Thursday, 5 May 2016

සිරිපා වන්දනා


කොබෙයියෙකු වළප්නා ස්වරයෙන් 
ඟිරිගාගෙන නැඟෙන සෙනෙහස​
ඉකියක්ව බිඳී යා දිය නොහී
සිඟිති මා තුරුළු කරගෙන​ ළයට​
සිරිපා කන්ද මුදුනට නැග්ගාය අම්මා

මඬ ගොහොරු වගුරු බිම​ පුංචි නෙළුමක් වෙලා
පිපෙන්නට වරම් දී සුවඳ දෙන මනකලා
රළු පරළු බෙල්ලෙකුගේ කුසේ සැඟවුණ අනඟි
දිමුතු මුතු ඇටයක්ව වැඩෙන්නට සළසලා
ඇතින්නක් වගේ නුඹ යුද බිමේ හුදකලා
පරදුවට තියා පණනල වුවද නොපැකිලා
මා සිරස කිරුළු පළඳන පිණිස 
වෙහෙස වුණු හද ගැස්ම
නිහඬ​ වන​ ලැහැබ තුළ​ ​​ගොළුවෙලා

මගේ ලොව සදන්නට
ගල් බොරළු මත ඇවිද
නුඹේ දූවිලි වැකුණ දෙපායුග
රත් නෙළුම් පෙති ලෙසින් සිඹින්නට
තවත් එක වතාවක් ලැබෙයි නම් අම්මේ!


මල්ලිකා එම්. බණ් ඩාර​





No comments:

Post a Comment