"එහෙනං මට මෙයා දෙන්ට"
ලංසුවක් නැතුවම වෙන්දේසි පොළේ හිටිය පැටික්කිය පෙන්නලා ඉල්ලුවා. කාන්තාව ඉතාමත් සතුටින්
මගේ ඉල්ලීම ඉටුකළා. කළු පැහැති තරමක් දිග මවිල් සහ දුඹුරු පැහැ පාද සිංහයෙකුගේ වගේ .තරමක් විශාල ඇය ජර්මන් ශෙපර්ඩ් (German shepherd) මිශ්‍රණයක්. ඇස් දෙකට උඩින් දුඹුරු පුල්ලි දෙකක්, ඒවා
හරියට තවත් ඇස් දෙකක් වගේ.
වල්ගය රඹුක් මලක් වගේ විසිරිලා
කඩා හැලෙනවා.
ඇය තරම් සුවච කීකරු බැල්ලක්
මා දැක නැහැ. කතා නොකරන එක විතරයි. හැම දේම තේරෙනවා. කවමදාකවත් ඉදිරි පස හෝ පිටු පස
දොරෙන් ගේ ඇතුළට ඇතුළු වුණේ නෑ. හවස් කාලයේ ගේ ඉදිරිපස පඩිය උඩ වාඩිවී ගිමන් හරින වෙලාවට
ඇය මිදුලේ සිට මා දෙස ආයාචනාත්මකව බලා ගෙන ඉන්නව. මම හිසෙන් සන් කර ළඟට එන ලෙස කියනවා. ඇය මගේ පිටි පතුල
මත හොම්බ තියාගෙන මා දෙස බලා ගෙන ඉන්නවා.
"දැන් ඇති, මගෙ මහන්සිය නිවුණා”. මම කියනවා.
ඇය හීන් සීරුවේ නැඟිට ඉවතට යනව. ඇයට අවුරුදු දෙකක් විතර කාලේ මගේ දුව ඉපදුනේ. බබාව
ඉස්පිරිතාලේ ඉඳන් ගෙදර ගෙනාව දවසේ ඇය ගේ තුළට ඉව අල්ලමින් නොනවත්වා කෙඳිරිගාන්ට පටන්
ගත්තා. ඒක හරියට ආයාචනාත්මක ඇඬීමක් වගේ. බැරිම
තැන අම්මා කීවා, "බබා බලන්ට වෙන්ට ඇති. ඇතුළට එන්ට දෙන්ට කියලා".
ඇය බබා හිටිය කාමරේට කෙලින්ම
ගියා. ඉතා සිහින් ප්‍රීතිමත් කෙඳිරියකින් යුතුව වල්ගය වනමින් ඇඳ වටේ කැරකෙන ගමන් ඉස්සි
ඉස්සී ඇඳේ හිටිය බබා දිහා බලා ගෙන හිටියා.
ටික වෙලාවකට පස්සෙ, " දැන් ඇති බලාගෙන හිටියා. සබන් පවුඩර් එහෙම අරන් හෙට උදේ එන්ට". කියලා
අම්මා අතින් සන් කළා. ඇය පිටවී ගියා. නැවත කවදාවත් ගේ ඇතුළට ආවේ නෑ. ගෙදරට වෙනදා නොතර ආගිය ළමයින්ට ගේට්ටුවෙන් මෙහාට එන්ට දෙන්නෙ නෑ, ගොරවනව. අපි බබාව වඩාගෙන
ඉන්න හැම වෙලාවෙම, එයත් ළඟින් ඉඳන් බලාගෙන ඉන්නව. බබා
කෙඳිරිගෑවොත් එයා කලබල වෙනව. ඇඬූවොත් පිටිපස දොර ළඟට ඇවිත් කෙඳිරි ගානවා. මම කුස්සියේ
ඉන්න වෙලාවක බබා ඇඬුවොත් ඇය නොඉවසිල්ලෙන් මං දිහා බලනව.
“මට ඇහුණ, ඔයා ඔයාගෙ වැඩක්බලා
ගන්ට” කියලා මම කියනව. එහෙම වෙලාවට එයා තරමක් ඈතට වෙලා ගේ ඇතුළ දිහා බලාගෙන ඉන්නවා.
පුදුමාකාර හෘදයංගම සතෙක්. සමහර මිනිසුන්ට නැති හැඟීම් දැනීම් තිබුණ සතෙක්.
මගේ දුව අවුරුදු තුන හතර කාලෙත් එයා ඇඬුවොත් කළූ එයා දිහා දුකෙන් බලාගෙන ඉන්නව. මම ඒ නිසා එයාට කීවේ නර්ස් කියලා. නර්ස් එක්ක සමාගම් පවත්වන්ට අහල පහල හොඳ කඩවසම් තරුණ බලු රාළලා ආවට එයා බුරාගෙන ගිහින් ඒ අයව එලවලා දානව.
අපේ ගෙදරට ආව ඊළඟ වගේම අවසාන
බැල්ලියට අපි කතා කළේ ඩිංකි කියලා. ඇයත් මහනුවර නගර සභා බලු-ට්‍රැප් එකට බිලි නොවී
අභයදානය ලැබුණ ගැහැණු ළමයෙක්.
කලක් මං සේවය කළ මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ කාගෙත් හුරතලයට ලක්වුණ බැල්ලියක් හිටිය. එයා German Shepherd
පරම්පරාවකින් පැවත එන මිශ්‍ර යුවතියක්. ඇය බාලිකාවන් අතරේ ජනප්‍රිය චරිතයක්. කවුරුත් ඇය ඇමතුවේ "සිනා" නමින්.
කන් දෙක පහත් කර නගුට වනමින් මුව මදක් විවර කර ගෙන, කෙනෙක් දුටු විට ඇය අභිමුවට එනව.ඔහොම ඉන්න අතරේ, ඉස්කෝලේ හොස්ටල් එකේදි ඇය හය දරු මවක් වෙලා. පුතුන් පහකට එකම දුවෙක්. මේ දරුපවුල ආරක්‍ෂා කරගෙන හිටිය හොස්ටල් මේට්‍රන් ආරාධනා කළා කෑම බීම හොඳින් දීලා හදාවඩා ගනියි කියලා හිතෙන අයට, පැටව් ගෙනියන්ට කියලා. මුලින් ඒ පැටව් අතරේ හිටියා (offspring of superior quality breeding stock)
ඉහල පරම්පරා වලට අයත් යයි සැලකෙන අය..
ඒ කාලේ අපි රජයේ නිල නිවාසයක පදිංචි වෙලා හිටිය
නිසා බලු හුරතලුන් ගෙදර හදා වඩා ගැනීමට ගෙදර ප්‍රධානියා දැඩිව විරුද්ධ වුණා. ඒ නිසා
මුලින්ම පිරිමි සතෙකු තෝරා ගැනීමට තිබූ අවස්ථාව අතහරින්ට සිද්ධ වුණා. කොහොම වුණත් ඉස්කෝලේ
වාරවසාන නිවාඩු දවසේ මේට්‍රන් කන්නලව් කරනව, " අනේ මිස්, මේ පැටියව අරන් යන්න.
හෙට නගර සභාවෙන් එනව දඩාවතේ යන බල්ලෝ අරන් යන්ට. අනික් බල්ලෝ ඔක්කොම අරන් ගියා. මාසයක්
මං මේ අයව හංග ගෙන හිටියෙ. හෙටින් පස්සෙ මෙයයි, සිනයි දෙන්නම අරන් යනව. තරුණ මේට්‍රන්වරිය
ඇඬුම් බරව කීවා.
මං හිත හදා ගත්ත එයාව අරන් යන්න. විරෝධතා ඇතිවෙයි.
දුවට ඕන කියන නිසා ගෙනාවා කියලා බේරෙන්ට බලනවා.
මං "හා" කීවා. මේට්‍රන් පස්වණක් ප්‍රීතියෙන්
පිනා ගිහින් ඉඩ කඩ තියෙන කාඩ්බෝඩ් පෙට්ටියකට පැටියව දාලා දුන්නා. පැටියා දැක්ක ගමන්
දුවත් පස්වණක් ප්‍රීතියෙන් පිනා ගියා. මං දුවගෙ වයසෙදි බලු පැටියෙක් දැක්කම ලැබුව
සතුට දුවගෙ මූණ පුරාම විසිරෙනව. 'දුව බේරාගනියි අප්පච්චිත් එක්ක බලු පළහිලව්ව" මම හිතුවා.
මං දුවගෙන් ඇහුව ,"ඔයා කැමතියි නේද මෙයාට?"
ඔව්! දරුවා කටපුරාම කීවා.
"මට බලු පැටවෙක් හම්බවුණා". දුව ඇයගේ
පියා දැකපු ගමන් කීව. සිංහයෙකුගෙ වුණත් තමන්ගෙ දුව ළඟදි ළය තෙත් වෙනව කියනවනෙ. ඒකත්
වුණා. අම්මත් එක්ක නගර සභා වෑන් එකේ යන්ට හිටිය පැටික්කි බේරුණා.
ගෙදර අමුතුම කලඑළියක්. දරුවෝ තුන් දෙනාම දීර්ඝ
කාලයක් තිස්සේ සපුරා ගන්ට බලාහිටිය හීනයක්, බලාපොරොත්තු නොවුණ මොහොතක සැබෑවෙලා. ගෙදරට බලු
හුරතලෙක්. ගැහැණු පිරිමි භේදයකින් තොරව විඳිය හැකි සතුටක්. චිත්ත ප්‍රීතියට ලිංග භේදයක්
කොහෙන්ද?
බලාගෙන ඉඳිද්දී ඩිංකි වැඩෙනවා. හරිම දඟයි. ඒ
වුණාට කළූට වගේම අපි කියන දේත් අපේ සංඥාත් හොඳින් තේරුම් ගන්ට දක්‍ෂයි. රැවීම හිනාවීම
විතරක් නෙවෙයි අපේ මුහුණු වල හැඟීම් පවා අවබෝධ කරගන්ට තරම් ඈ බුද්ධිමත්. බොහෝ වෙලාවට
මම වචනයෙන් නෙවෙයි,ඇස් වලින් හෝ අතින් කරන සංඥා වලින් ඇය මෙල්ල වෙනව නැත්නම් කීකරුවෙනව.
අවුරුදු හතරකට පස්සේ ඩිංකිට පැටව් හතර දෙනෙක්
ලැබුණා. ඒ 1996 නත්තල් දා. එයින් මාස තුනකට පස්සේ අපි විදේශ ගත වෙන්ට නියමිතව තිබුණා.
ගෙදර සිදුවෙන වෙනස්කම ඩිංකිට තේරෙනව. ඇය කෑම බීම ගත්තේ අඩුවෙන්. පැටව් තුන් දෙනෙක්
දන්නා අඳුනන අයට දීලා හතර වෙනියා සමඟ ඩිංකී අපේ මහ ගෙදර නතර කළා. අපි පිටත් වුණ දවසේ
ඇය නිදා ගෙනම හිටියා. අපි ඇයව ආදරෙන් වැළඳ ගෙන සමුගත්තා. ඇගේ ඇස්වල කිසිම හැඟීමක් නෑ.
ඊළඟ සති තුන උදේ හිට හවස් වෙන තුරුම ඇය පාර දිහා බලාගෙන ඉඳලා එයාගෙ කූඩුවට ඇවිත් තිබුණා.
පහුවදා උදේ ඇය කල්පනා කරමින් හිටියා මිස පාර දිහාට ගිහින් තිබුණෙ නෑ. ඒ උදෑසන ඇය ප්‍රියයන්
ගැන පැවති සියළු බලාපොරොත්තු සමඟ ජීවත්වීමේ බලාපොරොතුවත් අත් හැර තිබුණා.
ගෙදර ඇති කරන හුරතලෙකු සෙවීමේදී තේරීමකින් තොරව
ගැහැණු සතෙකුට ජීවිතයක් දීමට හැමදාමත් මට සිදුවී තිබුණි. ඒ සතුන් මට ලබාදුන් අනල්ප
ආදරය සතුට සහ හෘදයංගම බවට මිලක් නියම කරන්නට නම් මා අසමත්. එමෙන්ම ලිංගිකත්වය මත
අවතක්සේරු කරන ගැහැණිය සහ ගැහැණු සත්වයිනුත්, අවතක්සේරු කරන බොහෝදේත් සුන්දරයයි වටිනවායැයි
සිතන්නට අපට හැකිවෙන දාට අපේ අත්දැකීම් බොහෝ සොඳුරු වෙනවා නොඅනුමානය.
මල්ලිකා එම් බණ්ඩාර
17.
07. 2023