ජීසස් පුතුන්
මහ මඟ බිම දමාගෙන
බැට දෙයි කස,
මුඟුරු, මිරිවැඩි යොදා ගෙන
විකිණෙන රිදී
තිහකට දුක දරාගෙන
මරියා හඬන්නී ළෙහි
අත් ගසාගෙන
කිරි කට්ටියේ, තේ වත්තේ දින ගණිනා
ඇඟලුම් හළේ
රෑ මැදියම
නිදි වරනා
ගිනි කූටකේ හැමදාමත්
ගල් කඩනා
අම්මාවරුනි අද
දවසලු මල් නෙළනා
දරුවන් නිසා
හිමවත පලවැල සොයනා
මඟ වැරදුනොත් දඩබල්ලන්
ලුහුබඳිනා
තපසට ගියත් මව්
වරු බුදුබව පතනා
යහතින් ඉන්ට
බෑ මහතුනි සිල්
බිඳෙනා
උයනක් හදා දඹ
තුරු සෙවනෙහි හිඳුවා
මගෙ හිත
හදන්නට කහවනු මිට මොලවා
ආදම් ගේ
පුතුන් මගෙ විලිබිය නැසුවා
ආපහු හැරී ඒ
මදිවට ගල් ගැසුවා
පොපියුලර්
පාසලට දක්කන්නට දරුවෝ
අල්ලස් පිණිස
මව්වරු තම කය පිදුවෝ
ලේබල් කර
වහල් මෙහෙයට 'රට විරුවෝ'
සුර සැප
විඳිති හෙළ බොදු ගොවි රජ දරුවෝ
ඉර පායා ඉර
මුදුනට එන්ට එපා
සඳ පායා සඳ
මුදුනට එන්ට එපා
බලා සිටි ගහේ
දළු ලියලන්ට එපා
අම්මාවරුනි කොඳු ඇට බිඳ ගන්න එපා
No comments:
Post a Comment