තල් අරණ දැදුරු කර වට මුරුගසං වැස්ස
තල් අත්ත දෙබෑකර කඩා වැටුණා
අපේ දොරකඩට
අඳුර අතරින් ඇදුන අඳුරු හෙවනැලි පෙළක්
ගියා ඩැහැගෙන මගේ දරුවන්නෙ අප්පාව
මුළු රැයක් ඉකිගසා උදනැක්කෙ
පටන් ගත්
අපෙ වන්දනා ගමන, කඳවුරෙන්-කඳවුරට
රැඳවුමෙන් -රැඳවුමට
ඉසේ කෙස් වලට වැඩි කොතෙක් නම් වාරයක්
කකුල් ගෑවාද මං දරු දෙදෙන වඩාගෙන
ආව ගිය ඉසව්වක් හොයා ගන්නට
උන්ගෙ අප්පා
කැණි මඬල බිඳ වැටුණ අපේ අතු මාළිගය
අද නැතොත් හෙට එතැයි මඟ බලා ඉන්නවා තනිවෙලා
නන් නාඳුනන අයගෙ දෙපා
මුල මා යදින්නේ
ගෙටම ඇවිදින් අරන් අතුරුදන් කරන ලද
ලොවෙත් නැති මළෙත් නැති අරන් ගිය කෙනෙක් නැති
මගේ දරුවන් ගේ අප්පාය
හාමතේ මොර ගසන දෙදරුවන් ළෙහි හොවා
තවත් කොයිතරම් දුර ඇවිද යායුතුද මං?
පාන්දර ඉඳන් ගොම්මන තෙක්ම අව්කූටකේ නැහී ආ සැණෙන්
දරු පැටව් ළඟ ඉඳන් අතට ගත් රොටී පලුවෙන් ටිකක්
කටට ගන්ටත් කලින් අරන් ගිය
මගේ මිනිහා හොයා
දියන් මට
යුක්තියේ කන්‍යාව,
සල්ලාලයන් එක්ක කරක්ගහනා නුඹට
කියාපන් හමුවිණිද මගෙ දරුවන්ගෙ අප්පා?
මල්ලිකා බණ්ඩාර
No comments:
Post a Comment