Sunday, 22 May 2016

නැවතීමේ තිත (කෙටි කතාවක්)

ඇයි එහෙනං මට කතා කළේ? ‘’
බොහෝ වේලා මගේ දේශනයට සවන් දෙමින් සිටි සුදත් හඬ අවදි කළේය​. සුදත් ගේ හඬ නෝක්ක්ඩුවක ස්වරූපය ගෙන අතැයි මට සිතුනි.
තෑන්ක් කරන්න​”.
මොනවටද මිථිලා ?
එවර ඒ හඬ අනපේක්‍ෂිත උද්‍යෝගයකින් යුතුව ඇති සෙයකි.
ඒ උද්‍යෝගය උපන් තැනම මරා දමන්නට ඕනෑවූ මුත් මඳක් සැර බාලකර මගේ සිවිල් බව පෙන්වන්නට සරල උත්සාහයක් දැරුවෙමි.
"මගෙ කොඳු නාරටිය කෙලින් කළාට​”. මම ඉවත බලාගෙනම කීවෙමි.
ඔහු මා දෙස ක්‍ෂණිකව හැරුන බව ඊළඟට ඒ හඬ මා අසලින් ඇසෙන ආකාරයෙන් අවබෝධකර ගතිමි.
ඔහු ඊළඟ ප්‍රශ්නය අසන්නට මුව විවර කරන්නට ඉඩ නොතියා ඊළඟ ප්‍රති ප්‍රහාරය දෙන පිණිස​ දුනුදිය අදින්නට මට ඕනෑවිය​.
මගෙ හිත තලලාචප්ප කරල පැදුරටත් නොකියා මාරු වුනා මදිවට... පව්කාරිට තනියම දඬුවම් විඳින්න ඇරිය එක කොච්චර අපූරුද​සුද්දවන්තයෝ පව්කාරිට​ ගල් ගහනකං බලාගෙන හිටියෙ මොන හිතකින් ද​?  මගෙ හිත හැදෙන්න එක වචනයක්එක ලියුං කෑල්ලක්ලියල එවන්න බැරිවුණේ ​ඔයා මැරිල ඉපදුන නිසාද සුදත්​මිනිස්සු හරියට සාන්තුවරයෝ වගේ තමයි හැසිරෙන්නෙනැත්නම් බොධිසත්වයෝ වගේ තමයි ලෝකේ ඉදිරියේ පෙනී ඉන්න".
ඇඬෙන්න ඔන්න මෙන්න වගේ වුණත් නාඬා කතා කරන්න මම අනුපමේය වෙහෙසක් ගතිමි. උගුරෙහි හිර වෙන ඉකියක් මැඩ ගෙන මම මොහොතක් ඔහුගේ මුහුණ දෙස ඔහුගේ දෑස දෙස ​ඍජුවම බලා සිටියෙමි. ඔහු මාගෙ දෑස් වල නිර්දය ග්‍රහනයට හසුවීම මඟ හරින පිණිස මගේ හිස් මුදුනට උඩින් ඈත අනන්තයට විහිද ඇති හිස් අහස දෙස බලාගෙන සිටියේය​.
"මගෙ අයිතිය බනින එක නෙවි. ඒ ප්‍රශ්නෙට විසඳුමක් හොයන එක​".
හිත යටින් දත්මිටි කෑමට පටන් ගත් මම නැවත වරක් රවා බලාගෙනම සිටියෙමි. මොහොතක් මා දෙස බලා සිටි  සුදත් මගෙ දෑස් වලින් නික්මෙන​ ගිනි පුළිඟු වලින් බේරෙන්නට මෙන් දෙතුන් වරක් ඇස් පිල්ලන් ගසා බිම බලා ගත්තේයඅකම්පිතව දිගාවී සිටින ඇතුගල් පව්වටත් ඉහලින් පෙනෙන නිල් අහස දෙස මොහොතක් බලා සිටි සුදත් හෙමෙන් කට හඬ අවදි කළේය​.
"ඔයා මට බනින්න මිථිලා. ඇති වෙනකම්ම බනින්න​. එහෙම කරන්න ඔයට  සාධාරණ අයිතියක් තියෙනව​..."
මගෙ අයිතිය වළ දැම්මෙ ඔයා. මගෙ වයස ගැනවත් ඔයා හිතුවද​?
නැවතත් මා පරල විය යුතුයැයි ඔහුගේ වචන ඇසෙත්ම මට සිතුණි.
"ඔයා වැඩිහිටි මිනිහෙක්. මමත් ඉතින් මරි මෝඩ මී හරකියක් වුණානෙ".
දැන් ඉතින් වෙච්ච වැරැද්ද ආපහු හදන්න බැහැනෙ. ටිකක් ඉවසිල්ලෙන් කතා කරන්නකො. මෙතන ප්‍රසිද්ද තැනක් නෙ".
සුදත් ගෙ මුවින් පිට වන හැම වචනයකින්ම​ මගෙ හිතේ කැකෑරෙන වේදනාව ගිනි කන්දක් මෙන් පුපුරා  එළියට පනින්නට තතනයි. ගිනි ගහන අව් කූටකේටත් වඩා මගෙ හිත ගිනියම්ව ඇත​. පෙබරවාරි මාසයේ දැඩි රස්නය මදිවට ගල රත් වුණාම මුළු ටවුමම රත් වෙනව​. මේ මිනිස්සු වුනත් මේ තරම් කාස්ටක වෙලා තියෙන්නෙ පරිසරයේ බල පෑම නිසා වෙන්න ඇතිඅනික් අතට මට හිතුන​.
මිනිස්සු හිතන හැටි හැමදාමත් එක විදියක්​. මිනිහෙකුට පුළුවන්ද ගැහැණියක්  වගෙ  හිතන්න​ගැහැණුන්ට ආවේණික හිතීමේ නිම් වළලු පිළිබඳ අවබෝධයක් නිශ්චිතවම ලබන්න නම් ඒ මිනිහා නැවත ඉපදෙන්නම වෙනව ගෑණියක් වෙලා ​. මගේ හිත කියවූවාක් මෙන් සුදත් මොහොතක් නිහඬව සිට සන්සුන් හඬින් මා ඇමතුවේය​. 
මිථිලා , ඉතින් මට කියන්න . මම මොනවද කරන්න ඕන කියල​. ඔයා කියන ඕනම දේකට මම කැමතියි".
මම සුදත් ගේ දෑස් දෙස සෘජුවම මදක් බලා හිඳ ඇසුවෙමි.
 ඇයි ඔයා මගෙ ජීවිතයත් එක්ක සෙල්ලම් කළේ?
මොහොතක් නිහඩව සිටි සුදත් ගේ බිඳුන හඬ කොහේදෝ ඈත ඉසව්වකින් ඇහෙන බවක් මට දැනිණී.
"මට සමා වෙන්න මිථිලා . ඔයා තරම් මගෙ හිත කළඹාපු කෙනෙක් තවත් නැහැ. ඔයාගෙ එක බැල්මක තිබුණ හැඟීම් මට දවසක් කියවලාවත් ඉවර කරන්න බැරිතරම් බරයිඔයා මට ජීවිතේ ඉගැන්නුවා. ජීවිතේ කියන්නෙ මොකක්ද කියලා ඒකෙ වටිනාකම මොකක්ද කියලා අවබෝධ කෙරෙව්වා. ".
ඒවට කළගුණ සලකන්නද හිටි හැටියේ ගම රට දාලා ගියේඉන්නවාද මළාද කියල හෝඩුවාවක්වත් නොතියා හැංගිලා හිටියේ. මගෙ ජීවිතේ දුශ්කරම කාලෙ මං තනියම පහුකළා. දැන් මට මුර බල්ලෝ ඕන නැහැ ජීවත් වෙන්න”​.
ඔයා මගෙ ජීවිතේ කැළඹුවා. ඒක උඩු යටිකුරු කළා . කිසිම ගෑණු කෙනෙක් දිහාඅඩු තරමින් තරුණ  ගෑණු ළ​මයෙක් දිහාවත් මං ඒ විදියට බලල නැහැ...මාව විශ්වාස කරන්න".

"විශ්වාස කරල අහපු නින්දා අපහාස හොඳටම ඇති. තවත් මට කියන්නෙ අහවල් විශ්වාසයක් ගැනද​"යි අසන්නට ඕනෑ වුණමුත් මම බිලිං ගහ යට වැටී තිබූ  කහ පැහැති කොළ දෙකක් අහුලා ගෙන මේසය මත තබා නිය​'ගින් එය තීරු තීරු වලට ඉරා දැම්මෙමි.
මටත් මාව පාලනය කරගන්න බැරිවුණා. ජීවිතේට මං අඬල නෑ . ඒත් මං ඔයා නිසා අඬල තියෙනව​. ඒ ඔයාට තියෙන ආදරේට"​.
මටත් කියන්න තියෙන්නෙ ඒ ටිකම තමයි”.
මම නැවත වරක් රවා බැලුවෙමි.
මිනිස්සු ඉස්සරහ ඕනවට වැඩිය කෝමල වෙන්ට ගියාම ගෑණු අපි බාල්දු වෙනව​. 
 “වෙන කිසිම ගෑණු කෙනෙක් මේ තරම් මගෙ හිතට රිංගලා නෑ. ඔයා මගෙ හිතේ හැම අස්සක් මුල්ලක් නෑර​ බැලු බැලූ අත​. ඒක හරියට හැපින්නක් සියුම් දත් වලින් මගෙ හිත හපා කනව වගෙ. ඒක ඒතරම්ම වේදනා කරයි. ඒත් මං ඒ වේදනාවට කැමැතියි. ඒ නිසා ඉඩ ඇරියා වෙන දෙයක් වෙන්ට”​.
පාපොච්චාරණය සිත් ගන්නා සුළුය​. 
තර්කාන්විතය​. 
ගැහැණීයකගේ සිත අනුකම්පාවෙන් පුරවන්නට සමත්‍ ය​. 
ඒත් මං ඔය ගැට වලට තවත් නං අහුවෙන්නේ නැතැයි මම මටම ගිවිස ගතිමි.

මම සියල්ල නිහඬව අසා සිටියා මිස එකදු වචනයක් මුවින් පිට නොකළෙමි. අවන්හලේ බිලිං ගහ යට වාඩිවී සිටි මම ඔහුගේ හිසට උඩින් පෙනෙන ඇතුගල දෙස බලා සිටියෙමි.  ඇතුගල නිහඬය​. ගල මුදුනින් ගිනිගෙන දැවෙන ගිනි සිළු මෙන් නැගෙන තාපය ගල මතින් නික්මෙන මිරිඟුව හිස් අහසට මුදා හරියි. මගෙ හිතේ කැකෑරෙන කේන්තිය ඇතුගල පුපුරුවන්නට තරම් ජව සම්පන්නයැයි මට සිතේ.
"අපි මුණ ගැහීම හරියට මගේ ජීවිතේට ඇද වැටිච්ච අකල් වැස්සක් වගේ..."
"ඔව්ඔව් ඒ වැස්සට අහුවෙලා අකලට පිපිච්ච මලක් වගේ මගෙ ජීවිතේ පරවුණා. මට දුක මං ගැන".​
මං ඕනම වන්දියක් ගෙවන්නං මිථිලා. ඔයා වෙනුවෙන්. ඒත්... ඒත්... ඔයාට හොඳ දීප්තිමත් අනාගතයක් තියෙනව​. මට දුකයි ඒ ලස්සන අනාගතේ ඔයාට අහිමි කරන්ට”​.
මගේ හිතට නැඟුන සිතිවිලි වචන වලට පෙරලෙන්නට මම ඉඩ නොහැරියෙමි. දහසක් ආඩාපලි වචන බවට පත්ව​ කටට ආ මුත් මම ඒවා පිට නොකළෙමි. ඒ වෙනුවට​ මම එළඹ ගත් තීරණයේ පවතින්නට දැඩිව අදිටන් කර ගතිමි.
ඒත් ඇතුගලේ රස්නෙට වෙඬරු පිඩ උණු වෙන්නට නොදී පරිස්සම් කර ගත යුතුව ඇත​. සම්ප්‍රදායික ගැහැණියගේ රෝල් එක, කාලයේ තාලයට වෙනස් විය යුතුව ඇත​.
අඩු තරමින් මට ඕනෑ වූයේ,
 "මං දැන් හිත හදාගෙන ඉවරයි" කියන්නටය.
ඒත් ඇයි මං ඒක වෙනස් නොකළේඅහෝ මිනිසෙකුගේ අනුරාගී ස්වරය හමුවේ ගැහැණිය දපනය වන අයුරු!
මං වීදුරුවේ ඉතිරිව තිබූ දොඩම් යුෂ පොදක් දබරගිල්ලෙන් ගෙන දැවමය මේසය මත බල්ලෙකුගේ රූපයක් ඇන්ඳෙමි.
මොහොතක් නිහඬව එදෙස බලා සිටි සුදත් මගේ දකුණු අතඟිලි මත ඔහුගේ වමත සෙමෙන් තැබුවේය​. අනතුරුව ඔහු මගේ දකුණත සෙමෙන් පිරිමදින්නට විය.

සර්පයෙකු මගේ නිරුවත් පා මත ඇදෙන්නාක් මෙන් මසිත තුළ කිසියම් ජුගුප්සා ජනක හැඟීමක් දනවන්නට විය​. සම්මතයට එරෙහිවුණා මදිවාට මේ ප්‍රසිද්ධ ස්ථානයක අප වැනි දෙදෙනෙක් මෙලෙස ප්‍රේමාලාප දෙඩීම තබා ළං ළංව වාඩිවීම පවා අනුමත නොකරනු ඇත​. අපි ආදරේ කරන්ට පටන් ගත්තේ හරියට සල්ලිකාර සීයෙකුයි, දුප්පත් ඒත් සුන්දර,​මිණිබිරියකුයි වගේකොහාට පෑහෙන මඟුලක්ද මේක​?  ඉතින් wisdom පහල වෙන්නෙත් හදා ගන්ට බැරිතරම් වැරැදි සිද්ධ වුණාට පස්සෙනෙ.
මගෙ හිත මුමුණනව​.
ඇත්තටම මම මෙතෙන්ට එමු කියල ඉල්ලීමක් කරලා ලියුමක් යැව්වේ ප්‍රේම පුරාවෘත්තෙ අළුතින් පටන් ගන්ට හිතාගෙන නෙවෙයි. මගෙ ආත්ම ගරුත්වෙ තියාගෙන මේක ඉවරයක් කරල දාන්න​. 
මා මෙතෙන්ට ආව වැරැද්ද​. කතා කර ගන්නට තැනක් හොයන්නට වුනෙත් මටමය​. ඒකටවත් අවංක උනන්දුවකින් බුද්ධිමත් තීරණයක් ගන්ට බැරි මිනිහෙක් කොහොමද මගෙ අපහසුව තේරුම් ගන්නෙ?
මා තුළ සැඟවී සිටින ගැහැණියගේ හඬට මා අවනත වියයුතුව ඇත​. ජීවිතයේ මා ගත් සෑම හරි හෝ වැරැදි තීරණයකදී මට නියෝග දුන්නේ ඇයයි. ඒ අභිමානවත් ගැහැණියට මම බෙහෙවින් ගරු කරමි. 
ජීවිතය අළුතෙන් පටන් ගත යුතුය​!
අවසන මම එලෙස තීරණය කළෙමි. 
බිලිං ගහයට අප වාඩිවී සිටි මේසය අසලින් මෑත්ව හැකි ඉක්මණින් අවන්හලෙන් පිටව බස් නැවතුම් පොළ වෙත මම​ දිව ආවෙමි. මට අවශ්‍යවුණ එකම දේ මහනුවර බස් එකකින් හතට ඉස්සර කැම්පස් එකට යාම පමණි.

මල්ලිකා එම් බණ්ඩාර


07 .07. 2001 ​




No comments:

Post a Comment