Thursday, 19 May 2016

වියරු මුහුද


(“තොටගමුවේ මුහුද ගොඩ ගලයි - ලංකාදීප ප්‍රවෘත්තියක්)

වියරුවී ගොඩ ගලන තොටගමුව සයුරු තෙර​
මැරුණු ඉතිහාසයම නැවත කියවන්නීද
ඔක්කෝම රජවරුය ඔක්කෝම සිටුවරුය​
කාට සිහසුන ගියත් අනේ අපි වැසියෝය

උදහසේ රළු පරළු මහෝගය නවතන්න
අදිටනින් නැඟිටින්න ​බිලි පිණිස කැප වෙන්න
කන්‍යා දියණියක සිටියාය​, කැළණිතිස් නිරිඳුන්ට
අසංකෙය්‍යක් රජුන් සිටින මේ පුරවරේ
කන්‍යාවියන් විරල කරුණ තේරුම් ගනුව,
​එම්බා මහ සයුර!

පසල් ගම් දනව් වල වෙසෙන ඈපාවරුන්
පිළුණු කළ සියක් කන්‍යාවියන් නිමිති කොට​
​අල්තාරයේ පිදෙන රුහිරු දුගඳට ලොල්ව​
​පුරති සව්දිය ලොවිති රස මසවුළු මීවිතෙන් මත්ව

​​රජුන් අදමිටුවත් දනන් පවතීද සත් ගුණ වත්
බමුණු දන වියපත් බුදු බණද අදමිටුව වපුරත්
කැඳ උගුර නැතිවත් බුරති පුහුදුන් දනා කවදත්
පරළ වුණ රළ පතර නුඹ වහා නැවතියන්,
මුව හමට තඩි නොබා මුවන් රැළ හොයාපන් 

එදා දළ රළ පහර සිල්වතුන් උදෙසාය
මෙදා දුසිලුන් රකින දුදන දන සඳහාය
රජ බමුණු වණික් කැළ හැම දුකට මුල සේය
​දියඹ ගොඩ ගසන්නෙත් පහත් තැන දැකලාය​


No comments:

Post a Comment