Saturday, 16 April 2016

ඇතුගල පාමුලදි


ළඟා වෙන්න බෑ ගව් ගණනක් සේම​
නෙළා ගන්න බෑ අතු ඉහලයි බෝම​
මළානිකව​ ගිය සිත සනසනු කෝම​
වළා රොදක් වී නුඹ අහසෙයි තාම​

දුලා නව සඳක් ඇතුගල් පව්ව මතින්
කලා පිරී එන​ පුරපස​ සදිසි වතින්
බලාපොරොත්තුව​ මල් පල දරන​ නෙතින්
මුවා වෙලා හිටියේ නුඹ දකින සිතින්

වෑ කණ්ඩියේ හැපෙනා රළ පතර මතින්
සුවඳක් හමා ආවා මගෙ මතක පොතින්
විනිවිද ගියෙද සෙනෙහස දළ සුළඟ විතින්
අමතක කරන්නේ කොහොමද නුඹව ඉතින්?

ගලේ කෙටු අකුරු සේ හිත තුළ ලීව​
මකාලන්න බැරි බව දිවුරා කීව​
දියේ ඇඳි ඉරක්වී මට​ පිටුපෑව​
මුලා කළෙද​ වත්හිමි කුමරුණි මාව?

No comments:

Post a Comment