Saturday, 1 July 2023

කවිය සහ මම​ - 1

කන්ද පාමුල පිහිටි අපේ ගම්මානය මහා මාර්ගයකට සම්බන්ධ වෙන්නේ සැතපුම් තුනකටත් වැඩි දුරක් විහිදෙන සරුසාර කුඹුරු යාය  දිගේ දිවෙන අඩි දහයක් පළල ගුරුපාර බෝතල් කටක් සේ  සිහින් වී ගම දෙකෙලවරින් මහාමාර්ගයට සම්බන්ධ වීමෙනි. මේ ගම බස්නාහිරින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ උසම කන්ද වන හඳුරුක් කන්දෙනුත්, නැඟෙනහිරින් පිටකන්ද සහ මුවන්කන්ද යන කොම්පැණි වතු යායකට යාව සැතපුම් ගණනක් දක්වා දිවෙන​ පොල් රබර් කෝපි, කොකෝවා වැනි භෝග සශ්‍රීකව වැවුන තරමක් උස් කඳු වැටියකිනුත් වටවූ සානුවක් වැනි ගම්මානයකි. 

අපේ ගම කුරුණෑගල​, කෑගල්ල සහ මහනුවර දිස්ත්‍රික්ක තුනේම මායිම් ගමක් වන නිසා එහි දේශගුණය ඉතා සෞම්‍යය​. ලංකාව තුළ විවිධ පරිසර කළාපයන්ට අයත් භූමිවල වැවෙන ඕනෑම භෝගයක් වැවෙන සාරවත් පසක් සහ දේශගුණයකින් එම ප්‍රදේශ සමන්විතය. කඳු වැටි පීරාගෙන අවුරුද්ද මුළුල්ලේම ගලා බසින සිහින් දිය කඳුරු ගම හරහා ගලා ගියේ පිරිසිදු සිහිල් දිය දහර ගම කෙලවර වන විට ඔයක් දක්වා වර්ධනය කොට පෝෂණය කරමිණි. වැහි වැටුණත් නැතත් කුඹුරු යායට යල මහ අඛණ්ඩව ගොවිතැන් බත් කිරීමට අවශ්‍ය ජලය ලැබුණි. එකම කන්නක්වත් මඟ නොඇරෙන්නට වෙල් යායට ප්‍රධාන ඇල සහ කුඩා ඇල වේලි හරහා ජලය බෙදා හැරිණි. වෙල් යායේ ඇතැම් කුඹුරු වල හී හෑමට නොහැකි තරමට, ගොවිරාළලාගේ ඉඟටිය දක්වා මඬේ එරී, කුඹුරු වල හාන පෝරුගාන සහ පිට ලෑලි දමා ඒ මත සිට ගොයම් හිටවන අයුරු මා කුඩා සන්දියේ දැක ඇත්තෙමි.

කඳුවැටියේ එතුන ඝණ මීදුම් පටලය ඉරාගෙන  ගමට එබී බලන ළා හිරුමඬළ තුරුපත් අතරින් කාන්දු වෙන විට​, ගමේ මිනිස්සු මීමැසි පොදියක් මෙන් ක්‍රියාශීලීව තම තමන් ගේ දෛණික කටයුතුවල නිරත වන්නට; අඩි පාරවල් ඔස්සේ පිණි ඉහිරුණ නියරවල් ඔස්සේ මහ ඇල නියර දිගේ ගමන් කරන දෙස මම කුඩා දැරියක ලෙස බලා සිට ඇත්තෙමි. සෑම උදෑසනකම ගම් ගොඩැල්ලේ සිට මහ ඇල නියරට එන මිනිසුන් අනුපිළිවෙළින් මගේ මනසේ ඇඳී තිබුණි. දෛණිකව දකින  මිනිසුන් අනුපිළිවෙල කැඩුව හොත් හෝ මට එය මතකය​. ඇයි අද එයා ආවෙ නැත්තේ? ඇයි අද පමාවෙලා? වැනි ප්‍රශ්නාර්ථ මගේ මනස තුළ සටහන් වෙයි.

දිනපතා හරක් මේච්චලේ යන, කුඹුරු වලට යන බයිසිකල් වලින් ගම කෙලවරට යන හෝ නගරයට නගරයෙ ඉස්කෝල වලට යන ගුරුවරු කීප දෙනෙක්, කච්චේරියේ වැඩට යන කෙනෙක් කුරුණෑගල ඉස්පිරිතාලේ වැඩ කරන සාත්තු සේවිකාවක්, හෙදියක් ඇතුළු සුදු ඇඳුමෙන් සැරැසී තම රැකියා ස්ථාන වලට යන පුද්ගලයින් මට හුරු පුරුදු අයයයි. මේ හැරුනු විට සෑම උදයකම අපේ ගම් මැද්දේ සිට කුඹුරු යාය හරහා එහා ගොඩට යන කීප දෙනෙක් ද වූහ​. ඉන් එක් අයෙක් සුදු සරමකින් සහ කමිසයකින් සැරැසී ලේන්සුවක් කොලරයට යටින් සිටිනසේ බැඳ යන තරුණයෙකි. ඔහු උදේ පාන්දරින්ම එහා ගොඩට යන්නේ උදේට සිගරට් එකක් ගැනීමටය​. ගිය සැනින් ඔහු ආපසු මෙහා ගොඩට එන්නේ දල්වාගත් දුම් වැටිය මුවේ රුවා ගෙනය​. දුම්වැටිය ඔහුට කුමන ආශ්වාදයක් ගෙනදුන්නාදැයි යන්න එදා හෝ අදවත් මගේ විෂය පථයට හසුනොවන්නේමය​​. සරුවට වැඩුණ උස් ගොයම් අතරින් නියර දිගේ එන මේ මිනිසා ඉඳහිට දුම් වළල්ලක් අහසට පිට කරයි.  ඒ දුම් රොටුව තුනී මීදුම් කැරැළි වලට එකතුවී නොපෙනී යයි. මා පාසල් නොයන කාලේ සිට මේ එකම වෙලාවට මිනිසුන් කරන විවිධ ක්‍රියාකාරකම් පිළිබඳ මට අවබෝධයක් තිබිණි.

මේ කියන දවසේත්, එනම් මා පළමුවන ශ්‍රේණියේත් මගේ වැඩිමල් සහෝදැරිය  තුන්වන ශ්‍රේණියේත් ඉගෙනගන්නා අවධියේ එක් උදෑසනක අක්කා මගේ බාල මල්ලී ඇකයේ හිඳවා ගෙන  ලොකුමල්ලී බංකුව මත හිඳවා පාඩම් පොතක් කියවමින් සිටියාය​. මම මගේ සුපුරුදු  නිරීක්‍ෂණයේ යෙදෙමින්  බංකුව මත වාඩිවී දෙපා පද්දවමින් සිටියෙමි. අක්කා අත තිබුණේ තුන්වන ශ්‍රේණියේ ස්වභාව අධ්‍යයනය පොත බව මට මතකය​. ඇය එහි පිටුවක් පෙරලා ගෙන එකම දේ කියෙව්වාය​. නොඑසේනම් කට පාඩම් කළා විය හැකිය​.

" චීනයේ අපනයන භෝග​": ඇය මාතෘකාව කියවන්නීය ​.ඉන්පසු ඇඟිළි එකින් එක නවමින් භෝග වර්ග වල හෝ නිශ්පාදන වල නම් කියා සිහිතබා ගත්තාවන්නට ඇත​. "කපු සේද සහ ලෝම..." කීප වරක් එකම දේට කන් දීමෙන් මට දැනුනේ වෙහෙසකි.

මම වෙල් යායේ බණ් ඩි ගොයම් පැද්දෙන දෙස බලා සිටියෙමි. එකෙනෙහිම අර දුම් බොන්නා,   ගමේ මිනිසුන් ඔහු ඇමතුවේ සෝමා නමිනි.  ඔහුගේ නියම නම දිසානායක බව දැන ගත්තේ බොහෝ කාලෙකට පසුවය​. ජැන්ඩියට සැරැසී ඒදණ්ඩෙන් පිය මැන සෝමා මහ නියරට අවතීර්ණ විය​. අක්කා චීනයේ අපනයන භෝග යයි කියන විටම මම​, කවියක් මෙන් ඇද පැද තාලයට " කපු සේද සහ ලෝම - සෝමා කොහෙද යෑම​" තරමක උස් හඬින් ගායනා කළෙමි. අක්කා අයාගත් මුවින් යුතුව මා දෙස බලා සිටියාය​. මම ඇය ගේ බැල්ම මඟ හරිමින් නැවත නැවතත් එයම ප්‍රතිරාවය කෙළෙමි.

"වයසෙන් වැඩි අයට නම කියලා කතා කරනවද​?" අක්කා මාදෙස බලා සිටියේ මා අපාගත විය හැකි  තරමේ පාපකර්මයක් කළාය යන බැරරුම් බැල්මකිනි. 

"මම කවියක්නෙ කීවෙ". බොහොම සැහැල්ලුවෙන් මම පිළිතුරු දුනිමි. 

"කියන්නංකො අම්මා එක්ක​. ලොකු අයට නම කියලා කතා කරනවා කියලා".

මට එහි වරදක් නොදැනුණි. මගේ හිතට ආ වචන පිට කළා පමණි. කෙසේ හෝ ඉන් පසු  ඒ දුම් බොන්නා දුටු හැම විටකම අපි මහ හඬින් හිනා වුණෙමු.

මා විසින් කවියක් කීවාය යන හැඟීම මා තුළ ඇති කළේ ආත්මාභිමානයකි. මම කවියෙක් මම ආඩම්බරයෙන් සිතුවෙමි. කවිය මා තුළ සැඟවී සිට අහඹුවක් ලෙස ජීවමාන වූවායැයි මම සිතුවෙමි.  මා අවුරුදු පහක් හෝ හයක දැරියක්ව සිටියදී  මුල්ම  කවිය කීවායයි මට මතකය​. ඒ මතකය අනුව නම්, මා අර්ධ රචනා චෞරයෙක් ලෙස මගේ කුළුඳුල් කවිය නිර්මාණය කරන්නට යෙදුන බවට පාපොච්ඡාරණය කරන්නට කැමැත්තෙමි.

 (කවිය සහ මම - 2 බලාපොරොත්තු වෙන්න)​. 

මල්ලිකා එම් බණ්ඩාර​

 1.07. 2023

No comments:

Post a Comment