"එහෙනං මට මෙයා දෙන්ට" ලංසුවක් නැතුවම වෙන්දේසි පොළේ හිටිය පැටික්කිය පෙන්නලා ඉල්ලුවා. කාන්තාව ඉතාමත් සතුටින් මගේ ඉල්ලීම ඉටුකළා. කළු පැහැති තරමක් දිග මවිල් සහ දුඹුරු පැහැ පාද සිංහයෙකුගේ වගේ .තරමක් විශාල ඇය ජර්මන් ශෙපර්ඩ් (German shepherd) මිශ්‍රණයක්. ඇස් දෙකට උඩින් දුඹුරු පුල්ලි දෙකක්, ඒවා හරියට තවත් ඇස් දෙකක් වගේ. වල්ගය රඹුක් මලක් වගේ විසිරිලා කඩා හැලෙනවා.
ඇය තරම් සුවච කීකරු බැල්ලක් මා දැක නැහැ. කතා නොකරන එක විතරයි. හැම දේම තේරෙනවා. කවමදාකවත් ඉදිරි පස හෝ පිටු පස දොරෙන් ගේ ඇතුළට ඇතුළු වුණේ නෑ. හවස් කාලයේ ගේ ඉදිරිපස පඩිය උඩ වාඩිවී ගිමන් හරින වෙලාවට ඇය මිදුලේ සිට මා දෙස ආයාචනාත්මකව බලා ගෙන ඉන්නව. මම හිසෙන් සන් කර ළඟට එන ලෙස කියනවා. ඇය මගේ පිටි පතුල මත හොම්බ තියාගෙන මා දෙස බලා ගෙන ඉන්නවා.
"දැන් ඇති, මගෙ මහන්සිය නිවුණා”. මම කියනවා.
ඇය හීන් සීරුවේ නැඟිට ඉවතට යනව. ඇයට අවුරුදු දෙකක් විතර කාලේ මගේ දුව ඉපදුනේ. බබාව
ඉස්පිරිතාලේ ඉඳන් ගෙදර ගෙනාව දවසේ ඇය ගේ තුළට ඉව අල්ලමින් නොනවත්වා කෙඳිරිගාන්ට පටන්
ගත්තා. ඒක හරියට ආයාචනාත්මක ඇඬීමක් වගේ. බැරිම
තැන අම්මා කීවා, "බබා බලන්ට වෙන්ට ඇති. ඇතුළට එන්ට දෙන්ට කියලා".
ඇය බබා හිටිය කාමරේට කෙලින්ම
ගියා. ඉතා සිහින් ප්‍රීතිමත් කෙඳිරියකින් යුතුව වල්ගය වනමින් ඇඳ වටේ කැරකෙන ගමන් ඉස්සි
ඉස්සී ඇඳේ හිටිය බබා දිහා බලා ගෙන හිටියා.
ටික වෙලාවකට පස්සෙ, " දැන් ඇති බලාගෙන හිටියා. සබන් පවුඩර් එහෙම අරන් හෙට උදේ එන්ට". කියලා අම්මා අතින් සන් කළා. ඇය පිටවී ගියා. නැවත කවදාවත් ගේ ඇතුළට ආවේ නෑ. ගෙදරට වෙනදා නොතර ආගිය ළමයින්ට ගේට්ටුවෙන් මෙහාට එන්ට දෙන්නෙ නෑ, ගොරවනව. අපි බබාව වඩාගෙන ඉන්න හැම වෙලාවෙම, එයත් ළඟින් ඉඳන් බලාගෙන ඉන්නව. බබා කෙඳිරිගෑවොත් එයා කලබල වෙනව. ඇඬූවොත් පිටිපස දොර ළඟට ඇවිත් කෙඳිරි ගානවා. මම කුස්සියේ ඉන්න වෙලාවක බබා ඇඬුවොත් ඇය නොඉවසිල්ලෙන් මං දිහා බලනව.
“මට ඇහුණ, ඔයා ඔයාගෙ වැඩක්බලා ගන්ට” කියලා මම කියනව. එහෙම වෙලාවට එයා තරමක් ඈතට වෙලා ගේ ඇතුළ දිහා බලාගෙන ඉන්නවා. පුදුමාකාර හෘදයංගම සතෙක්. සමහර මිනිසුන්ට නැති හැඟීම් දැනීම් තිබුණ සතෙක්. මගේ දුව අවුරුදු තුන හතර කාලෙත් එයා ඇඬුවොත් කළූ එයා දිහා දුකෙන් බලාගෙන ඉන්නව. මම ඒ නිසා එයාට කීවේ නර්ස් කියලා. නර්ස් එක්ක සමාගම් පවත්වන්ට අහල පහල හොඳ කඩවසම් තරුණ බලු රාළලා ආවට එයා බුරාගෙන ගිහින් ඒ අයව එලවලා දානව.
අපේ ගෙදරට ආව ඊළඟ වගේම අවසාන
බැල්ලියට අපි කතා කළේ ඩිංකි කියලා. ඇයත් මහනුවර නගර සභා බලු-ට්‍රැප් එකට බිලි නොවී
අභයදානය ලැබුණ ගැහැණු ළමයෙක්.
කලක් මං සේවය කළ මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ කාගෙත් හුරතලයට ලක්වුණ බැල්ලියක් හිටිය. එයා German Shepherd
පරම්පරාවකින් පැවත එන මිශ්‍ර යුවතියක්. ඇය බාලිකාවන් අතරේ ජනප්‍රිය චරිතයක්. කවුරුත් ඇය ඇමතුවේ "සිනා" නමින්.
කන් දෙක පහත් කර නගුට වනමින් මුව මදක් විවර කර ගෙන, කෙනෙක් දුටු විට ඇය අභිමුවට එනව.ඔහොම ඉන්න අතරේ, ඉස්කෝලේ හොස්ටල් එකේදි ඇය හය දරු මවක් වෙලා. පුතුන් පහකට එකම දුවෙක්. මේ දරුපවුල ආරක්‍ෂා කරගෙන හිටිය හොස්ටල් මේට්‍රන් ආරාධනා කළා කෑම බීම හොඳින් දීලා හදාවඩා ගනියි කියලා හිතෙන අයට, පැටව් ගෙනියන්ට කියලා. මුලින් ඒ පැටව් අතරේ හිටියා (offspring of superior quality breeding stock)
ඉහල පරම්පරා වලට අයත් යයි සැලකෙන අය..
මං හිත හදා ගත්ත එයාව අරන් යන්න. විරෝධතා ඇතිවෙයි.
දුවට ඕන කියන නිසා ගෙනාවා කියලා බේරෙන්ට බලනවා.
මං "හා" කීවා. මේට්‍රන් පස්වණක් ප්‍රීතියෙන් පිනා ගිහින් ඉඩ කඩ තියෙන කාඩ්බෝඩ් පෙට්ටියකට පැටියව දාලා දුන්නා. පැටියා දැක්ක ගමන් දුවත් පස්වණක් ප්‍රීතියෙන් පිනා ගියා. මං දුවගෙ වයසෙදි බලු පැටියෙක් දැක්කම ලැබුව සතුට දුවගෙ මූණ පුරාම විසිරෙනව. 'දුව බේරාගනියි අප්පච්චිත් එක්ක බලු පළහිලව්ව" මම හිතුවා.
මං දුවගෙන් ඇහුව ,"ඔයා කැමතියි නේද මෙයාට?"
ඔව්! දරුවා කටපුරාම කීවා.
"මට බලු පැටවෙක් හම්බවුණා". දුව ඇයගේ
පියා දැකපු ගමන් කීව. සිංහයෙකුගෙ වුණත් තමන්ගෙ දුව ළඟදි ළය තෙත් වෙනව කියනවනෙ. ඒකත්
වුණා. අම්මත් එක්ක නගර සභා වෑන් එකේ යන්ට හිටිය පැටික්කි බේරුණා.
මල්ලිකා එම් බණ්ඩාර
17.
07. 2023
No comments:
Post a Comment