Saturday, 28 May 2016

තංගමනී


පින්නේ නෑවෙන​ බැබිල මල වගේ
නුඹ එනවා ඈතින්
ඉඳ හිට දවසක මුලිච්චි වෙන්නට​
කාටත් හොර රහසින්,
අන්දර වැට ළඟ​ නතර වෙලා අපි
ඉඟි මැරුවා හොරැහින්

කල ළියක් නැති ගානට වාගේ 
පහුගිය දොහේ හිටන් 
නෝක්කාඩුවක් වත්දෝ මන්දා 
හිටියෙත් ඉවත බලන්
හිනා බිඳක් නැතුවයි අත වැනුවෙත්
නොපෙනෙන මානෙ ඉඳන්

වංගුව පහුකර නුඹෙ රුව ඒදැයි 
නෙතු යුග බලාහිඳී
සංගුව ඇහුනා නුඹ තවමත් නෑ
ලැයිමේ දොරත් නිදී
හිත යට ලියලන ගිනිදැල් මෙළවී
සියොළඟ වෙලා ගනී
සිනා දොලක්වී කොයි මොහොතක හෝ
වඩින්න තංගමනී

මගේ නමට නුඹෙ හිතේ පිපුණ
ඒ හිනා කැකුළ නෙලලා
දැනේ යමක් සිදු වෙලා තියේදැයි
කව්දෝ මඟ රැකලා
මුවන් කන්ද වතු යායට ඉහලින්
කුණාටුවක් හමලා
තංගමනී නුඹෙ හිසේ තිබුණ
කිරි බාල්දියම හැලිලා.



දඹ රුක් අම්බලම


දෛවයනුඹ මට සරදම් කළෙහිය!​
කරටියෙන් කඩාදා නුග සෙවන
ගිනි ලවා කැණි මඬළ
අහිමි කළෙහිය හිඳි ගෙපැල
අවසන මහමඟම පිලිසරණ වනතුරු
ඉහට සෙවනක් සොයා ඉබාගාතේ ඇවිද
රජමැදුරකැයි  සිතා ගොඩවැදුන අම්බලම
හෙට ඉරක් පායතැයි නෙත් යොමා,
දුවිල්ල උලාකා  දවසැරිමි.

මුවවිටක් දරාගෙන  නවපැතුම්
බලාපොරොත්තුව මිහිරකැයි අදහමින්
එද, උඩුකුරු හිස් කළයක්ව මනසින්
පිරෙව්වෙමි පළිඟු දියදහරින් දිය ඌළගාවා
පිපාසිත දනන්ගේ සා පවස නිවන්නට 

පැන් කළේ සිහිල විඳ
අම්බළමෙ සෙවන ලද
සද් දනන් තිළිණ​ කළ
සත් රුවන් පරයනා
සත්පුරුෂ මිනිස්වග තනනුවස්
මගේ ධන නිධානය විසුරුවමි
දඹ ගසක සෙවන යට.

කැමත්තෝ එව!
දඹ ඵලින් සැතපෙව!
රන් රුවන් පළඳුව 
එද, තොපට රිසියෙත. 









Thursday, 26 May 2016

Note:


Summer has gone 
Winter is coming!
Be vigilant!


(There are always be dark periods of our lives) 

Monday, 23 May 2016

බුදු දහම සහ ප්‍රත්‍යක්‍ෂ ඥානය​​


FB - ප්‍රවෘත්තියක් ඇසුරෙන් - 23.05. 2016
මට අක්කර පහ හයක් ඇති මගෙ කෙල්ලො දෙන්නට.මේ මැරෙන ටිකට මට මොන ඉඩම්දඔහු කියලා තිබ්බා.
(This is a simple note of Admiration of a man who called Mr Kapuru Banda at Padeniya for his Perception of Buddhism).

දෑස සදිසි දියණියන්ට
පඬුරක් ලෙස​ බෙදා දෙන්ට                   
ජීවිත කාලයක් පුරා
හම්බ කරපු පරිස්සමට,
තම ගම් බිම් තෑගි පිණිස​
තුන් සිත් පහදවා දෙන්ට
හිතේ උපන් කරුණාවයි 
මිල කරන්න බැරි කෙනෙකුට​

දීග තලග දෙන දුවරු වෙනුවෙන් රැස්  කළ යසිසුරු;
විපතට පත් මිනිස්සුන්ට ඉඳුම් හිටුම් දෙවනා​
මනුසත් ගුණ කපුරු සුවඳ තුන් ලොවටම හමනා
වෙසතුරු පරපුරෙන්  ඇවිත් පාරමිතා පුරනා
මොවුන් නමට දෙව් මිනිසුන් නමස්කාර කරනා

පාට, පන්ති, ලේබල් නැති,
මනුස්සකම අහස උසැති
හැබෑ දහම පුරුදු පුහුණු
කරපු මොවුන්මය දෙවිවරු.
බුදු බණ පද අරුත් දනිති
දැන නුවණින් එහි හැසිරෙති
තිස්තුන් කෝටියක් දෙවියො
සුරකීවා මේ සොහොයුරු.


Mag





අවබෝධය​


මල් වැස්ස වැස්සාය
නෙක මල් පළු පල්ළෙන් සුසැදි
උද්‍යානය සුන්දර බැවින්
අපි උද්දාම වීමු.
සිහින් පොද යෝධයෙකු වෙන තුරුම​
අපි පෙම් කෙළියෙමු.
පසිඳුරන් සුවපත් කරන ප්‍රාර්ථනා මිස
සිතැඟි පමණක්ම සිදුවෙනු
දකින්නට රිසිය මිස​  
සැබෑව දකින දෙනෙත් අඳ වූයෙන්
එලඹ සිටි සිහියක් උපදවා ගත නොහුණි,
යෝධ සත්වයා අපව ගිලගන්නා තෙක්ම​
නිද්‍රාගතවූ  සිත් තුළ 
අවබෝධය​ පහලවූයේම නැත​.
අවබෝධය​ තාර්කිකය​.
රළුයඅමිහිරිය, බරය.
අපි ඊට බිය වෙමු. 


මල්ලිකා එම්. බණ්ඩාර​


20. 05. 2016

උතු නියාමය




රිදෙන පෑරෙන ගැඹුරටම කොනහලා 
ටික දොහක් ගතවුණා අපේ හිත් කළඹලා
නිවේ යයි සිතෙන මුත් නොනිමි ගිනි මොලවලා
තිබෙන බව හැඟෙනවා හිත අසල විසිරිලා

කනස්සලු හිත බරයි ඒත් දස අත සරයි
කුමක්දෝ ගැටලුවක් තෙරපුනා නොකර​ අප හුදකලා
කල දවස ගත වෙලා නික්ම යන දවස තෙක්
ඇසුනේම​ මිනිස් වග සුසුම් ලන හඬ පමණි

උතු නියාමය නිසා අහස දොඩ මලු වෙලා
වළාකුළු ඇතිරිල්ල කොහොමදෝ හිල්වෙලා
උස් පහත් තැනිතලා කඳු මුදුන් සොලවලා
ගලන බව දැනගෙනත් නොහිටියෙමු පේවෙලා

කොපුල් තල රතු වෙලා දෑස් පිය බොඳ වෙලා
වන කැළල් පිරිමදිමු අපි අපිම එක්වෙලා  
සදාකාලික නොවු මිහි මඬල​ කෙලෙසිලා
කොයිතරම් අසරණද අපි අපිම ගොළුවෙලා


Sunday, 22 May 2016

නැවතීමේ තිත (කෙටි කතාවක්)

ඇයි එහෙනං මට කතා කළේ? ‘’
බොහෝ වේලා මගේ දේශනයට සවන් දෙමින් සිටි සුදත් හඬ අවදි කළේය​. සුදත් ගේ හඬ නෝක්ක්ඩුවක ස්වරූපය ගෙන අතැයි මට සිතුනි.
තෑන්ක් කරන්න​”.
මොනවටද මිථිලා ?
එවර ඒ හඬ අනපේක්‍ෂිත උද්‍යෝගයකින් යුතුව ඇති සෙයකි.
ඒ උද්‍යෝගය උපන් තැනම මරා දමන්නට ඕනෑවූ මුත් මඳක් සැර බාලකර මගේ සිවිල් බව පෙන්වන්නට සරල උත්සාහයක් දැරුවෙමි.
"මගෙ කොඳු නාරටිය කෙලින් කළාට​”. මම ඉවත බලාගෙනම කීවෙමි.
ඔහු මා දෙස ක්‍ෂණිකව හැරුන බව ඊළඟට ඒ හඬ මා අසලින් ඇසෙන ආකාරයෙන් අවබෝධකර ගතිමි.
ඔහු ඊළඟ ප්‍රශ්නය අසන්නට මුව විවර කරන්නට ඉඩ නොතියා ඊළඟ ප්‍රති ප්‍රහාරය දෙන පිණිස​ දුනුදිය අදින්නට මට ඕනෑවිය​.
මගෙ හිත තලලාචප්ප කරල පැදුරටත් නොකියා මාරු වුනා මදිවට... පව්කාරිට තනියම දඬුවම් විඳින්න ඇරිය එක කොච්චර අපූරුද​සුද්දවන්තයෝ පව්කාරිට​ ගල් ගහනකං බලාගෙන හිටියෙ මොන හිතකින් ද​?  මගෙ හිත හැදෙන්න එක වචනයක්එක ලියුං කෑල්ලක්ලියල එවන්න බැරිවුණේ ​ඔයා මැරිල ඉපදුන නිසාද සුදත්​මිනිස්සු හරියට සාන්තුවරයෝ වගේ තමයි හැසිරෙන්නෙනැත්නම් බොධිසත්වයෝ වගේ තමයි ලෝකේ ඉදිරියේ පෙනී ඉන්න".
ඇඬෙන්න ඔන්න මෙන්න වගේ වුණත් නාඬා කතා කරන්න මම අනුපමේය වෙහෙසක් ගතිමි. උගුරෙහි හිර වෙන ඉකියක් මැඩ ගෙන මම මොහොතක් ඔහුගේ මුහුණ දෙස ඔහුගේ දෑස දෙස ​ඍජුවම බලා සිටියෙමි. ඔහු මාගෙ දෑස් වල නිර්දය ග්‍රහනයට හසුවීම මඟ හරින පිණිස මගේ හිස් මුදුනට උඩින් ඈත අනන්තයට විහිද ඇති හිස් අහස දෙස බලාගෙන සිටියේය​.
"මගෙ අයිතිය බනින එක නෙවි. ඒ ප්‍රශ්නෙට විසඳුමක් හොයන එක​".
හිත යටින් දත්මිටි කෑමට පටන් ගත් මම නැවත වරක් රවා බලාගෙනම සිටියෙමි. මොහොතක් මා දෙස බලා සිටි  සුදත් මගෙ දෑස් වලින් නික්මෙන​ ගිනි පුළිඟු වලින් බේරෙන්නට මෙන් දෙතුන් වරක් ඇස් පිල්ලන් ගසා බිම බලා ගත්තේයඅකම්පිතව දිගාවී සිටින ඇතුගල් පව්වටත් ඉහලින් පෙනෙන නිල් අහස දෙස මොහොතක් බලා සිටි සුදත් හෙමෙන් කට හඬ අවදි කළේය​.
"ඔයා මට බනින්න මිථිලා. ඇති වෙනකම්ම බනින්න​. එහෙම කරන්න ඔයට  සාධාරණ අයිතියක් තියෙනව​..."
මගෙ අයිතිය වළ දැම්මෙ ඔයා. මගෙ වයස ගැනවත් ඔයා හිතුවද​?
නැවතත් මා පරල විය යුතුයැයි ඔහුගේ වචන ඇසෙත්ම මට සිතුණි.
"ඔයා වැඩිහිටි මිනිහෙක්. මමත් ඉතින් මරි මෝඩ මී හරකියක් වුණානෙ".
දැන් ඉතින් වෙච්ච වැරැද්ද ආපහු හදන්න බැහැනෙ. ටිකක් ඉවසිල්ලෙන් කතා කරන්නකො. මෙතන ප්‍රසිද්ද තැනක් නෙ".
සුදත් ගෙ මුවින් පිට වන හැම වචනයකින්ම​ මගෙ හිතේ කැකෑරෙන වේදනාව ගිනි කන්දක් මෙන් පුපුරා  එළියට පනින්නට තතනයි. ගිනි ගහන අව් කූටකේටත් වඩා මගෙ හිත ගිනියම්ව ඇත​. පෙබරවාරි මාසයේ දැඩි රස්නය මදිවට ගල රත් වුණාම මුළු ටවුමම රත් වෙනව​. මේ මිනිස්සු වුනත් මේ තරම් කාස්ටක වෙලා තියෙන්නෙ පරිසරයේ බල පෑම නිසා වෙන්න ඇතිඅනික් අතට මට හිතුන​.
මිනිස්සු හිතන හැටි හැමදාමත් එක විදියක්​. මිනිහෙකුට පුළුවන්ද ගැහැණියක්  වගෙ  හිතන්න​ගැහැණුන්ට ආවේණික හිතීමේ නිම් වළලු පිළිබඳ අවබෝධයක් නිශ්චිතවම ලබන්න නම් ඒ මිනිහා නැවත ඉපදෙන්නම වෙනව ගෑණියක් වෙලා ​. මගේ හිත කියවූවාක් මෙන් සුදත් මොහොතක් නිහඬව සිට සන්සුන් හඬින් මා ඇමතුවේය​. 
මිථිලා , ඉතින් මට කියන්න . මම මොනවද කරන්න ඕන කියල​. ඔයා කියන ඕනම දේකට මම කැමතියි".
මම සුදත් ගේ දෑස් දෙස සෘජුවම මදක් බලා හිඳ ඇසුවෙමි.
 ඇයි ඔයා මගෙ ජීවිතයත් එක්ක සෙල්ලම් කළේ?
මොහොතක් නිහඩව සිටි සුදත් ගේ බිඳුන හඬ කොහේදෝ ඈත ඉසව්වකින් ඇහෙන බවක් මට දැනිණී.
"මට සමා වෙන්න මිථිලා . ඔයා තරම් මගෙ හිත කළඹාපු කෙනෙක් තවත් නැහැ. ඔයාගෙ එක බැල්මක තිබුණ හැඟීම් මට දවසක් කියවලාවත් ඉවර කරන්න බැරිතරම් බරයිඔයා මට ජීවිතේ ඉගැන්නුවා. ජීවිතේ කියන්නෙ මොකක්ද කියලා ඒකෙ වටිනාකම මොකක්ද කියලා අවබෝධ කෙරෙව්වා. ".
ඒවට කළගුණ සලකන්නද හිටි හැටියේ ගම රට දාලා ගියේඉන්නවාද මළාද කියල හෝඩුවාවක්වත් නොතියා හැංගිලා හිටියේ. මගෙ ජීවිතේ දුශ්කරම කාලෙ මං තනියම පහුකළා. දැන් මට මුර බල්ලෝ ඕන නැහැ ජීවත් වෙන්න”​.
ඔයා මගෙ ජීවිතේ කැළඹුවා. ඒක උඩු යටිකුරු කළා . කිසිම ගෑණු කෙනෙක් දිහාඅඩු තරමින් තරුණ  ගෑණු ළ​මයෙක් දිහාවත් මං ඒ විදියට බලල නැහැ...මාව විශ්වාස කරන්න".

"විශ්වාස කරල අහපු නින්දා අපහාස හොඳටම ඇති. තවත් මට කියන්නෙ අහවල් විශ්වාසයක් ගැනද​"යි අසන්නට ඕනෑ වුණමුත් මම බිලිං ගහ යට වැටී තිබූ  කහ පැහැති කොළ දෙකක් අහුලා ගෙන මේසය මත තබා නිය​'ගින් එය තීරු තීරු වලට ඉරා දැම්මෙමි.
මටත් මාව පාලනය කරගන්න බැරිවුණා. ජීවිතේට මං අඬල නෑ . ඒත් මං ඔයා නිසා අඬල තියෙනව​. ඒ ඔයාට තියෙන ආදරේට"​.
මටත් කියන්න තියෙන්නෙ ඒ ටිකම තමයි”.
මම නැවත වරක් රවා බැලුවෙමි.
මිනිස්සු ඉස්සරහ ඕනවට වැඩිය කෝමල වෙන්ට ගියාම ගෑණු අපි බාල්දු වෙනව​. 
 “වෙන කිසිම ගෑණු කෙනෙක් මේ තරම් මගෙ හිතට රිංගලා නෑ. ඔයා මගෙ හිතේ හැම අස්සක් මුල්ලක් නෑර​ බැලු බැලූ අත​. ඒක හරියට හැපින්නක් සියුම් දත් වලින් මගෙ හිත හපා කනව වගෙ. ඒක ඒතරම්ම වේදනා කරයි. ඒත් මං ඒ වේදනාවට කැමැතියි. ඒ නිසා ඉඩ ඇරියා වෙන දෙයක් වෙන්ට”​.
පාපොච්චාරණය සිත් ගන්නා සුළුය​. 
තර්කාන්විතය​. 
ගැහැණීයකගේ සිත අනුකම්පාවෙන් පුරවන්නට සමත්‍ ය​. 
ඒත් මං ඔය ගැට වලට තවත් නං අහුවෙන්නේ නැතැයි මම මටම ගිවිස ගතිමි.

මම සියල්ල නිහඬව අසා සිටියා මිස එකදු වචනයක් මුවින් පිට නොකළෙමි. අවන්හලේ බිලිං ගහ යට වාඩිවී සිටි මම ඔහුගේ හිසට උඩින් පෙනෙන ඇතුගල දෙස බලා සිටියෙමි.  ඇතුගල නිහඬය​. ගල මුදුනින් ගිනිගෙන දැවෙන ගිනි සිළු මෙන් නැගෙන තාපය ගල මතින් නික්මෙන මිරිඟුව හිස් අහසට මුදා හරියි. මගෙ හිතේ කැකෑරෙන කේන්තිය ඇතුගල පුපුරුවන්නට තරම් ජව සම්පන්නයැයි මට සිතේ.
"අපි මුණ ගැහීම හරියට මගේ ජීවිතේට ඇද වැටිච්ච අකල් වැස්සක් වගේ..."
"ඔව්ඔව් ඒ වැස්සට අහුවෙලා අකලට පිපිච්ච මලක් වගේ මගෙ ජීවිතේ පරවුණා. මට දුක මං ගැන".​
මං ඕනම වන්දියක් ගෙවන්නං මිථිලා. ඔයා වෙනුවෙන්. ඒත්... ඒත්... ඔයාට හොඳ දීප්තිමත් අනාගතයක් තියෙනව​. මට දුකයි ඒ ලස්සන අනාගතේ ඔයාට අහිමි කරන්ට”​.
මගේ හිතට නැඟුන සිතිවිලි වචන වලට පෙරලෙන්නට මම ඉඩ නොහැරියෙමි. දහසක් ආඩාපලි වචන බවට පත්ව​ කටට ආ මුත් මම ඒවා පිට නොකළෙමි. ඒ වෙනුවට​ මම එළඹ ගත් තීරණයේ පවතින්නට දැඩිව අදිටන් කර ගතිමි.
ඒත් ඇතුගලේ රස්නෙට වෙඬරු පිඩ උණු වෙන්නට නොදී පරිස්සම් කර ගත යුතුව ඇත​. සම්ප්‍රදායික ගැහැණියගේ රෝල් එක, කාලයේ තාලයට වෙනස් විය යුතුව ඇත​.
අඩු තරමින් මට ඕනෑ වූයේ,
 "මං දැන් හිත හදාගෙන ඉවරයි" කියන්නටය.
ඒත් ඇයි මං ඒක වෙනස් නොකළේඅහෝ මිනිසෙකුගේ අනුරාගී ස්වරය හමුවේ ගැහැණිය දපනය වන අයුරු!
මං වීදුරුවේ ඉතිරිව තිබූ දොඩම් යුෂ පොදක් දබරගිල්ලෙන් ගෙන දැවමය මේසය මත බල්ලෙකුගේ රූපයක් ඇන්ඳෙමි.
මොහොතක් නිහඬව එදෙස බලා සිටි සුදත් මගේ දකුණු අතඟිලි මත ඔහුගේ වමත සෙමෙන් තැබුවේය​. අනතුරුව ඔහු මගේ දකුණත සෙමෙන් පිරිමදින්නට විය.

සර්පයෙකු මගේ නිරුවත් පා මත ඇදෙන්නාක් මෙන් මසිත තුළ කිසියම් ජුගුප්සා ජනක හැඟීමක් දනවන්නට විය​. සම්මතයට එරෙහිවුණා මදිවාට මේ ප්‍රසිද්ධ ස්ථානයක අප වැනි දෙදෙනෙක් මෙලෙස ප්‍රේමාලාප දෙඩීම තබා ළං ළංව වාඩිවීම පවා අනුමත නොකරනු ඇත​. අපි ආදරේ කරන්ට පටන් ගත්තේ හරියට සල්ලිකාර සීයෙකුයි, දුප්පත් ඒත් සුන්දර,​මිණිබිරියකුයි වගේකොහාට පෑහෙන මඟුලක්ද මේක​?  ඉතින් wisdom පහල වෙන්නෙත් හදා ගන්ට බැරිතරම් වැරැදි සිද්ධ වුණාට පස්සෙනෙ.
මගෙ හිත මුමුණනව​.
ඇත්තටම මම මෙතෙන්ට එමු කියල ඉල්ලීමක් කරලා ලියුමක් යැව්වේ ප්‍රේම පුරාවෘත්තෙ අළුතින් පටන් ගන්ට හිතාගෙන නෙවෙයි. මගෙ ආත්ම ගරුත්වෙ තියාගෙන මේක ඉවරයක් කරල දාන්න​. 
මා මෙතෙන්ට ආව වැරැද්ද​. කතා කර ගන්නට තැනක් හොයන්නට වුනෙත් මටමය​. ඒකටවත් අවංක උනන්දුවකින් බුද්ධිමත් තීරණයක් ගන්ට බැරි මිනිහෙක් කොහොමද මගෙ අපහසුව තේරුම් ගන්නෙ?
මා තුළ සැඟවී සිටින ගැහැණියගේ හඬට මා අවනත වියයුතුව ඇත​. ජීවිතයේ මා ගත් සෑම හරි හෝ වැරැදි තීරණයකදී මට නියෝග දුන්නේ ඇයයි. ඒ අභිමානවත් ගැහැණියට මම බෙහෙවින් ගරු කරමි. 
ජීවිතය අළුතෙන් පටන් ගත යුතුය​!
අවසන මම එලෙස තීරණය කළෙමි. 
බිලිං ගහයට අප වාඩිවී සිටි මේසය අසලින් මෑත්ව හැකි ඉක්මණින් අවන්හලෙන් පිටව බස් නැවතුම් පොළ වෙත මම​ දිව ආවෙමි. මට අවශ්‍යවුණ එකම දේ මහනුවර බස් එකකින් හතට ඉස්සර කැම්පස් එකට යාම පමණි.

මල්ලිකා එම් බණ්ඩාර


07 .07. 2001 ​




වෙසක් බැති ගී

 (One of my pieces of old gold)

මහමායා මව්කුසිනී - දිනි බෝසත් කුමරා
ලුම්බිණි සල් උයනේ - සත් පියූමන් පිපුණේ
සත් වග පුබුදු වුණේ - පැතිරූ සිහ නදිනේ//

වෙසඟේ පුන් පොහොදා - සිරිමා බෝ සෙවණේ
දස මර සෙන් පරදා - මා හිමි බුදු වූවේ
මහමායා….

කුසිනාරා නගරේ - සුපිපුණ  මල් අරණේ
නිමවා බව සසරේ - මා හිමි පිරිනිවුනේ
මහමායා….

පද රචනය​: මල්ලිකා එම්. බණ්ඩාර​ (1992) 



Thursday, 19 May 2016

වියරු මුහුද


(“තොටගමුවේ මුහුද ගොඩ ගලයි - ලංකාදීප ප්‍රවෘත්තියක්)

වියරුවී ගොඩ ගලන තොටගමුව සයුරු තෙර​
මැරුණු ඉතිහාසයම නැවත කියවන්නීද
ඔක්කෝම රජවරුය ඔක්කෝම සිටුවරුය​
කාට සිහසුන ගියත් අනේ අපි වැසියෝය

උදහසේ රළු පරළු මහෝගය නවතන්න
අදිටනින් නැඟිටින්න ​බිලි පිණිස කැප වෙන්න
කන්‍යා දියණියක සිටියාය​, කැළණිතිස් නිරිඳුන්ට
අසංකෙය්‍යක් රජුන් සිටින මේ පුරවරේ
කන්‍යාවියන් විරල කරුණ තේරුම් ගනුව,
​එම්බා මහ සයුර!

පසල් ගම් දනව් වල වෙසෙන ඈපාවරුන්
පිළුණු කළ සියක් කන්‍යාවියන් නිමිති කොට​
​අල්තාරයේ පිදෙන රුහිරු දුගඳට ලොල්ව​
​පුරති සව්දිය ලොවිති රස මසවුළු මීවිතෙන් මත්ව

​​රජුන් අදමිටුවත් දනන් පවතීද සත් ගුණ වත්
බමුණු දන වියපත් බුදු බණද අදමිටුව වපුරත්
කැඳ උගුර නැතිවත් බුරති පුහුදුන් දනා කවදත්
පරළ වුණ රළ පතර නුඹ වහා නැවතියන්,
මුව හමට තඩි නොබා මුවන් රැළ හොයාපන් 

එදා දළ රළ පහර සිල්වතුන් උදෙසාය
මෙදා දුසිලුන් රකින දුදන දන සඳහාය
රජ බමුණු වණික් කැළ හැම දුකට මුල සේය
​දියඹ ගොඩ ගසන්නෙත් පහත් තැන දැකලාය​


Wednesday, 18 May 2016

නිවන් නැති වන්දනා


තල් අරණ දැදුරු කර වට මුරුගසං වැස්ස​
තල් අත්ත දෙබෑකර කඩා වැටුණා අපේ දොරකඩට​​
අඳුර අතරින් ඇදුන අඳුරු ​හෙවනැලි පෙළක්
ගියා ඩැහැගෙන​ මගේ දරුවන්නෙ අප්පාව​

මුළු රැයක් ඉකිගසා උදනැක්කෙ පටන් ගත්
අපෙ වන්දනා ගමන, කඳවුරෙන්-කඳවුරට රැඳවුමෙන් -රැඳවුමට​
ඉසේ කෙස් වලට වැඩි කොතෙක් නම් වාරයක්
කකුල් ගෑවාද මං දරු දෙදෙන වඩාගෙන
ආව ගිය ඉසව්වක් හොයා ගන්නට උන්ගෙ අප්පා

කැණි මඬල බිඳ වැටුණ අපේ අතු මාළිගය​
අද නැතොත් හෙට එතැයි මඟ බලා ඉන්නවා තනිවෙලා
නන් නාඳුනන අයගෙ දෙපා මුල මා යදින්නේ
ගෙටම ඇවිදින් අරන් අතුරුදන් කරන ලද​
ලොවෙත් නැති මළෙත් නැති අරන් ගිය කෙනෙක් නැති
මගේ දරුවන් ගේ අප්පාය  

හාමතේ මොර ගසන දෙදරුවන් ළෙහි ​ හොවා
තවත් කොයිතරම් දුර  ඇවිද යායුතුද මං?
පාන්දර ඉඳන් ගොම්මන තෙක්ම​ අව්කූටකේ නැහී ආ සැණෙන්
දරු පැටව් ළඟ ඉඳන් අතට ගත් රොටී පලුවෙන් ටිකක්
කටට ගන්ටත් කලින් අරන් ගිය
මගේ මිනිහා හොයා දියන් මට
යුක්තියේ කන්‍යාව,
සල්ලාලයන් එක්ක කරක්ගහනා නුඹට
කියාපන් හමුවිණිද මගෙ දරුවන්ගෙ අප්පා?



මල්ලිකා බණ්ඩාර​