වැව අයිනේ වැටකෙයියා රේණු හැලෙනවා
නෙළුම් පතක මුතු පිනි කැට රටා මැවෙනවා
බණ්ඩි ගොයම නළවා මඳ පවන වෙලෙනවා
මී ගස් යට මල් ඇතිරී සුවඳ හමනවා
වැව් තාවුල අම්බරුවන් දිගෙලි කරනවා
වන වදුලේ මාදං පැණිමොර පීරනවා
වාරම් කවි කුඹුක් හෙවන යට පීදෙනවා
වෑකන්දෙන් වස්දඬු ගී රාව නැඟෙනවා
ඕවිට ළඟ කඩුල්ල පැන රංචු ගැහෙනවා
පඹ රාළගෙ ඇස් වහලා කොමඩු හොයනවා
ලියැදි දිගේ සරුංගලේ අහසට යනවා
මටත් හොරෙන් ළමා වියට හිත ඉගිලෙනවා
පිදුරු හෙවිලි කළ වහලෙන් වතුර වැටෙනවා
කරදහි ඔරු දියපාරේ රුවල් නඟනවා
මතක පොතෙන් ගිළිහී නැති පිටු පෙරලෙනවා
ළමාවියේ දෙණිපෙත ළඟ මං තනිවෙනවා
රැහැයි ගීත හැන්දෑවට ගයනා වේලේ
පළඟැටියන් එකතුවුණා අමුණා තාලේ
රළ පනාව ළඟ නැවතී වැහිබර කාලේ
පාරු පැදපු හැටි මතකයි වෑබැමි දෑලේ
මල්ලිකා එම් බණ්ඩාර
12. 07. 2023

No comments:
Post a Comment