Saturday, 15 July 2023

පිය සටහන්


වැව අයිනේ වැටකෙයියා රේණු හැලෙනවා

නෙළුම් පතක මුතු පිනි කැට රටා මැවෙනවා

බණ්ඩි ගොයම නළවා මඳ පවන වෙලෙනවා

මී ගස් යට මල් ඇතිරී සුවඳ හමනවා

 

වැව් තාවුල අම්බරුවන් දිගෙලි කරනවා

වන වදුලේ මාදං පැණිමොර පීරනවා

වාරම් කවි කුඹුක් හෙවන යට පීදෙනවා

වෑකන්දෙන් වස්දඬු ගී රාව නැඟෙනවා

 

ඕවිට ළඟ කඩුල්ල පැන රංචු ගැහෙනවා

පඹ රාළගෙ ඇස් වහලා කොමඩු හොයනවා

ලියැදි දිගේ සරුංගලේ අහසට යනවා

මටත් හොරෙන් ළමා වියට හිත ඉගිලෙනවා

 

පිදුරු හෙවිලි කළ වහලෙන් වතුර වැටෙනවා

කරදහි ඔරු දියපාරේ රුවල් නඟනවා

මතක පොතෙන් ගිළිහී නැති පිටු පෙරලෙනවා

ළමාවියේ දෙණිපෙත ළඟ මං තනිවෙනවා

 

රැහැයි ගීත හැන්දෑවට ගයනා වේලේ

පළඟැටියන් එකතුවුණා අමුණා තාලේ

රළ පනාව ළඟ නැවතී වැහිබර කාලේ

පාරු පැදපු හැටි මතකයි වෑබැමි දෑලේ


මල්ලිකා එම් බණ්ඩාර​

12. 07. 2023


No comments:

Post a Comment