතුට හෝ බලාපොරොත්තු කඩා වැටීම් වෙන්න පුළුවන් වෙන්වීම්-එක්වීම් නැත්නම් හිත තළා පෙළා දමන විරහයන් වෙන්ට පුළුවන්. ඔය කොයි එකටත් තනිව විඳ දරා ගැනීම නිසා මගේ හිත ඉතාමත් ශක්තිමත්. අනික් අතට මට දැනෙනවා සාමාන්‍ය විධියට කෙනෙකුට දැනෙනවට, තේරෙනවට වඩා සියුම් විදියකට​. ඒ සංවේදීකම මම කාලයක් තුළ කරන ලද අභ්‍යාසය නිසා අත්කරගත් දෙයක් නිසා අනික් අයට ඒ මම සිටින ස්වභාවයෙන් නැත්නම් තත්වයෙන් තේරුම් ගන්නටත් හිතන්නටත් අමාරුයි. වෙනත් වචනයකින් කීවොත් මගේ චිත්ත ස්වභාවය ග්‍රහනය කරන්ට අපහසුයි. මගෙ අත්දැකීම් වෙනස්. මං යමක් දිහා බලන විදිය, එය විඳින විධිය වෙනස්. ජීවිතේ ඉවසා දරාගෙන යන්ට පුළුවන් වෙන එකත් එක අතකට ප්‍රසංශනීය දෙයක්!

 මම ජීවිතය දකින විධිය​ හැඩ ගැසිලා තියෙන්නෙ විවිධ පුද්ගල හා සමාජ තලයන් වල ජීවත් වුණ, ජීවත් වෙන අය සමඟ පැවැත්වූ ආශ්‍රය තුළින් ඇතිවූ සමජ අගයයන් වල වෙනස්කම් නිසා විය හැකියි. මගේ අධ්‍යාපනික පසුබිම විසින්  මට ලබා දුන් පරිචය සහ චින්තනයත් විය හැකිය​. අනෙක් අතට​ සංස්කෘතික අගයයන් විසින් හැඩගස්සන ලද හික්මීමත්, අත්දැකීම් සහ  මනුෂ්‍යත්වය විසින් එකතු කරන ලද වටිනාකමුත් මා නැමති සත්වයා ජීවියෙකු ලෙස නිර්මාණය කර ඇත​. එවන් සත්වයෙකුට සහරාව දිගේ බොහෝ දුර ඇවිද ගෙන යාමට ජීවය තිබේ. සාගර වෙරළක සැඩ රළ පතරින් නිරන්තරව  පහර කන කළු ගලක් මෙන් ඉවසා දරා සිටීමේ අපූර්ව ශක්තිය තිබේ.

ආගමානු කූලව හැසිරීම මිස ආගම සාටකයක් ලෙස මා කෙදිනකවත් පාවිච්චි කර නැත​. මන්ද, ලෝකයේ ප්‍රධාන ආගම් පිළිබඳව දළ වශයෙන් අවබෝධයක් ඇතිකර ගැනීමට තරම්  මනස විවෘත කිරීමට පැකිලීමක් නොවූ බැවින් සෑම ආගමකටම ගරු කිරීමේ හැකියාව ඇත​. ආගමක් යනු සමස්ත ලෝක ප්‍රජාවටම ඇතුළු විය හැකි, ජීවිතයේ වෙහෙස නිවාගැනීමට උපකාර වන විවෘත බිම් කඩක් විය යුතුව ඇත​. ආගම එකිනෙකාට සින්නක්කර ලියා ගෙන උරුමක්කරයින් බව කියන මුත් ආගමනුකූලව නොහැසිරෙන පාපතරයින් ගේ කෙළිබිමක් නොවිය යුතුය​.

අන්දකාරයේ සැරිසරන​ දනන්හට මුදා හල ආලෝකයක් වැනි, කාලාන්තරයකින් එළිදරව් වන ලෝක සත්‍යය​ වහන් කළයුතු දෙයක් නොවේ. බුදුන්වහන්සේ දේශනා කළේ "පඥා උදපාදි- ආලොකො උදපාදි..."  යනුවෙනි. ජේසුස්වහන්සේ දේශනා කළේ "පහන, නිවස ආලෝකමත් කිරීමට මිස සඟවා තැබීමට නොවේ" යනුවෙනි. එම ශාස්ත්‍රූවරුන් තම දර්ශනය දේශනා කළේ මනුෂ්‍යයාගේ යහපතටය​. අද ඒවා අත්පත් කරගත් උරුමක්කාරයෝ ඒ ආලෝකයේ උල්පතම අපවිත්‍ර කරති.

මොනඅන්දමේ වාසිදායකහෝ අවාසිදායක මට්ටමේ පැවතුනත් ම මගේ ජීවිතයට බෙහෙවින් ආදරය කරමි. ගෞරව කරමි. ඒක මගේ කීවට,​ මට අයත් දෙයක්නෙවෙයි. එය පිරුළට ගත් සුදු පිරුවටයක් වගෙයි  හරියට​. ආපහු අයිතිකාරයාට දෙනකොට ගත්විදියටම දියයුතුව තිබෙනව​. ඒ දවස එනතුරු පරිස්සමෙන් පරිහරණය  කළ​යුතුව තිබෙනව​. පිළිකඩ වියන්ට, අපූරු සළුවක්වගේ  හැඩවැඩ දාලා නියමිත හැඩයකට නිර්මාණය කරන්ට දායක වුණ තැනත්තාට ආපසුදෙන කොට  ප්‍රශස්ත මට්ටමක තියා ගැනීමේ  වගකීමක් මට තියෙනව​. යුතුකමක් තියෙනව​.

ඒ නිසා මම අනුන් ගේ හීනවල සළුවක්, පෙරවනයක්, අත් පිස්නාවක් වෙන්ට අකැමතියි. බැරිවෙලාවත් මම එවැනි කාරණාවකට නොගැනීම සඳහා අවධියෙන් ඉන්නට තීරණය කළා. 

මල්ලිකා එම් බණ්ඩාර​

1 July  2015

ජීවිතය සුන්දරද මෙතරම්?


ජීවිතය සුන්දරද මෙතරම්
සිතුන හැම මොහොතක්ම පාසා
එහි අඳුරු රළු රුදුරු හැඩතල
වසා සිත් ලෙන​ ඇඳෙයි සිතුවම්  

කඳුළු තොටමුණ ඉවුරු අවුරා
ඉකිබිඳුම් මාරුතය​ වලකා
බලා සිටියෙමි කප් සකක් කල්
ඒත් නුඹ ගැබ පාළුවී ඇත​

දුලා පැතුමක නුදුරු නිමෙසක
සොඳුරු ආගමනය පතාගෙන
අසංකෙය්‍යක් සිහින ගොනු කර 
පැතුම් ඔලොගුව කර  තියා ගෙන​
මහා ගිරි හෙල් වගුරු පසු කර
දුරු තර එකහිත දරාගෙන​
ගමන් කළ මුත් නොවැටහෙයි
කුමක් ලුහුබැන්දාද යන වග​ ​

දෙවුර කකියන තුරා ආමුත්
ඔලොගුවේ සුන්බුන් දරාගෙන
ගෙනා හැමදේ පලක් නැති බව​
මඟ නිමාවන තුරුම නොදැනිණි.

දුකම උපයා දුකම වළඳා
එයම ලුහුබැඳ හඹා ගිය වග
පසක් විණි මොහොතක​දි විනිවිද
පළිඟු දිය උල්පතක්වී සිත

වළාහක සළු පිළි ඉරාගෙන​​  
වෙළුණ​​ මායා දැලින් මිහිමත​
ජීවිතය යනු අකුණු සැණකින්
අඳුරු රැයකදි දුටුව අබටෙක

මල්ලිකා එම් බණ්ඩාර
07. 08. 2016 4.49am



Tuesday, 22 January 2019

මියැදුන තාරකා

හන්තානේ කඳු සිරසේ - එබී බලන දුර අහසේ
පීදෙන තරු මල් යායේ - නුඹ සැඟවී ඇතැයි හඟිමි
දිළී නිවී යන තරු වැල් - බොඳවී යන අයුරු දකිමි
උගසට දුන් අතීතයට   - පණ පිඹින්න​ සුසුම් හෙලමි

කල්ප කාලෙකට ඉස්සර - මියැදුන  තාරකාව
දිදී එළිය මගේ නෙතට​ - යදී යළිත් පායන්නට
ඉරා දමා සිහින සළුව - නිවා දමා පහන් සිළුව​  
මැදුරු දොරේ ලියා තිබුණි - නුඹට පිදූ පෙමට මිලක්

පෑරුණ හිත නළවන්නට​ - යදිනා මිමිණුමක් වගේ​
අහංකාර නෙතු සඟළේ   - කඳුළක් දිළිහුණා දුටිමි
කාලයෙ වැලි තලා මතින් - මිලානවූ කැකුළු මලක්
බලා හිඳි මෝදු වෙලා  -  පීදෙන්නට නවමු විලක්



මල්ලිකා එම් බණ්ඩාර​
3. 01. 2019

Monday, 21 January 2019

දූවිල්ල​


ඉසට සෙවනක් වෙන්න
නීල විල්ලුද වියන අතුරාපු
දිවා රෑ මායිමේ හිරුද​ සඳු රඳවාපු
සප්ත සාගර තටය කඩ ඉමේ
මිහිමඬළ සිටවාපු
තාරකා මණ්ඩල
මුතු අහුරු රටාවට​ සරසාපු
ඔබ  කව්ද නොදත්මුත්,

ගලන දිය වැල් අසල​
හමන මඳ නල රැඳුන​
සුවඳ මල් ගොමු අතර
හිඳිමි ඔබ දැක ගන්න

විශ්වයේ අරුමය​
විඳින්නට අපව​ මැවූ
කලාකරුවාණෙනි
අයා විශ්මිත දෑස
බලාහිඳිනා මම​
පියෙවි ඇස නොගැටෙනා
හීනි දූවිල්ලක්මි.​

මල්ලිකා එම් බණ්ඩාර​
21. 01. 2019



රන් දෝලාව​

දසක තුනකට කලින්
මගේ දෝතට වැඩිය​
නුඹ මගේ රෝස මල
පිපී හිනැහුන දිනෙන් දින
සුවඳවත් කර මහද උයන් තෙර​ 

පුංචි හා පැටික්කී වගේ දුව පැන ඇවිද​
කවි සින්දු අමබින්දු තැවරුවා මා සවණ​
ළමා විය නිමාවිය යොවුන් විය ළඟාවිය
දිනක්ඉරණම් කුමරු 
නැඟී සුදු අසෙකු පිට​
ඈත දුරු දේසෙකින්
ඇවිත් අපෙ දොරකඩට
​අරන් ඉගිළී ගියා
මගෙ හංස කුමාරිය​

එදා දුන් පොරොන්දුව​
මතක ඇත්නම් නුඹට
අනේ ඇවිදින් යන්න​
රන් කරඬුවක් වගේ
මගෙ පුංචි මුණුබුරා
මගේ දෝතට  දෙන්න​

තොටුපොලේ සුනංගුව 
ඉඳී ​නොව​ තොටියා
නොදන්නා තොටුපොළට​
ඇරැලවන්නට මාව​

රළ බිඳින කොල්ලෑව
නඟන හඬ ඇහෙනවා
මාරුවෙන් මාරුවට​
පාරු කවි ඇහෙනවා
සීරුවේ ගියොත් හිත හදාගෙන​
වාරු නැති හිතට සවි දැනෙනවා

දුහුල් සළු අතුරාපු
පුංචි රන් දෝලාව
මුණුබුරා හිඳුවාන ළඟ​ තැයි
බොඳ වෙච්ච මගෙ දෑස​
මඟ බලා ඉන්නවා 


මල්ලිකා එම් බණ්ඩාර 
21. 01. 2019






දුරුතු පුර සඳ


වළා විරහිත ගගන තලයේ
කලා සපිරුණ දුරුතු පුර සඳ
දුලා රන්සුණු ඉසින යාමේ
බලා රත් පැහැ ගැනෙන තුනු බඳ​
ඉබාගාතේ ඇවිද වෙහෙසී
අවදිවෙන හෙවැනැලි අතර හිඳ​
පෙරුම් පිරුවේ වෙලා ගන්නද​
ළයමඬල ​තෙරපෙන වියෝගය​?

ඉපිද මියැදෙන නැඟෙන​ බැසයන​
නොනිමි සිතුවිලි ගඟේ දළ රළ ​
අතර​ පාවී නොයන් දියඹට
චණ්ඩ මාරුතයේ පහර වැද​
ඉරා විසකුරු සිතැඟි නිරතුරු
වෙළෙන මායා තිමිර පට බිඳ​
බලන් ජීවිත නවාතැන්පළ​
කෙම් බිමක් සේ භව​ කතර මැද​  

වෘක දේනුවකගෙ විලාසෙන්
හඬා වැළපී මුලාවෙනු කිම​?
ජීවිතය යනු මියුරු ඔසුවකි
සසර ගමනේ වෙහෙස දුරැලන​


මල්ලිකා එම් බණ්ඩාර​

20. 01. 2019

Monday, 14 January 2019

​හුදකලා මන්දිරයේ මතකයන්



1990 දශකයේ මුල් භාගයේ දි, මහනුවර දළදා මාළිගා පරිශ්‍රය පෙනෙන දුරින් පිහිටා තිබූ රජයේ නිල නිවාසයක, අවුරුදු දෙකහමාරක් විතර අපි පදිංචි වෙලා හිටියා. මේ කාලය තුළ ඒ අවට සිදුවුණ බොහෝ සිදුවීම් කිසියම් කාල සටහනකට අනුව පටන් ගෙන උදේ සිට රාත්‍රිය දක්වා එකාකාරී ස්වරූපයකින් සියල්ල සිදුවුණායයි මම සිතමි. උදේ මා අවදිවෙන්නේ දළදා මාළිගාවේ තේවාමුරයට වැයෙන තූර්‍ය නාදයත් සමඟය​. 
සෑම උදෑසනකම සුදු පිරුවටයකින් වසා පූජාව සඳහා ගෙනයන කිරි ආහාරයත්, මල් පහන් සුවඳ දුම් ආදියත් අතැතිවතේවාව ඇරැඹෙන පසතුරු ගොසට අවනතව යුහුව මාළිගා පරිශ්‍රය කරා පිය මනින සැදැහැවතුන් මා ඇස ගැටෙන​ නිරන්තර දර්ශනයක් විය​.

උඩවත්ත කැළය​, හන්තාන කඳු පෙළ​ පිස හමා එන සුළඟ​ වැවේ රළ නඟින බහින  සිහින් හඬ සමඟ මුසුවිණි. ගත සිත සනහන  හීන් පවනැල්ල​ උදේ හවා විඳින්නට ලැබීම​ කොයිතරම් සුවදායකවීද​? ඒත් මුළු දවස පුරා පණ ගැහෙන කලබලකාරී නගරය රාත්‍රි කාලයේ අතිශයින් නිසංසලය​. සන්සුන්ය​. සඳ පහන් රාත්‍රිය පෙනුමෙන් ගුප්තය​. ඉඳ හිට අඳුරු අහුමුළු අතරින් එහා මෙහාවෙන ජීවීන් මිනිසුන්ද අද්භූත ජීවීන්ද යන්න තෝරා බේරා ගැනීම උගහටය​.

ඉරිදා දවස ආරම්භ​ වන්නේම අප්‍රමාණවූ පහන් සිතිවිලි සමුදායක් පිරිවරාගෙනය​. ශාන්ත පාවුළු දෙව්මැදුරේ වැයෙන පියානෝ (pipe piano) වාදනයේ මාධුර්ය්‍යය​  සිතට දනවන්නේ දිව්‍යමය​ හැඟීමකි. එකල පවා දෙව්මැදුරකින් ගැයෙන ගීතිකා මෙන්ම, වැයෙන සංගීත හඬ මා තුළ දැනවූයේ නික්මයාමේ පණිවිඩයක් පිළිබඳ හැඟීමකි. කවදා හෝ දිනක මා පුංචි සන්දියේ හිතේ සනිටුහන් වුණ දුක් ගීතයක රාවයක් ඒ  හඬේ තැවරී තිබුණා විය හැකිය​.  මේ සංවේදීතාව ට පසුබිම්වු නිශ්චිත හේතුවක් නොවුණි. ඇතම් විට​ මා පස් හැවිරිදි දැරියකව සිටියදී , කතෝලික බැතිමතියකවූ මගේ මුත්තම්මාගේ අවමංගල්‍යයදා මට ඇසුන ගීතිකාවක් යාන්තම් මගේ මතකයට නැඟුණා වන්නට ඇත​. 

උස් බිමක පිහිටා තිබූ නිවසේ විවෘත ආලින්දය මුහුණලා තිබුණේ ශාන්ත පාවුළු දෙව්මැදුර මැනවින් පෙනෙන ආකාරයටය​. නිවස පිටු පස මනරම් උද්‍යානයකි. සාමාන්‍ය මිනිසුන්ට ඇතුළුවිය නොහැකි මෙම ස්ථානය මා සිත තුළ දැනවූයේ කිසියම් ආකාරයක සිරගතවීමක් බඳු හැඟීමකි. අප මිනිසුන් ගෙන් දුරස්තවී හුදකලාවී ඇතැයි මා තුළ වූයේ මනස්තාපයකි. අවුරුදු එකසිය පණහකට ආසන්න ඉතිහාසයක් ඇති මේ නිවස්නය ගූඪ ස්ථානයක් යැයි මට දැනේ. ඇතැම් විට ඒ දිනවල හුදකලාව නිවසේ  සිටීමට මා තුළ වූයේ දැඩි අකැමැත්තකි. හිරිකිතයකි. ඊට හේතුවන්නට ඇත්තේ හොල්මන් අවතාර පිළිබඳ උද්‍යානයේ වැඩ කරන මිනිසුන් අතර ප්‍රචලිතව පැවති කට කතා නිසාම නොවේ. යටත් විජිත සමයේ සිට පැවතෙන මේ ස්ථානයේ කුමන ආකාරයේ සෝචනීය​, ත්‍රාස ජනක​, හිරිකිත සිදුවීම් සිදුවෙන්නට ඇද්දැයි මගේ හිතට දැනෙන හෙයිනි.

දෙව් මැදුර අභියස දැවැන්ත දොඹ ගසේ මල් පිපෙන කාලයට වැව දෙසින් හමා එන සිහිල් මඳ පවන් රැල් දොඹ මල් සුවඳ දවටාගෙන අපේ ආලින්දය සුවඳවත් කරයි. ඒ තුළ කිසියම් පූජනීයත්වයක් කැටිව ඇතැයි එවන් නැවුම් උදෑසනකදී මගේ හිතට දැනෙයි.
පැයෙන් පැයට වැයෙන දෙව් මැදුරේ හෝරා යන්ත්‍රයේ හඬ කිසියම් ගුප්ත වූත් ඓතිහාසිකවූත් ශෝචනීය ළතෝනියක් මෙන් මගේ සවණත පතිත වෙනු  දැනෙයි. ඇතැම් විට මම ඒ හඬ ගණන් කරමි. ඇතැම් විට මා ගණනය කර ඇත්තේ වැරැදියටය​. නිවස්නයේ බිත්ති ඔර්ලෝසුවේ වේලාව අඩ අඳුරේ වුවද මගේ නිවැරැදි භාවය තහවුරු කැර ගැනීම පිළිබඳ ඉඟියක් දෙනු ලබයි. ඒ අනුව මම මගේ ඉදිරි පැය ගණන සැලසුම් කළෙමි.

වරක් දිවයිනේ දකුණු භාගයේ උපන්  හැදුණු  වැඩුණු, පසු කාලයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ බෞද්ධ කාන්තාවක් මා සමඟ කීවේ, තමන් දන් පින් කරන්නේ නැවත උපදින ආත්මයකදී මහනුවර දළදා මාළිගාව ආසන්නයේ, දළදා මැඳුර ඇස ගැටෙන මානයේ උපත ලබන්නට බවය​. මා ඇයව උනන්දු කළේවත් අධෛර්ය​ කළේවත් නැත​. මිනිසුන් දන් පින් වල යෙදෙන්නේ දිනාගත නුහුණු තවත් ආශාවක් වෙනුවෙන් නම් එය කෙතරම් සෝචනීයද​? භවකතරේ සංචාරය සඳහා සංසාර දිගුවක් ලබා ගැනීමට වඩා නිවන යන උත්කෘෂ්ඨ නැවැත්ම සාක්ශාත් කර ගැනීම පසෙක තබා, මේ අත්භවයේදී මඟ හැරුණු විඳීමකට​ අප​ ලොබ බඳින්නේ ඇයිදැයි මම නොදනිමි. ආශාව ක්‍ෂයකරනු වෙනුවට​, එක් ආශාවකින් තවත් ආශාවකට, නැත්නම් එක් නවාතැන් පොලකින් තවත් නවාතැන් පොලකට මාරු වීම සසර දුක සඳහාම හේතු පාදක වන්නේමය​.

යන්තම් අරුණැල්ල පෙනුන සැණෙන් වැව​ අයිනේ, උස් මිටි හැම ගහකම ලැගුම් ගෙන රාත්‍රි කාලය ගත කළ කුරුල්ලන් නිදිගැට හැර දවසේ ආරම්භය සනිටුහන් කරන්නට පටන් ගනියි.  උන් උන්ට ආවේණික හඬින් තම තමන් ගේ සංගතය සමඟ දොඩමළු වන හඬ, කිචි බිචියකින් පටන් ගෙනඑකිනෙකා අභිබවා වර්ධනය වන​ ගාලගෝට්ටියක් දක්වා දීර්ඝ වන්නට පටන් ගනියි. වඩාත් උස් හඬින් ඇසෙන්නේ කාක්කන් ගේ හඬ වුවත්, එකිනෙකින් තොරා බේරා ගැනීමට නොහැකිවන තරමට ශබ්ද සංකලනය සංකීර්ණය​. තීව්‍රය.

උණුසුම් තේ කෝප්පයක් තොලගාමින් මම පොතක් කියවන්නට ආලින්දයේ වාඩිවෙමි. පොතට යොමු වුණ මගේ දැහැන නගරය දෙසින් ඇසෙන කුමන හෝ ආගන්තුක හඬකින් බිඳී යයි. එවන් විට මම මදක් හිස ඔසවා බලමි. එවන් උස් හඬින් කතා කරන හෝ සිනාසෙන මිනිසුන් අතර සැබවින්ම සතුටක් පවතිනු ඇද්දැයි මම අනුමාන කරමි. 

හැම උදේකම නුදුරින් පිහිටි හමුදා කෑම්ප් එකේ සොල්දාදුවන් ගේ දෛනික ශාරීරික​ අභ්‍යාස සදහා පිටත් වෙන  සුපුරුදු හඬ ඇහෙන්නට පටන් ගැනේ. පුහුණු කරුගේ රළු ර්ජන ගර්ජන සහ ක්‍ෂණික දඬුවම්ද ඇතුළත්ව​ “හොප්! හොප්!” විධානයට අනුකූලව ගැටෙන ඔවුන් ගේ පාවහන් හඬ නිවසට පහලින් ඇති මාවත දිගේ නගරය දෙසට ඇදී නෑසී යයි. ඔවුන් වැව රවුම වටේ ගමන් කරන දෙස මම මොහොතක් බලා හිඳිමි. එමෙන්ම සති අන්ත සන්ධ්‍යා කාලයන් ඔවුන් ගත කළ ආකාරය අපේ නිවසට ඇසේ.  ටින් බෙලෙක්ක බෝතල් සංගීත භාණ්ඩ වයමින් "සාජ්ජ දැමීමත්” අවසන  එකිනෙකාට බැන අඬගහ ගැනීමත් අපේක්‍ෂිත අංගයක් විය​. ඒ ඉඳහිට බෙදා හදාගත් බීම සැර වැඩි නිසා වන්නට ඇත. ඇතම් විට​ හඬන වැළපෙන තරුණ හදවත් ඔවුන් ගේ ජීවිත අභ්‍යන්තරයේ කැකෑරෙන පාළුව, දුක, කලකිරීම​ ගීතවලට පෙරලා ගයනු ඇසෙයි.​ ඒ හඬවල් සැබවින්ම දුක්බරය. පාන්දර යාමය දක්වාත් ඒ හඬ තුරල් වෙන්නේ නැත​. උසස් නිලධාරින් සති අන්ත නිවාඩුවට ගම් රට වල ගිය පසූ කෑම්ප් එකේ ඉතිරි වෙන සොල්දාදුවන් ඔවුන් ගේ නිදහස භුක්ති විඳින ආකාරය ඇසෙන විට​ කරදරයක් වුවත් ඔවුන් කෙරෙහි මා තුළ ඇතිවූයේ සානුකම්පික හැඟීමකි. 

මේ හැරුණ විට ඇඳී මැකීයන එවැනිම සුපුරුදු මතකයක් මගේ හිතේ කොනක තවමත් රැඳී ඇතමේ පියකරු දසුන දකින්නට මම බෙහෙවින් ප්‍රිය කළෙමි. මහනුවර පොලිස් අභ්‍යාස ආයතනයේ සිට සෑම දිනකම, සේවයට පුහුණූ කරන​ සුනඛ රංචුවක්, පුහුණුකරුන් විසින් ගෙන එනු ලැබිණි. මුල් දිනවල විස්සකට ආසන්න විවිධ වර්ග වල සුනඛ සංචිතයක් පැමිණි අතර​ පසු කාලයේ තිහ හතළිහක් දක්වා වර්ධනයවී තිබුණා මට මතකය​. සාමාන්‍යයෙන් දිවයිනේ සුලභව දකින්නට ලැබෙන සුනඛයින් නොවන ආනයනිත සතුන් ඒ අතර විය​. පුහුණුකරුවන්ට අවනතව පියමං කරන ඔවුන් ගේ ගමන් ලීලාව ළගන්නාසුළුය​. සංවර ශීලීය​. විනය ගරුකය​. මහමඟ සිටින බල්ලන් බුරද්දී, නෑසුනාක් මෙන් ඔවුන් ගමන් කරන්නේ මහත් ඉවසිලිමත් බවකිණි. මේ නිහඬව ගමන් කරන ලීලාව දැක මිනිසුන් වන​ අප ලැජ්ජා වියයුතු නැද්දැයි  සිතුණි. මඟතොටකදී හෝ කෙනෙකුගේ ඇනුම්පදයක් ඇහුණොත් පරල වෙන අප​තුළ පවා  මෙවන් සංයමයක් ඇතිවන්නේ ඇතිවන්නේ බොහොම කලාතුරකින් නේදැයි මට සිතෙන්නට ඇත​

​මා වාඩිවී සිටින ආලින්දයේ සිට​ රජ වීදියේ කෙලවර දක්වාත්, ඉන් එහා තුරු මුදුන් වලට ඉහලින් බහිරව කන්ද දක්වාත් මගේ දර්ශන පථයට හසුවෙයි. සිහින් මීදුම් කඩක දැවටුණ කඳු මුදුන මත වැඩහිඳින බුදුරුව,  රන්වණින් කැටයම් කළ චිත්‍රයක් මෙන් නීල අහස් තලය පසුබිමේ වැඩහිඳී. මගේ මතකයේ හැටියට 1993 බහිරව කන්දේ බුදු පිළිමය නිරාවරණය කළ අළුත වෙන්නට ඇත​. රාත්‍රි කාලයේ අඳුරු පසුබිමෙහි විදුලිය එළියෙන් බබලන පිළිමය, කෙලෙස් පිරි නුවර දොර බුදුන් ජීවමානව වැඩ හිඳින්නාක් වැනිය​. එවන් නිසල මොහොතක අප්‍රමාණ භක්තියකින් මගේ සිත පිරි ඉතිරී ගියා මට මතකය​. ඇතම් සැඳෑ සමයන්හි  විදුලි පහන් නිවා දමා ආලින්දයට වී බොහෝ වේලාවක් ගත කරන්නට මා  ප්‍රිය කළෙමි. 

පාලු වීදි දිගේ කඩිනම් ගමනින් එහා මෙහා දිවයන මිනිසුන් අවසාන සටන සඳහා සූදානම් වන හේවා පන්නයක් මෙන්, ජීවත් වීම සඳහා තමන් ගේ ජීවිතේ අවසාන දිනය, අවසාන මොහොත එළඹ ඇතිවාක් මෙන්, දිනට නියමිත හෝ නිශ්චිත හෝ අවිනිශ්චිත කාර්‍යභාරය වෙනුවෙන් යාන්ත්‍රිකව ක්‍රියාත්මක වෙන්නට පටන් ගනියි. හදිසියේ ඇවිස්සුන කඩි ගුලක් මෙන් නිමේශයකින් නන් දෙසින් නගරයට ඇදෙන මිනිසුන් ගෙන් වීදි පිරී යයි. වාහන වල නළා හඬ කන්කරච්චලයක් වන අතරම වීදියෙන් වීදියට පැතිර යයි.

කිළිටි ඇඳිවතින් පදික වේදිකාවක රැඳෙන වීදි දරුවන්, හිස් අතින් බුන් සිතින් තවත් දවසක උදාවත් සමඟ කුස පොත්ත පිරෙන්නට යමක් සොයා ඉව අල්ලමින් වීදි දිගේ ඔහේ ඇවියනු දක්නට​ ලැබෙයි. මේ අතර නගර සභාවේ වීදී පිරිසිදු කරන කම්කරුවන් යයි නම් කරන මිනිසුන්, අනුන් විසින් නොසැලකිලිමත් ලෙස හැඩිකරන ලද කුණු එකතු කර, අතට ලැබෙන සොච්චමෙන් දවස ගෙවන්නට සූදානම් වෙනු පෙනෙයි. ඔවුන් විසින් තල්ලු කරනු ලබන අබිලි අත් කරත්ත සහ ඉදල රේක්ක ඇතුළු ආම්පන්න සමඟ තමතමන් ගේ වැඩ කරන ඉසව්ව් වල අරක් ගනියි.

මගේ පොත කියවීම අතර මඟ නතර වෙලාය​. මගේ හිත  වීදි අතුගාන කම්කරු ගැහැණියක සමඟ පැටලී ඇත​. නැතිනම් වීදියෙ එහා මෙහා නිශ්චිත අරමුණක් නැතිව ඇවිද යන කුඩා වීදි දැරියක පසුපස හඹා යන්නට පටන් ගනියි. අවුල්වුණ කෙස් කළඹ පීරා සුරුහං කර ගන්නට ඇයට ඕනෑ කමක් නැත​. කාට පේන්ටද​? තවත් මොහොතකින් එවැනිම දැරියන්, දරුවන් ඇයට මුණ ගැසෙනු ඇත​. උනුන් එකතුව වීදි කොණක වැටී තිබී ඇහිඳ ගත් බෝතල් මූඩියක​, කිරල පොරොප්පෙක අයිතිකරුවන්වී පදික වේදිකාවේ ඇනබාගෙන තමන් පසුකර යන මිනිසුන් ගෙන් අතපා යමක් ඉල්ලනු ඇත​.සතර මහා දේවාල වලට අධිගෘහිත දෙවි දේවතාවුන්  ගේ කාරුණික බැල්ම මේ දරුවන් දෙස යොමු නොවෙනවා වන්නට ඇත​. දහසින් බැඳි පියළි වෙනුවට ඔවුන් අත තිබෙන ටොෆී දවටන, පෝටෙලෝ මුඩි හෝ කිරල මුඩි වැනි දේවල් දෙවියන්ට අකැප විය හැකිය​. 

විශ්ණු දේවාලයට යාබද අප ජීවත්වූ නිවස පිහිටා තිබුණ අතර කිසිම දිනක මා විශ්ණු දේවාලයට හෝ ඒ ආසන්නයේ තිබූ අනෙක් එකද දේවාලයකටවත් වන්දනාවේ ගියේ නැත​. බොහෝ දෙනාට මුණ ගැහුණ දෙවියන්, ඒ තැන්වල ඇතැයි මම නොඇදහුවෙමි. දෙපයින් නැඟී සිටින්නට මා විසින් විඳ ඇති අත්‍යන්ත දුක් කන්දරාවත්, අප්‍රමාණ වෙහෙසත් සලකා බලන විට, මා වැපුරූ දහදිය කඳුළු බිජුවට වලින් අස්වනු ලැබුණා මිස, අබැටක් තරම්වත් වැඩිමනත් අස්වැන්නක් මවිසින් ලබා තිබුණ බව මා ඇදහුවේ නැත​. එනිසා වැපුරූ තරමට මා අස්වනු කපා ගත්තායයි මම ඇදහුවෙමි.

වරක් මගේ වැඩිහිටි නෑදෑයෙකු ඇගේ දියණියකගේ අපොස සා/පෙ විභාගය​ ඉහලින් සමත් කර දෙන මෙන් ඉල්ලා පඬුරු ගැටගසා නාථ දේවාලයට බාර වූවාය​. මමද එවර එම​  විභාගය​ සඳහා සූදානම් වෙමින් සිටීයෙමි. මගේ නෑයා මා වෙනුවෙන් පඬුරු බැන්දේ නැත​. මම ඔවුන් සමඟ දේවාලයට ගියේ හවස් යාමයේ මහනුවර නගරයේ ඇවිදීමට ඇති කැමැත්තට මිස දෙවියන් මුණගැහීමට නොවේ. මා ගණිතය සඳහා විශිෂ්ඨ​ සාමාර්ථයක් සහිතව විභාගය සමත්වී තිබූ අතර​ මගේ ඥාති සහෝදරිය ගණිත විෂය අසමත්වී උසස් පෙළ සඳහා සුදුසුකම් සපුරාගත නොහැකිව තිබිණි. ඒ නිසා ඉදිරි මාස තුන, ගණිත සාමාර්ථයක් සඳහා ඇයට උදව් කිරීමට මට සිදුවිය​.

අපේ නිවහනට යාබද​ විෂ්ණු දේවාලය පිටුපස හිස් ඉඩම "පොඩිසිඤ්ඤ මරන් " ගස් සහිත කුඩා ලඳු කැළැවක් ලෙස පැවති අතර​,  අතුපතර විහිදුන විශාල රතු සහ සුදු අරලිය ගස් තුනක් මලින් පිරී තිබුණි. සෑම උදෑසනකම බිම ඇතිරුණ අරලිය මල් අහුලන මිනිසෙකු මා දැක ඇත්තෙමි.  ඔහු විශාල වේවැල් කූඩයකට මල් අහුලා ගෙන ගොස් එකල ධර්මරාජ ප්‍රාථමික පාසල ඉදිරිපිට (නාථ දේවාලයට යාව පිහිටි) වතුර පයිප්පයෙන් මල් සෝදා ගෙන දේව වීදිය දිගේ ගොස් මල් අලෙවි කරන​ කුටිවලට විකුණනු ලබයි. සැදැහැවත් උවැසු උවැසියන් ඒ පර මල් මිලදී ගෙන මහත් හරසරින් මලසුන් මත පුදන්නට ඇත​.

විශ්ණු දේවාලය පිටුපස හිස් ඉඩම, පෙරහැර සමයෙහි විවිධ කරුණු කාරණා සඳහා ප්‍රයෝජනවත් වූ බව මේ නිවසෙහි වාසය කළ කෙටි කාලය තුළ මට ප්‍රත්‍යක්‍ෂවී තිබුණි.
අවුරුදු දෙදහස් පන්සීයක ශ්‍රේෂ්ඨ සංකෘතියක් ගැන පුරසාරම් බස් තෙපලන අප කොතරම් වනචාරී දැයි වටහා ගන්නට පහසු, අපේ ක්‍රියාවන් පිළිබඳ සැබෑ උදාහරණයක් මගේ මතකයට නැඟිය හැකිය​. ඒ අවධියේ මහනුවර නගරයේ තිබූ පොදු වැසිකිළි, නාගරික සංවර්ධනය සහ අලංකරණය සඳහා යයි කියමින් ඉවත් කරනු ලැබිණි. පොදු භාණ්ඩ සහ සේවා පරිහරණය පිළිබඳව ජාතික නොසැලකිල්ලක් අප අතර පවතින නමුත්, ඒ දිනවලත් විශාල ජනකායක් එක් රැස්වෙන මහනුවර නගරය තුළ පොදු වැසිකිලි පහසුකම් සලසා නොතිබීම ජාතියක් වශයෙන් අප ලජ්ජා විය යුතු කරුණක් යයි මම සිතමි. 

ඓතිහාසික සෙංකඩගල පුරවරයෙහි උත්කර්ශවත් අයුරින් පැවත්වෙන​ දළදා පෙරැහැර සමයේදී පවා දිනකට ලක්‍ෂ සංඛ්‍යාත​ දේශීය විදේශීය මිනිසුන් අපහසුතාවට පත්කළ මේ මානව අවශ්‍යතාව සපුරාලන්නට තරම් මොළේ කළඳක් වගකිවයුත්තන්ට නොතිබිණි. පුරා අවුරුදු ගණනාවක් ඒ සඳහා සැලකියයුතු පිළියමක් නොවූ බව මට මතකය​. නගරාධිපතිවරයා මහේශාක්‍ය ලීලාවෙන් නගර සංචාරය කළා මිස​, දියවඩන නිළමේවරු මුතු සේසත යටින් නුවර පැදකුණු කළා මිස​, දිසාපතිවරයා නගර මධ්‍යයේ පිහිටි සිය​ කාර්‍යාලයේ අසුන හෙබවුවා මිස,  මහජනතාවට මුහුණ පෑමට සිදුවන දුෂ්කරතාව පොදු අවශ්‍යතාවක් ලෙස සලකුවේ නැත​. 
මේ තත්ත්වය තුළ​ පෙරැහැර සමයේදී මහනුවර නගරයට එක්‍ රොක්වන බැතිමතුන් තම ශාරිරික කෘත්‍යයන් ඉටු කර ගැනීම සඳහා මේ ලඳු කැලෑ ඉඩමට ඇදී එන්නට විය​. ඇතැම් විට විෂ්ණු දේවාලය ආසන්නයේ සිය ගණනක මිනිස් පෝලිමක් පැවැතින​.  ඔවුන් තම අවශ්‍යතාවන් ඉටුකරගත්තේද රංචු වශයෙන්. අදත් සමහර ජන කොට්ඨාශ,  වැසිකිළි කැසිකිළි පහසුකම් මූලික මානව අවශ්‍යතා ලෙස පිළිනොගැනීම අහෝ ඛේදයකි!

"මේ මිනිස්සු මේතරම්  පෝලිමේ එන්නේ ඇයි දේවාලෙට?"
  එකල අපේ ගෙදර පිරිසිදු කරන්නට එන කාන්තාවගෙන් දවසක් මම ඇහුව.
"දේවාලෙට නෙවෙයි, වැසිකිළි හොයාගෙන එන්නෙ. සමහරු අහනව මගෙන් වැටෙන් රිංගලා මෙහාට එන්ටද කියලත්”.
ඇයට​ දියයුතු පිළිතුරක් සොයා ගැනීම මට අපහසු විය​.
“උදේට ඔතැන වැටුණ අරලිය මල් අහුලාගෙන ගිහින් ඔය මිනිස්සුන්ටම විකුණනව මල් වෙළෙන්දෝ". සේවිකාව නැවතත් කීවාය​.
“මල් අහුලනවනං මමත් දැකලා තියෙනව​”. මම මටම කියාගතිමි​.

යටත් විජිත ස්වාමිවරු පිටත්ව ගියේ හොඳ හෝ නරක යැයි පිළිගන්නා බොහෝ දායාදයන් අපට ඉතිරි කරලාය​. විශේෂයෙන් වැඩිමනත් අප පවත්වා ගෙන යාමට රුචිකත්වයක් දැක්වූයේ නිදහස් ජාතියක් වශයෙන් අපට අහිතකර දේමය​. ස්වාමි-සේවක පරතරය අධිරාජ්‍ය යුගයටත් වඩා පවත්වා ගෙන යන්නට අවශ්‍යවූයේ නිදහසෙන් පසු ස්වාමීන් ඉතිරිකර ගිය හිඩැස් පිරවීමට වලිකෑ දේශීය ස්වාමීන්ටය​.  යටත්විජිත මනෝභාවයන් ගෙන් මිදීමට අප සැබෑ උත්සාහයක් ගන්නේම නැත​. එහෙමත් නැත්නම් අපේ චින්තනය නිදහස් වුණේම නැත​. ස්වාමි සේවක සම්බන්ධය උත්තරද්‍රවය සහ දක්‍ෂිණද්‍රවය සේ දුරස්ව තියා ගන්නට අපට අවශ්‍යය​. බොහෝ විට  සැබවින්ම දෘෂ්‍යමාන වන්නේ ස්වාමීන් ස්වාමීන් ලෙස සිටින්නටත් වහළුන් වහල් භාවයේම හිඳීමටත් ඇති බල​වත් කැමැත්තය​. අදටත් අපි ඒ සීමා මායිම් කඩා බිඳ දමන්නට බිය වෙමු. ස්වාමීන්ට ගැතිකම දක්වන වහලුන් වීමටත්, පෙරහැරේ යන ස්වාමීන්ට පන්දම් ඇල්ලීමටත් අප වඩාත් මනාපය​.
මේ විසි එක්වන සිය වසේ දෙවන දශකයේත් අවසානයයි. ඒත් අදටත් අපි "සතිසම්ප්‍රජානනයෙන්" තොරව ජීවත්වන්නමෝ නොවේද​? 

මල්ලිකා එම් බණ්ඩාර​

14. 01. 2019