මේ, යටගිය දවස නොව
පහුගිය දවසක ශ්‍රී ලංකාවේ උත්තරීතර පාර්ලිමේන්තුවේ සිදුවුන සිද්ධියක් සම්බන්ධ video වක් දුටු මනතින් මගේ හිතට ආපු අදහසක්. විඩියෝ පටයේ මුල් තත්පර කීපයේදීම
මට ඇතිවුණ හැඟීම කොයිතරම් අජූවදැයි විස්තර කරන්නට සිංහල භාෂාවේ ඇති අසෝබනම වචන
පාවිච්චි කළත් මදිය. ඒ වෙනුවට මා පුංචි කාලේ අසා ඇති
ජන ප්‍රවාදයේ එන කතාවක් සිහිපත් කරගතිමි.
මේ කතාවේ ඇති සත්‍ය අසත්‍යතාව හෝ යෝග්‍ය
බව කෙසේ වෙතත් මෙයින් මම කියන්නට යන්නේ ශබ්ද දූෂණය විසින් ඇති කළ ක්‍ෂණික ප්‍රතිචාරයක්
ලෙස මගේ මතකය අවදි වූ ආකාරය ගැන අදහසක් පමණි.
මා අසා ඇති විදියට අති පූජ්‍ය වැලිවිට
සිරි සරණංකර සංඝරාජ නාහිමියන් පිණ්ඩපාතිකව ලබාගත් දානය පවා සතා සීපාවාටත් බෙදාදී
උන්වහන්සේත් වැළඳූහ. බලු කපුටන් සඳහා දන් දුන්හ. උන්වහන්සේ බලු
කපුටු දානයක් දෙන විට මුලින්ම බල්ලන් බැඳ දමා හැම
සතාටම සමානව කෑම ප්‍රමාණයක් ලැබෙනසේ වෙන වෙනම තබන්නේලු. ඉන්පසු බල්ලන් මුදාහරවති.
මුදාහැරි බල්ලෝ දානය කෑම පසෙක තබා උනුන් එකිනෙකා කා කොටා වැටෙන්නට පටන් ගනිති.
බල්ලන් ගේ කා කොටා වැටීම එකම කන්කරච්චලයක් ලෙස අවට ප්‍රදේශයටම ඇසෙන්නේලු. මේ හඬ රජමාළිගය තෙක්ද ඇසෙන අතර දිනක් රජතුමා, මේ සා විශාල සුනඛ කලබැගෑනියක් ඇති වෙන්නට හේතුව කුමක්ද'යි රජ වාසල සේවකයින් විමසූහ.
රජ වාසල ඇත්තන් විසින් බලු
ගාලගෝට්ටියේ නිධාන කතාව රජ්ජුරුවෝ ඉදිරියේ ගෙනහැර දක්වන්නට යෙදුනි. එවිට රජ්ජුරුවෝ,
" සංඝරාජ
හාමුදුරුවන්ගෙත් උපන් ගම තුම්පනේනෙ" යි කීවෝලු.
ඉන්පසු වෙනත් කුමන හේතුවක් නිසා හෝ
සුනඛ පොරයක් ඇහෙන විට රජතුමා " අදත් සංඝරාජ හාමුදුරුවන් ගේ බලු කපුටු
දානේද" යි අසන්නේලු.
පසු කාලීනව "සංඝරාජ හාමුදුරුවන් ගේ බලු කපුටු
දානය වගෙයි" යන්න සිංහල භාෂාවෙහි විශේෂ යෙදුමක්
ලෙස ජනවහරට එකතුවී ඇත. යමක් බෙදා හදා ගන්නට අසමත්ව
වාද විවාද ඇති අර ගන්නා විට, විශේෂයෙන් කෑමකට රැස්ව
සිටින පිරිසක් උනුන් අතර ඝෝෂාකාරී ලෙස වචන හුවමාරු කරගන්නා විට මේ යෙදුම භාවිතා
කෙරේ.
ඉහත සඳහන් කරන ලද video වෙන් උත්තරීතර පාර්ලිමේන්තුවේ එකට
රැස්වන මහජන නියෝජිතයින් ගේ හැසිරීම කෙතරම් වනචරද, අශීලාචාරද
යන්න සමස්ත රට වාසීන්ම දැක ගන්නට ඇත. ඉතින් අප විසින්, ජනතා නියෝජිතයින් ලෙස
පාර්ලිමේන්තුවට තෝරා පත් කර යවා තිබෙන්නේ එවන් සත්ව
කොඨාශයක් නම් දේශයේ අනාගත පරපුරට බාර දෙන්නට යන
මෙවන් සංස්කෘතිය ගැන අප ලැජ්ජා වියයුතු නැද්ද?
මල්ලිකා එම්
බණ්ඩාර
5.06. 2016
No comments:
Post a Comment