Friday, 6 May 2016

කඩදොර විහාරය ළඟදී
























ගම් දනව් තනිවෙලා ජල නිදන් වියැකිලා
කලට නැති වැහි හුළං ඉඩෝරය කැඳවලා
ඉණ වටක් දිය කඳෙහි වැඩ හිඳින හුදකලා
සමිඳ එකලා විණීද දියවරට යටවෙලා?

කොත්මලාවට නුදුරු වන ගහන වැනසුයෙන්
පෙනගොබය​ මුතු කුඩය දැරෑ සිරසට උඩින්   
මුචලින්ද නා රජුත් නෑසියොත් පැන ගිහින්
සමිඳ කඩදොර වෙහෙර නැවතුනේ ඇයි ඉදින් ?

රට පුරා වේලුවන ජේතවන බිහිවෙලා
සිලබසුත් පාසලත් දෙකම අමතක වෙලා
දේවදත්තගෙ එවුන් බුදු පසේබුදු වෙලා
බුදු බණක් නොපවතින යුගය දැන් එළඹිලා

පෙළ පොතද සතර මග සතර පල මග හැරී​
අවි හරඹ පුහුණු වෙති සඟගණා ගෙන දිරි
බුදුවරුන් තනිවෙලා ගිරි සිඛර  කඳු  අතර​
දෙවිගණා වැජඹෙනා වෙහෙර බෝමුල නිතර​​
පව් මළින් කිළිටිවූ​ ගම් දනව් හා නුවර​
හුදී ජනයා හිඳී අවුල් වියවුල් අතර​

ලිච්චවීවරු දෙසති කප්පරක් මුසාවන්
චුන්ද හා අජාසත් දරා සළු කසාවන්
දෙව්දතුන් ගතු කියා බෙදති සිව් දිසාවන්
තිඹිරි ගෙයි වලදමති තම පුතුන් කිසාවන්
සිහසුනට කැට තියති චිංචිමානවිකාවන්

උදේනී නුවර මහමුහුද මැද පිපෙනවා
මුරුගසන් වරුසාව සරසවිය තෙමනවා  
මුවන්වී එකිනෙකා ගහ මරා ගන්නවා
දිසාපාමොක් තුමෝ කැකුළු මල්තළනවා 
රජ්ජුමාලා අතේ මල් දමක් ගෙතෙනවා

ගිහි පැවිදි සිටු මැදුරු වසා දොරගුළු ලවා 
චතුරංගණී සෙනඟ රජ මැදුරු මුර දෙවා 
ගමින් ගම දොරින් දොර සිව් බියෙන් අලලවා
අහෝ පුර වැසිදනා මහ මඟට ඇරලවා

නිවන්නට සාපවස සිහිල් දියකඳ වෙලා
අමා මහ නිවන් සුව සත් වගට පවසලා 
සිව්පසය පිණිසවත් දියඹ හැර ගොඩ වෙලා
සමිඳ නොවඩිනු මැනව​ කඩදොරින් නික්මිලා


මල්ලිකා  එම් බණ්ඩාර​

No comments:

Post a Comment