ගැහැණිය ඒ ඒ සමාජ සංස්කෘතීන් තුළ නියෝජනය වෙන්නේ ඒ ඒ සංස්කෘතීන් වල ඇයට ලැබෙන වටිනාකම්, අගය සහ ප්‍රයෝජනවත් භාවය මත. ඒ අතර ගැහැණිය සතු ආර්ථික වටිනාකම, සමාජය තුළ ඇගේ පවුලට පරම්පරාවට උරුමව ඇති පිළිගැනීම, ඇගේ රූප ශෝභාව ඇතුළු ඇවතුම් පැවතුම් ප්‍රධාන තැනක් ගන්නව. බොහෝ විට එම වටිනාකම් ගැහැණිය උපයාගත් හෝ වර්ධනය හෝ ප්‍රවර්ධනය කර ගත් දේකට වඩා පරම්පරාවෙන් උරුමවූදේ විය හැකිය. සමාජය විසින් දෙන ලද මිණුම් අනුව වටිනාකම් දෙනු ලබන ගැහැණිය පිළිබඳ පවතින ආකල්ප වල වෙනසක් නොවෙනතාක් කල්, නැත්නම් ගැහැණිය ගෞරවණීය සමාජ ජීවියෙකු ලෙස අවබෝධ කර ගන්නා තුරු සමාජය, ගැහැණියට ඉතා අසුන්දර තැනක්ව පවතිනු ඇත.
මේ විශේෂත්වය සමාජයක කොතරම් මුල් බැස ගෙන තියෙනවද කියන එක තේරුම් ගන්න මොන තරම් නම් උදාහරණ තියෙනවද? අඩු තරමින් ගෙදරක සුරතල් සතෙක් හදා ගත්තත්, ඒ සතාගේ ලිංගිකත්වය ගැන සමාජය සැලකිලිමත් වෙනවා. ගැහැණු දැරිවියන්ට වගේම, බලු පැටවුන්ගේත් ලිංගිකත්වය සැලකිල්ලට ගෙන උන්ට තියෙන ඉල්ලුම අඩු වැඩි වෙනව. මේ විවිධ හේතු සාධක මත ගැහැණියකගේ වටිනාකම තක්සේරු කරන්නේ සමාජය විසින් නිර්මාණයකරනලද උපමාණයන් අනුවය.අනික් අතට මේ මිණුම් දඬු වල සාධාරණ අසාධාරණ බව හෝ ඒවා වෙනස්වියයුතුබව පිළිබඳ කතාකිරීමට ගැහැණුන්ම මැලිවීම මොනතරම්නම්ඛේදජනකද?තමන් පිළිබඳව මිනිසුන් දරන මතය කුමක් වුවත් එය "විඳ දරාගෙනසිටීමට තරම් ගැහැණුන් නිර්වින්දනය වීමකට හසුවී ඇත.එය එක් විදියක සිය කැමත්තෙන් සිපිරිගේකට වැද සියතින් දොරගුළු ලාගෙන සිටීමක් හා සමානය.
වරක් මගේ ඥාති සහෝදරයෙක් ඔහුට ලැබුණ ගිරා පැටවුන් දෙදෙනාගෙන් ගැහැණු සතා මට දෙන්ට කැමතිවුණේ පිරිමි ගිරවුන් කතා කරන නමුත් ගැහැණු සත්තු අඩුවෙන් කතා කරන්නට හෝ කතා නොකරන්නටත් ඉඩ ඇති බැවිණි. ගිරවා කතා කරන්නට පටන් ගත්තා වගේම මගේ ගිරවිත් කතාව පටන් ගත්තා. මං ඇයට කීවේ "බෙත්තී" කියලා. ඇය ඇගේ නම ඉතාම කෙටි කලකින් අනුකරණය කළා. පියාඹන සත්තු කූඩුවක හිර කර ගෙන හුරතල් කිරීම මහ අපරාධයක් ලෙස සැලකූ අම්මා ගේ දැඩි විරෝධය මධ්‍යයේ ගිරවිය ඇති දැඩිවුණ අතරේ ඇය මට “අක්කා” හෝ නමින් අමතන්ටත් හුරුවුණා. එක දවසක අපි ගෙදර නොහිටි වෙලාවක ගෙදරට ආව කෙනෙක් කූඩුවේ අගුල ඇර ගිරවිය රැගෙන ගොස් තිබුණා.
ඉන් පසු නැවත ගිරවුන් ඇති නොකළ නමුත්, කාගේත් ආශිර්වාදය මධ්‍යයේ අපේ ගෙදර මා දන්නා කාලේ පටන් බලු හුරතලුන් දෙන්නෙක් හිටියා. හුදකලා ගෙදරට බල්ලෙකුගේ අවශ්‍යතාව ගැන දෙමව්පියන් සැලකිලිමත් වුණා වෙන්ට ඇති නමුත් අපිට ඔවුන් හුරතලුන්. අපි ඉස්කෝලේ යන කොට දෙන්න පඩි පෙළ මුදුනේ ඉඳගෙන, අපි යනදෙස, බලා ගෙන ඉන්න අතර දවාලේ ඉස්කෝලේ සිට ආපසු එන විට උන් පෙරමඟට ඇවිත් අපිව කැඳවාගෙන ගෙදර යනවා.
බල්ලන් ලවා වත්තේ වැටෙන හනසු බූවලු සහ පොල් අතු ගෙදරට ගෙන්වා ගැනීමට මා විසින් ඔවුන් පුහුණු කළා. පොල් අත්තක් හනස්සක් වැටෙන දිහාවට මා අතින් සඥා කළ විට බල්ලා දුවගෙන ගිහින් ඒවා ඇදගෙන එනව. සමහර වෙලාවට තනියම හනස්සක් ඇදගෙන ඇවිත් කිතු කීතු වලට ඉරනව. අපේ වත්තට ඉහල ගල්තලාවක් තිබුණ අතර එහි දිය නොසිඳෙන කුඩා ගල් ළිඳක් තිබුණා. අපි දිය නෑමට යනකොට බල්ලන් දෙන්නාත් දිය නෑමට කැමැත්තෙන්ම එනව. එවැනි සමීප ළබැඳි සහසම්බන් ධතාවක් අපි අතර පැවතුනා.
"හැබැයි කික්කියක්!" එයත් ලොකු වුණාම අම්ම වගේම දඩාවතේ ගිහින් මෙතෙන්ට පැටව් දමන්ට එන්නට ඉඩ තියෙනව'යි සිනාසුන ඇය බලු පැටවගේ ලිංගිකත්වය පිළිබඳ ඉඟියක් කළා. බැල්ලියක් දඩාවතේ යාම හා සමානව ගැහැණියක් ලිංගික ක්‍රියාවක යෙදීම සලකන සමාජය ඒ හා සම්බන්ධවන පිරිමි සත්වයා දෙස බලන්නේ එය ඔහුගේ ස්වභාවික සංසිද්ධියක් ලෙස සාධාරණීකරණය කරමිනි.
“පිරිමි සතා විතරක් දෙන්ට බෑ. කැමතිනං දෙන්නම එක්ක අරන් යන්න”යි ඇය මට කීවා.
නැවතත් ගැහැණු සතෙක් අපේ ගෙදරට ආවා. ගැහැණියගේ වාණිජමය හුවමාරු ක්‍රමයගැන හිත යටින් හිනා වෙමින් මම දෙදෙනාම අරන් ගියා. ගැහැණු සතා, කපු පුළුන් ගොඩක් වගේ. කොළපාටට හුරු නිල් මාබල් වගේ ඇස් දෙකක් සහිතයි. පිරිමිසතා කළු සුදු මිශ්‍ර පුෂ්ටිමත් හුරුබුහුටි සතෙක්. දෙන්නම හොඳින් නාවා පිරිසිදු කර එදා හවසම ගැටඹේ පශුවෛද්‍ය කාර්‍යාලයට අරන් ගිහින් අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගෙන ගෙදර ගෙනාවා. වෛද්‍යවරයා ඇතුළු කාර්‍ය මණ්ඩලය ඉතාම උනන්දුවෙන් අවශ්‍ය කටයුතු කර දුන් අතර මේ දෙන්නා ගේ මිල කීයක් වුණාදැයි දැනගන්නටත් උනන්දු වුණා. පාරට අතහරින්නට නියමිත දෙන්නෙක් බව කී පසු “දෙන්නම ඕනද? එකෙක් මදිද?” කියලත් ඇහුවා. මාස කීපයකට පස්සේ බැල්ලියට ලියුකිමියා වැනි රෝගයක් වැළඳී මිය ගිය අතර බල්ලා දීර්ඝ කාලයක් යෙහෙන් වැජඹුණා.
No comments:
Post a Comment