Sunday, 1 May 2016

මැදි වියේ පැතුමක්

              

බක්මී මලක් වගේ-  පිපිලා මගේ හිතේ
කෝමල වත හසරැල් සුවඳ පුරනවා
පවනේ සැලෙන ඉබේ නෑඹුල් පුවගු මලේ
සිරි ගත් තුගු සිහිනිඟ- රැඳි නෙරි පොට ඉහිරෙනවා

සීතල දුරුතු මහේ නිලුපුල් නයන විලේ
බිඟු වැල් සරන රඟේ තාමත් හිතට දැනෙනවා
සුහුඹුල් මතක දිගේ මගෙ හිත මටත් හොරා 
පියාපත් ඇවිත් ඉගිලෙනවා
                                                      
අරලිය මල් දෝතක් මලසුන මත අතුරා
දළදා හිමි අබියස පැතුවේ අපි දෙන්නා
සසරේ සරන තුරාවට නුඹ යළි මටම ලැබෙන්නට​
පෙරුම් පුරා පැතූ පැතුම් සුළඟට මුසුව ගියාදෝ

යව්වන විය ගතවීලා මැදිවියෙ දොරටුව ගාවා
වියපත් නොවුණ පැතුම් පාවඩ අතුරන්නට​
බක්මී මලක් වගේ මගෙ ලොව සුවඳ පුරා
යළි මුණ ගැහෙන තුරා තාමත් බලා ඉන්නවා 


No comments:

Post a Comment