Saturday, 30 April 2016

සළාවැටුම​


වෙසක් හඳ මෝරද්දි බලා පස් මහ බැලුම් 
දස එකඩ මස් පිරී විලිරුදා දරනවා කැකුළු මල් පූදින්ට
උයන් තීරෙට යාව ​ ගං දඟරයක් හදා
මහවැළිය පුරුද්දට ​වගේ ඔහෙ ගලනවා
ගන්නෝරු නැම්ම ළඟ මොහොතකට නැවැතිලා
අන්තීම හුස්ම පොද පිටකරන්නට වගේ
ගඟ​ අඟිරි ගානවා බර​ සුසුම් හෙලනවා

කැන්දකඩු කන්ද මුදුනින් එබී               
රත් වණින් ළහිරු රැස් ගලනවා
ලතාවට ඇදෙන​ නිල් දියවරට
බොර දියත් නොවනා වැහි දියත් නොවනා
අවපාට දියත්තක් මුසු වෙලා තියෙනවා

මුවවිටක් පිරී ඇති ගෝනි කට​  
බැඳ දැමු කලු පාට​ වයර් පට 
ලිහාගත නොහැකිවී,
හබල් නැති ඔරු පියලි මෙන්
එක දිසානතියකට​ ඇදී යන​
ගෝනිමලු පෙරහැරක් ගඟ දිගේ ඇදෙනවා
ඉකිබිඳේයැයි බියෙන් ගන්නෝරු වෙල් යාය
බැලූ අත බලාගෙන ඉන්නවා

චක්‍රාකාර  ජ්‍යාමිතික රටාවක් සනිටුහන් කරමින්
භද්‍ර යෞවනේ අති ධාවනික ගමනකින්
අජීවී ගෝනිමලු ​ එකා පසු පස එකා
සළාවැටුමට මැදිව හක්කලං කරනවා​

උද්‍යාන භූමියේ ගං දියට නැඹුරු වුණ
විසල් ශාකයක පිපි රත් පැහැති මල් කිණිති,
දිය මතට පතිතවී පාවුණා ගඟ දිගේ
ගෝනි කඩමලු වලට තනි නොතනියට වගේ

මල්ලිකා එම් බණ්ඩාර​


11. 04. 2016


Tuesday, 26 April 2016

පරතරය

    

යොවුන් වියේ අරුණැල්ලේ රොනට ඇදෙන බමර කැළයි 
රුවට පිපුණ කටු අකුලේ ලකල කොමල සුවඳ මලයි

සඳළු තළෙන් මිහිතලයට​ පා එසවූ පලමු දිනේ
පිවිතුරු පෙම මවෙත පිදූ කිරුළට හිමි කුමරුවනේ,
ගොම පිරිබඩ ගෑ ගෙබිමේ සහනය නුඹටයි දැනුනේ
දීකිරි ගං දියට වැටී මගෙ මැදුරයි බිඳ වැටුනේ

මා වෙත බැඳි පෙම හින්දා කිරුළ අහිමි කරනු බැරී
දූවිල්ලෙන් නැඟිටින්නට ලැබුණ වරම නොගෙන බැරී
සිතිජ ඉමේ ඉගිල ගියේ තරු කැට අරගෙන එන්නයි
තරු කැට දෝතට ආදා මට හිතුනේ බිම ඉන්නයි

අහසයි පොළොවයි වාගේ දුරු ඈතක අපි දෙන්නා
අහස පොළොව යාවුණාට එක් නොවේවි අපි දෙන්නා




Monday, 25 April 2016

TELEPATHY


මැදට කන පියුම් කොනට සමදරා
රටා දමා පන් පැදුරු වියනවා
පුංචි සන්දියේ මියුරු මතකයන්
පැදුරක්වී  මා හිතේ එලෙනවා
එලන නගන පත් අතර ලතාවට
නිය ගැටෙනා හඬ සවණ රැඳෙනවා
ඒ හඬ අතරින් කුප්පි ලාම්පුවෙ
සිළ ලෙළදෙන හැටි සිතේ මැවෙනවා

දින සති අවුරුදු වලට හැරීලා
දුරු රටකට නුඹ තනිකොට ආදා
නුඹේ විලාපය​ සවණ තෙරපුණා
කුණාටුවක් සේ දවසක් පාසා
නැවතුන තැන සිට පන් පැදුරේ මඟ
නව වියමනකට පිරුවද අම්මේ
ගිලිහුණ පත් යළි එකතු කරන්නට​
නුඹෙ දෑතට සවි  ලැබුණද අම්මේ

දරු මුණුබුරු කැළ නැවත දකින්නට
නුඹෙ සිත ඉකිලන අයුරු දැනෙනවා
ඈත කොදෙව්වක හීන හතක් මැද​
මාන කොකෙක්වී හිත ඉගිලෙනවා
යළි එනතුරු නුඹෙ දෙපා සිඹින්නට​
මගේ දෙනෙත් දස පෙරුම් පුරනවා

සිහින දකිනවා ඇඟිලි ගණිනවා
නුඹේ මෙන්ම මගෙ සිතත් නිදැල්ලේ
ගව් දස දහසක් දුර පියඹනවා
කූඩු වෙන්ට නුඹෙ පුංචි කැදැල්ලේ
සීතල මැදියම රෑ නිදි වරනා 
නුඹෙ වැළපිළි මා සවණ රැඳෙනවා
දෑස තෙමීයත නුඹෙ රුව ගැවසෙත​
නුඹ තොල් මතුරන අයුරු ඇහෙනවා

නවම් මහේ හත් වැත්ත කපා ගෙන
වැස්ස වළාහක දෙයියො වඩිනවා
පුංචි එවුන් වැහි කෝඩෙට අහුවෙයි
අව් වැල්ලක් ඒ රටට පුරාවා!”

මාල හතක් බැඳ දීගෙක යන්නට​
පුංචි මිණිබිරී සැරැසෙනවාදෝ
මේල පළඳනා නැති මුත් දෙන්නට​
බුලත් අතක් මට දී යනවාදෝ
නුඹේ සිහින සිතුවමට නැගෙනවා

කටට රහට ලුණු මිරිස හදන්නට​
අත් ගුණයක් ඇති කෙනෙක් ගෙදර නෑ.
පුංචි දුවේ ගෙට ගොඩවී පලයන්
නිදි පැදුරේ හිඳ නුඹ මුමුණනවා.
අකුරු පෙළක් පත් ඉරුවක ලියලා
එවා ගන්න විදියක් නැති හින්දා
හඳුරුක්කන්දෙන් ඉර නැඟ බැස යන​
මොහොතක් ගානේ නුඹ ඉකි බින්දා


චිතකයේ සැඟැවූ කඳුළ


අකුණක් ලෙසින් ගනඳුරු රැයේ
මේකුළක දැවැටී බිඳී විසිරුණ,
විදුලිය දැලක්වී අසුරු සැනෙකින්
ඇඳිලා මැකීයන ඈත ආකාසේ
අහඹුවෙන් අපි හමුවුණේ  
දිගු කාලෙකට පස්සේ...

එමොහොත පටන් යවටක් ලෙසින්
ගිනි ගෙන දැවෙයි  මියැදුන මගේ සිත
අප පෙම් පුරාවත මතක පිටුවක්වී
හඬා වැටෙනා වියරු සූසුමක්වී
සෙනෙහසේ චිතකේ

කුරිරු ලෙස ඔබ මා කෙරෙන්
දෙපසට කළා අපෙ සනුහරේ උන්
අසරණ වෙලා බොඳවූ නෙතින්
අපි වැළපුණා දිගු කල් හිතින්
රුදු ලොවට නෑසෙන සේ

උපනුපන් අත් බවයකදි යළි
විසකුරු සපුන් හඬ නොවැකෙනා දුර
නුඹ මගෙම වී මා නුඹෙම වී
හමුවෙන තුරා අපි ඈත නුවරෙක
එක හිත් දරා නාඬා ඉඳින්
යම් දිනෙක මේ සසරේ


ගිමන් හල



කුණු බිඳක් නොරැඳෙන්න එකම එක සුදු ගවුම
සෝද සෝදා ඇන්ඳ කිරි සකේ පැහැ වෙන්ට
පාවහන් සිප නොගත් දෙපා යුග නොරිදෙන්ට
මුතු පබළු පිණි වතල ළතණ පත් මත ඇවිද

උදෑසන මහ නියර පුරාවට ඇතිරිච්ච​
මිඳෙල් මල් පාවාඩ මැඬ නොගොස්
නිවන් මඟ සොයා යන උවැසියක විලස්නෙන්
ගම ඉහත්තේ තිබුණ පාසලට පිය මැන්න

දෙවොල් දොර යාතිකාවක නියැලි දේවදාසියකසේ
අල්තාර පාමුලේ ගීතිකා මුමුණනා බැතිමතියකසේ
දණ නමා නැඹුරු කරගත් හිසින්,
විවර කරගත් නෙතින්
ධාරණය කර ගතිමි සිප් සතර
මතු රැකෙන එකම මඟයයි සිතා

සිහිල් දිය ඌළකින් ඉබේ රූරා වැටෙන
දියත්තටවිවර කළ නැවුම් කොතලයක්වී
මුවවිටක් පුරා ගත්තෙමි දැනුම,
අවබොධයෙන් ලදිමි හික්මීම
දැන හැඳින දරා ගත්තෙමි හදින් මිනිස්කම 

කම්මැලේ කිණීරෙන් තැළී පොඩිවී,
ගිනියම්වු යවටක් ලෙසින්
ඉඩහලෙමි තියුණු අවියක්ව තැනෙන්නට ශිල්පයෙන්
කිරිඅප්පු විදානෙගෙ සකපෝරුවේ රැඳුන
මැටි පිඩක් මෙන් පිරියම්ව
ඉදිවුණෙමි ගුණ ණැනින්
නේක ලියකම් වලින් කැටයම්වූ බඳුනක්ව
වියතුන් සබා මැද එදිරිව හිඳින්නට

නින්දා අපහාස කටු කොහොල් මඟ දෙපස
වැටි වැටී යළි නැඟිට මිදී මළපුඩු කෙරෙන්
ජීවිතේ රුදුරු මං පෙත දිගේ ඇවිදගෙන
විඩාපත් ආත්මය දරාගෙන
මොහොතකට නැවතී
සරතැස​ දියකර හළෙමි
අතීතාවලෝකනයෙන්

ගිමන්හල පිල්කඩේ එලා මතකයෙ පැදුර​
අවසාන​ මළහිරු පොදත් මැකිලා ගිහින්
අව පස සඳත් දියවී ගිහින්
තරු පොකුරු සිනාසෙන​ අහස යට
හිඳිමි අපමණ තෘප්තියෙන්



Mallika Bandara

කිරි කජු කෙල්ල

  
ගල්ලෑලි පොත් දැමූ​ පුංචි පන් මල්ල ගෙන
අපුච්චා ගෙනා පොඩි මල් ඉහුණ ගවුම ඇඳ​
මකුළු දැල් මත රැඳුණු පිණි පොකුරු පයින් මැඬ​
පාසලට ගිය අයුරු කොයිතරම් අපූරුද​​?

බක්මී මල් සුවඳ මැදින් මිදෙල්ල මල් වියන යටින්
නිල් තණ බිස්සේ ඉහිරුණ මල් පෙති පාවාඩ මතින්
මැදෑලෙ ගල් ඒදණ්දෙන් එගොඩ වෙලා මහ නියරට​
දෙමලිච්චන් රෑන වගේ දොඩමලුවී එක පොදියට​

දොළොස් මහේ පහන වගේ එළිය බෙදූ ගම්මානෙට​
පිවිතුරු දෙවොලක් වාගෙයි ඉස්කෝලේ පුංචි අපට​
​කිරිකොක් රෑනක් වාගේ  සීරු මාරුවී පෙලකට​
 බඹරු රඟන හිමිදිරියේ පියමං කෙරුවා අකුරට​

කොරකහ ගස් අතර බලුදං පඳුරු යට​
කිරිදත් දෙපෙළ නිල් පැහැයට හැරුන විට​
ඉහිරෙන ටිකිරි හස රැළි සිත නිවන විඩා
මිහිරිය සැළෙන රන් රසු දැල් වලට වඩා

ලස්සන ගවුම කජු පුහුලන් කහට වැටී
නව හැඩ තල මවන මුත් නෑ හිතට දුක​
ඒ කිරිකජු කෙල්ල මමදැයි සිතෙනවිට​
මගෙ හිත​ බොඳ වුණා නොදැනිම දෙනෙත යට​

Thursday, 21 April 2016

දැදුරු ඔයේ එතනා

ඉනේ බලාපන් ඉන වට සේල බලාපන්
අතේ බලාපන් බංගලි වළලු බලාපන්
කරේ බලාපන් කරවට මාල බලාපන්
දැදුරු ඔයෙන් එන එතනගෙ ඔමරි බලාපන්

ඔමරි නැත බැල්ම බර කල්පනාවේ
දුලා නෙත කැල්ම මැළවී හිනාවේ
කිකිණි හඬ නොමැත බංගලි නුරාවේ
ඇතෙක් බරට නැත ​කද මලු ගෙනාවේ

දැදුරු ඔයේ දිය හිඳෙනා වෙලාවේ
එගොඩට යන්ට පින් පල නැති වෙලාවේ
එතනා තනිවෙලා ගොම්මන් වෙලාවේ
මඟ බල බලා  හිටියා මංමුලාවේ

නෙරිපොට පුවඟු මලසේ වැගිර ඉනවටින්
තෙතබරි වෙලා නෙත කඳුලැල් තලා වටින්
වැලි කඳු ගැහු පැඟිරා නැති නාන තොටින්
ගොම්මන අරක් ගෙන තිබුණා හතර වටින්

ගැබ්බර වෙලා හිත නම් මහමෙරක් තරම්
සෙනෙහස මේරුවා පුර පස හඳක් තරම්
නෑගම් කොහෙ යම්ද එතනා සහේ අරන්
ගමරට තහංචියි නැති සනුහරේ වරම්



මල්ලිකා එම්. බණ්ඩාර​


විශ්වයම සුන්දරයි


පුළුන් පොදක් තරම්වත් කුඩා
 වළා රොදකින් තොර හිස් අහස් තලය
අනන්තය දක්වා විහිද ඇත​.
ගිනිගත්  නගරය යවටක් සේ උනුසුම්‍ ය​.
එද​, “විශ්වයම සුන්දරයි කීවාය ඇය​.

ඔහු ඈත අහස් ඉම දෙස බලා හිඳ
යළි හැරී සෙමෙන් කීවේය ඇයට,
"නෑ විශ්වයටත් වඩා සුන්දරයි ඔබ​"
 ඇගේ නිල්වන් දෑස තුළ උල්පත් වන
 ලක්‍ෂ සංඛ්‍යාත මනෝභාවයන්
වෑ බැම්මේ වැදී බිඳෙන​ ජල තරංග වලටත් වඩා වේගයෙන්
ඇතිවී නැතිවෙන හැටි ඔහු බලා සිටියේය​.

හිස් අහසටද​, සජීවී මනුෂ්‍යයෙකුටදයි නිනව්වක් නැතිව​
මිමුණුවේය ඔහු.
"මං ආදරෙයි...ඔය ඇස් දෙකට​...ඔය හිනාවට​...
කවදාවත්  නොහිඳෙන උල්පතක් මෙන් ගලන ඔය හිනාවට​"
කියූ ඔහු ,
හුන් තැනින් නැඟිට
ඇර තිබුණ ගේට්ටුව ළඟටත්
ඉන් අනතුරුව හුදකලා මහ මඟටත්
පිවිස යන්නට ගියේය​.

දවසක්ද​, සතියක්ද​, අවුරුද්දක්ද නිනව්වක් නැතිව​,
දශක හයකට පසුත් මැඳුර අභියස ඇය බලා සිටියාය​
ඒ විශ්ව සුන්දරත්වය ඔහු සමඟ විඳ ගන්නට. 


සුදු ඕලු


මිදෙල්ල මල් පෙති පාවඩ එලනා
පිනි මුතු  ඉහිරෙන අරුණ උදේ
නිසොල්මනේ මා බලාන හිටියා
බාල ළමා දකිනතුරා ඇල නියර දිගේ

ඉර මල පිපිලා කඳු ඉස්මත්තේ
රන් කහවනු රැස් පෙරී වැටෙනවා
අරුණැල්ල දිගේ සුදු ඕලු මලක් සේ
බාල ළමා අකුරට යනවා

සුදු සක මිරිවැඩි සඟල සිඹින්නට​
ඇතිරූ විල්ලුද​ නිල් තණ තිල්ලේ
ඔමරි ලතාවට පා සන් තියලා
කෝපි කැකුළු හස මුවග පූදිනා
බාල ළමා අකුරට යනවා - උදැනැක්කේ


 මල්ලිකා එම් බණ්ඩාර​